බඩගෝස්තරවාදය සහ කලාව | දිනමිණ

බඩගෝස්තරවාදය සහ කලාව

අතීත ශ්‍රී ලාංකික ජන සමාජයට නිරුවත කුණුහරුපයක් නොවී ය. නිරුවතට මුවා වෙමින් පුද්ගලයන්ව අකටයුතුකම් සඳහා පොළඹවා ගැනීමට තරම් අසහනයක් ඇති අතීතයක් පිළිබඳ ද නොකියවේ. සියල්ල කණපිට ගැසුණේ ශිෂ්ට සම්පන්න පරදේසක්කාර මහත්වරුන්ගේ ආගමනයත් සමඟය. නිරුවතට ඉල්ලුමක් සහ ආශාවක් අද ඇත. භයානක ම කාරණය නම් නිරුවතට මිලක් ද තිබීම ය.

පාසල් අධ්‍යාපනය හරහා ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්නේ නම් සාධනීය ගති ලක්ෂණ ඇති මිනිසෙකු බිහි වනු ඇත. නමුත් ඒ ගැන මත පළ කිරීම විනා ප්‍රායෝගික ක්‍රියාවලියකට නිසි බලධාරීන් ශක්තිමත් පියවරක් තබා නොමැත. සෞඛ්‍යය සහ ශාරිරික අධ්‍යාපනය යන විෂය හරහා ලබා දෙන ලිංගික අධ්‍යාපනය විභාග ප්‍රශ්න පත්‍රයකට පමණක් සීමා වන්නකි. අවුරුදු දහසයක් වැනි කාලයේදීත් පාඩම්වල මිනිස් ශරීරයේ ප්‍රජනනය ආශ්‍රිත ඉගැන්වීම් අතරතුර එකිනෙකා දෙස බලා ඉඟි බිඟි කිරීමට, සිනාසීමට සහ ප්‍රශ්න ඇසීමට තරම් ධෛර්‍යසම්පන්න නොවන සිසුහු සිටිති.

නිරුවත හා සම්බන්ධ ඩිජිටල් යුගයේ වැඩි කතා බහකට ලක්වන මාතෘකාවක් ලෙස නග්න ඡායාරූපකරණය හැඳින්විය හැකිය. ආලෝකය සමඟ මුසුව නග්න සිරුරක සියුම් රේඛා සහ චලන ඔස්සේ ශ්‍රේෂ්ඨ කලාකෘතියක පහස මිනිස් සිරුරට ලබා දීම එහිදී සිදු වේ. අන් සෑම කරුණකදී සේම මෙහිදීත් චේතනාව වැදගත් ය. මනා සංයමයකින් යුතු ව අති ස්වාභාවික වස්තුවක් වන මනුෂ්‍ය ශරීරය පිළිබඳ ගෞරවයක් ඡායාරූපකරණ ශිල්පියා සතු විය යුතු ය. නිරූපණ ශිල්පිනිය හෝ ශිල්පියා සිය ශරීරය සම්භාවනාවට පාත්‍ර වන්නක් ලෙස සිතීම අවශ්‍ය ය. අවශ්‍යතාවට වඩා එය තමන් පිළිබඳ අයිතියකි. නමුත් චේතනාව පිරිසිදු වූ පමණින්ම යමක් උසස් කලා නිර්මාණයක් වේයැයි කිව නොහැකි ය.

නිරුවත කුණුහරුපයක් වන තැන නග්න ඡායාරූපකරණයට අත් වී ඇති නස්පැත්තිය පිළිබඳවත් කිවමනා ය. පඳුරකට පයින් ගැසූ පමණින් හතර අතේ වැටෙන ඡායාරූපකරණ ශිල්පීහු සහ බඩගෝස්තරවාදය උදෙසා හිරි-ඔතප් බිඳ ගැනීමේ ආශාව ඇති සියල්ලෝ මෙම කලාව නරා වළකට දක්කන්නෝ වෙති. අනවශ්‍ය ලෙස මේවාට පෙළඹෙන්නේත් නිසි දැනුමක් නැති නමුත් මනුෂ්‍ය ආශාවන් පිළිබඳ දැනුමැත්තෝ වෙති. ලිංගික සත්ත්වයෙකු වශයෙන් මිනිසා පත් වී ඇති අතෘප්තිකර ස්වාභාවය මුදල් සෙවීමට දඩමීමා කරගැනීමට මොවුහු උපන් හපන්නු වෙති.

නිරුවත දැකීමේ කාමාශාව කෙතරම් දැයි අවබෝධ කරගත හැකි හොඳම ස්ථානය පොදු වැසිකිළි හැරුණු කොට මුහුණු පොතයි. කාන්දු වීම වැනි වචනයකට අර්ථ පාදක පරිවර්තනයක් නොදිය හැකි ‘ලීක් වීම’ අන්තර්ජාලය නිසාම ලාංකේය වාග් කෝෂයට එක් වූ අලුත් සාමාජිකයෙකි. කාගේ හෝ නිරුවතක්, අඩ නිරුවතක් නැත්නම් වෙනත් අසංවේදි වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදාහැරීම ලීක් කිරීමයි. මේවා වීඩියෝගත කිරීම හා අනුලෝම ලෙස වීඩියෝ පටයක් ලැබෙනා තෙක් දෑස් දල්වා බලා සිටීමට තරම් නිරුවත ප්‍රජාවට අමුතු දෙයක් වී ඇත. මිනිසුන් වශයෙන් එකම ආකාරයේ සැකැස්මක් ලද්දේ නම් තවකෙකුගේ නිරුවත තුළින් ආශාවන් සන්තර්පණය කරගැනීමට වලි කෑම විශ්ව ව්‍යාප්ත සමාජ රෝගයකි. වෘත්තීය මට්ටමේ ඡායාරූපකරණ ශිල්පීන් යැයි කියාගත් පිරිස් පසුගිය සමයේ නිරූපණ ශිල්පීන් හා නිකුත් කරන්නට යෙදුණු ඡායා සමස්ත පද්ධතියටම හානිදායක විය. මොවුන්ගේ කාලය සහ ශ්‍රමය විය පැහැදම් වූයේ අන් කිසිවකට නොව පොදු ව්‍යවහාරයේ එන පරිදි හෙළුව මාකට් කිරීමට ය. මුහුදු වෙරළක, ගඟක් අසබඩ එසේත් නැත්නම් පොල් උලකවත් කම් නැති පරිද්දෙන් කලාවේ අංශුමාත්‍රයක ස්පර්ශයක් නැති නිර්මාණ බිහි වේ. මේ නිර්මාණ සඳහා දායකත්වය සැපයූ සහ සපයන සියල්ලන්ගේ ක්‍රියා කලාපය අධෝමුඛය වසා විරේක බෙහෙත් බීමකි. කලා කෘතියක් බලාපොරොත්තුවෙන් හිඳ හෙළුව මාකට් කිරීමට බෙහෙත් පාවිච්චිය නොමනා ය.

තිසරණී විජයබණ්ඩාර
@Thizuu

නව අදහස දක්වන්න