පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ වැටලීම්වල වර්ධනයක් | දිනමිණ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ වැටලීම්වල වර්ධනයක්

සුභාෂිණී සේනානායක

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ සිදු කළ වැටලීම්වල සියයට 33ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

එමෙන්ම 2016 වර්ෂයේ මුල් කාර්තු දෙකට සාපේක්ෂව 2017 වර්ෂයේ මුල් කාර්තු දෙකේ සිදු කරන ලද වැටලීම්වල සියයට 15ක වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එහි දී රුපියල් මිලියන 46.7ක දඩ මුදලක් උපයාගෙන ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.

පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ සහ වෙළෙඳාම විධිමත් කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ මේ වැටලීම් සිදු කර ඇත.

කොළඹ හදිසි වැටලීම් ඒකකයට බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනූව පානීය ජලය ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවක වැටලීම් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ගම්පහ වැටලීම් ඒකකයෙන් කල් ඉකුත් වූ නමුත් විකිණීමට ඉදිරිපත් කර තිබූ රුපියල් කෝටි 1.5ක පමණ වටිනාකමකින් යුතු කිලෝ ග්‍රෑම් 50,000ක සුදු ලුණු තොගයක් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම තොගය විනාශ කිරීමටත්, විත්තිකරු මසක සිර දඬුවමකට යටත් කරීරිමටත් අධිකරණය නියම කර ඇත.

කොළඹ හදිසි වැටලීම් ඒකකයට බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනූව පාකිස්ථානයෙන් ආනයනය කරන ලද කල් ඉකුත් වු සුදු කැකුළු කිලෝ ග්‍රෑම් 17,500ක් සහ ව්‍යාජ ලෙස එරටින් ආනයනය කරන ලද සම්බා සහල් කිලෝ ග්‍රෑම් 25ක් අලෙවි කරන ලද වෙළෙන්දකුට විරුද්ධව රුපියල් 10,000ක දඩ මුදලක් පනවා තරයේ අවවාද කර නිදහස් කර ඇත. ගෙන්දගම් මිශ්‍ර කරන ලද රුපියල් මිලියන 2.5ක වටිනාකමකින් යුතු කිලෝ ග්‍රෑම් 4625ක කොත්තමල්ලි තොගයක් අත්අඩංගුවට ගෙන අදාළ සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කර ඇත.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතට අනුව රජයෙන් නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන්වලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම, විකිණීමට ඉදිරිපත් කිරීම සහ අනෙකුත් භාණ්ඩ ලකුණු කළ මිලට වඩා වැඩි මිලට විකිණීම, භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම, පාරිභෝගිකයා නොමඟ යවන ආකාරයේ කටයුතු කිරීම (ආලේපන, සිිසිල් බීම, බිස්කට් වර්ග, තීන්ත වර්ග, සහල්, ඖෂධ හා ළදරු නිෂ්පාදන),භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම, පාරිභෝගිකයාට බිල්පතක් නිකුත් නොකිරීම, තොරතුරු සඳහන් නොකිරීම, නියමිත ප්‍රමිතියට හා ගුණත්වයට අනුකූල නොවන භාණ්ඩ අලෙවිය ආදී වරදවල් වෙළෙඳපොළ විමර්ශනයෙන් අනාවරණය කර ගන්නා ලදී.

එසේම වෙළෙඳපොළෙහි විකිණීමට ඇති භාණ්ඩවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට නිරන්තරයෙන් කටයුතු සිදු කෙරේ. පසුගිය දිනවල දී සහල් පානීය ජලය, පොල්තෙල්, නැවුම් කිරි, පැණි බීම, හාල්මැස්සන්, රට ඉඳි, සැමන්, කොත්තමල්ලි හා කුරක්කන් පිටි ආදිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, කාර්මික තාක්ෂණ ආයතනය ආදී රජයේ පිළිගත් රසායනාගාරවලට යොමු කර ඇත. රජයේ රස පරීක්ෂක වාර්තාවලට අනූව කොළඹ, පොලොන්නරුව හා මින්නේරිය ප්‍රදේශවලින් ලබා ගත් සහල් සාම්පල් කෘමි ආසාදනවලට ලක් වී තිබූ නිසාත්, මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරුවීමෙනුත් පසු අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන ලදි. අධිකරණ තීන්දුවට අනූව දඩ මුදල් අය කරගෙන එම සහල් තොග රාජසන්තක කර විනාශ කිරීමට තීරණය කර ඇත.

පාරිභෝගික පැමිණිලි 1977ට යොමු කරන ලෙසත් 011-7755481-2-3 අංක වෙත යොමු කරන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 

නව අදහස දක්වන්න