නීතිපති දෙපාර්තමේන්තුව අද නිද්‍රාශීලීව කටයුතු කරනවා | දිනමිණ

නීතිපති දෙපාර්තමේන්තුව අද නිද්‍රාශීලීව කටයුතු කරනවා

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න
නන්දසිරි වැලිගමගේ

පසුගිය පාලන කාලයේ සිදු වු බව කියන සොරකම්, මිනීමැරුම්, වංචා හා දුෂණ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් පියවර නොගතහොත් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම තීන්දු කොට ඇති බව දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක එස්. තෙන්නකෝන් නිලමේ මහතා පැවැසීය.

දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම සමඟ පසුගිය දා (15) දකුණු පළාත් සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

හිටපු විදේශ ඇමැති රවි කරුණානායක මහතා විසින් එ.ජා.ප. උප නායකවරයා වශයෙන් පක්ෂයට සිදු කළ සුවිශේෂි වු කාර්යභාර්ය මෙහි දී ඇගයීමට ලක් විය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මෙසේ ද කීවේය.

"බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමක් පත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ස්තූතිවන්ත වෙනවා. රවි කරුණානායක ඇමැතිවරයාට එරෙහිව ඇති කිසිදු චෝදනාවක් තවම ඔප්පු වෙලා නෑ. ඇතැම් මාධ්‍ය ආයතන මේ සිද්ධිය අතිශයෝක්තියෙන් වර්ණා කරමින් ඒ මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට මඩ ගැසීමේ කුමන්ත්‍රණයක නිරතව සිටිනවා. නමුත් ඒ මහතා පරමාදර්ශී චරිතයක්. පරික්ෂණවලට බාධාවක් වන නිසා ඒ මහතා ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වුණා. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරුන්ට ඕන තරම් චෝදනා තිබුණා. නමුත් ඒ ඇමැතිවරුන් ඉල්ලා අස් වුණේ නෑ.

රවි ඇමැතිවරයා ලබා දුන් ආදර්ශය අපි අගය කරනවා. පසුගිය කාලයේ හිටපු රජයේ ඇමැතිවරුන් නිවාස මිල දී ගෙන තියෙනවා. ඒවාට දැන් අයිතිකරුවන් නෑ. පසුගිය රජය කාලයේ කළ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ කර නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව අද නිද්‍රශීලී ලෙස කටයුතු කරනවා. අපි බලයට ආවේ හොරු අල්ලනවා කියලා. වංචා කළ මුදල්, කොමිස් ගැසූ මුදල් රජයට අරගෙන ජනතාවගේ සුබසාධනය සඳහා යොදන බව කීවා. නීතිපති දෙපාර්තමේන්තුව ගැන අපි ඉන්නේ කලකිරීමෙන්.

නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ අයට විරුද්ධව නඩු පවරලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලනවා. එසේ නොකළහොත් දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් අපේ දැඩි විරෝධය පළ කරනවා. නීතිපති කාර්යාලයේ රාජපක්ෂ ආණ්ඩුවට පක්ෂපාතී, ඒකාබද්ධ විපක්ෂයට පක්ෂපාතී නිලධාරින් පිරිසක් ඉන්නවා. මහාධිකරණ විනිසුරුවන් තිදෙනකුගෙන් යුත් විශේෂ අධිකරණයක් පත් කර පසුගිය රජයෙන් හොරකම් කළ හෙජින් ගිවිසුම, උමා ඔය ව්‍යාපෘතිය, මාධ්‍යවේදීන් අතුරුදන් කිරිම, මනුෂ්‍ය ඝාතන ආදියට විරුද්ධව නීතියෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. අපෙන් ජනතාව අහනවා ඇයි පසුගිය රජයේ හොරු අල්ලන්නේ නැත්තේ කියලා. යහපාලන රජයේ සිට ජනාධිපතිවරයා හා අගමැතිවරයා වර්ණා කරන ඇතැම් මැති ඇමැතිවරුන් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරනවා. රවි කරුණානායක මහතා මේ පක්ෂය වෙනුවෙන් දැවැන්ත කාර්යයක් කළා."

දකුණු පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා

"මේ ලිපිගොනු 87 සම්බන්ධයෙන් තීන්දුවක්, තීරණයක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කඩිනමින් ගත යුතු වෙනවා. මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. එසේ නොකළහොත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඇවිත් දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම දැවැන්ත විරෝධතාවක් කරනවා. මැරෙනකම් විරෝධතා කරනවා. මේ නඩු ටික අධිකරණයට ගෙනැවිත් මේ අයට දඬුවම් දෙන්න."

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ ද සිල්වා මහතා

"මම නම් කියන්නේ රවි කරුණායක ඇමැතිවරයා ඉල්ලා අස්වන්න අවශ්‍ය නෑ කියලා. ඒ මහතා වැරැදිකාරයෙක් වෙලා නෑ. කොමිසමක් පත් කරන්නේ වරදක් වෙලාද කියලා අනාවරණය කර ගන්න. ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම පත් කර තියෙන්නේ බැඳුම්කර නිකුතුවේ දී වංචාවක්, දුෂණයක් වෙලා තියෙනවාද, ඒවාට සම්බන්ධ අය කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු විමර්ශනය කර නිර්දේශයක් ඉදිරිපත් කිරිමටයි. මෙහි දී රවි කරුණානායක චෝදනා ලබන්නෙක් කියලා නඩු දමන්න නීතිපති දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ වෙලා නෑ. උදයගම්මන්පිල විදේශිකයකුගේ මුදල් වංචා කළා කියලා අධිකරණයේ නඩුවක් තියෙනවා. නමුත් ගම්මන්පිලට චෝදනාවක් තියෙනවා කියලා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙලා නෑ. ඔහු සැකකරුවෙක් පමණයි. මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුව සාමුහිකව තීන්දුවක් ගත යුතු වෙනවා. එක් කෙනකුට කියන්න බෑ මම ඡන්දය දෙන්නේ විරුද්ධව කියලා. මෙහෙම සම්මුතිවාදී ආණ්ඩුවක් යන්න බෑ. අද මේ ආණ්ඩුව ඇතුළේ ඒකමතිකභාවයක් නෑ. ඒකාබද්ධතාවක් නෑ."

සංජිව කරුණාතිලක, ජයන්ත ජයවීර මන්ත්‍රීවරු දමෙහි දී අදහස් දැක්වුහ. එ.ජා.ප. මන්ත්‍රීවරුන් වන සුමනසිරි ලියනගේ, ගයාන් සංජිව, චතුර ගලප්පත්ති, රංජිත් මුණසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අදහස් 2ක් ඇත

යුක්තිය ඉෂ්ට වෙන්න ඔව්නේ.. නීතිය ප්‍රමාදකරවීම, නීතිය මගහැරීමට සමානයි.

kohomaa nindak naha horu usaviyta genawata wada,,,,, ithin daduwam pramadayi mama hithanne, katath eka samanawa nathiya geniyanna!

නව අදහස දක්වන්න