රගර් සුදුසුකම් ලැබීමේ තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි | දිනමිණ

රගර් සුදුසුකම් ලැබීමේ තරගාවලිය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ෆවුස් මොහොමඩ්

පාසල් රගර් සංගමය සහ ජාතික රගර් ආයතනය අතර කඹ ඇදිල්ල හේතුවෙන් වසර 2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රගර් තරගාවලිය නියෝජනය කරන ආසියානු කණ්ඩායම තෝරා ගැනීම සඳහා ලබන මස චීන තායිපේ හී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීම ශ්‍රී ලංකාවට අහිමිවී ගියේය.

චීන තායිපේ හී ලබන මස 9 සහ 10 දෙදින පැවැත්වෙන මේ අවුරුදු 17න් පහළ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 38කගෙන් යුතු සංචිතයක් ද ගොඩනගා තිබූ අතර ජාතික රගර් තේරිම් කමිටු ප්‍රධානි මයිකල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංචිතයේ අවසන් තෝරා ගැනීම ඉදිරියේදී සිදුකිරීමටත් නියමිතව තිබිණි. එසේ වුවත් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා යොවුන් රගර් පිලට මූල්‍යමය ප්‍රතිපාදන සොයා ගැනීමේ අර්බුදයක් මත අවසන් මොහොතේදී චීන තායිපේ සංචාරය අවලංගු කිරීමට සිදුවී ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා රගර් ආයතනයේ ලේකම් නසීම් මොහොමඩ් මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ එම සංචාරයට මූල්‍යමය ප්‍රතිපාදන තම සංගමය සතුව නොමැති බවය.

‘අපිට හැමදාම කනිෂ්ඨ රගර්වලට මුදල් යොදවන්න බෑ. ඒක පාසල් රගර් සංගමය කළ යුතු දෙයක්. අපි ගිය අවුරුද්දේ මිලියන 25ක් පාසල් රගර්වලට වියදම් කළා. ඒ වගේම ගිය අවුරුද්දේ පාසල් රගර් සංගමයට අපි වෙනම මිලියන 5කුත් දුන්නා. ඒ මිලියන 5 අද වනතුරු අපිට ලැබිලා නෑ. ඒ වෙනුවෙන් අපි එන්තරාවාසියකුත් යවා තිබෙනවා. කනිෂ්ඨ රගර් දියුණු කිරීම පාසල් රගර් සංගමයේ වගකීමක්. අපිට තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ රගර් ක්‍රීඩාව දියුණු කිරීමේ අභියෝගයයි.’ ඔහු කීවේය.

‘දැන් වෙලා තියෙන්නේ අපිට ලැබෙන මුදල් කනිෂ්ඨ රගර්වලට වියදම් කරන්නයි. මේක හැමදාම කරන්න බෑ. ජ්‍යෙෂ්ඨ රගර් ක්‍රීඩාව වෙනුවෙන් අපි කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ක්‍රීඩා සමාජ දියුණු කිරීම, කාන්තා රගර් ක්‍රීඩාව දියුණු කිරීම වගේ දේවල් රැසක් තිබෙනවා.’ ජාතික රගර් ආයතනයේ ලේකම්වරයා එසේ කීවේය.

‘පාසල් රගර් හරි ‘ප්‍රයිස්’ එකකට විකුණන්න පාසල් රගර් සංගමය දැනගන්න ඕනා. එහෙම වුණානම් මේ වගේ ගැටලු මතුවෙන්නේ නැ. කනිෂ්ඨ රගර් ක්‍රීඩාව තමයි ජාතික කණ්ඩායමට සම්පත් සොයා දෙන්නේ. ඉතිං එයාලා දැනගත යුතුයි කනිෂ්ඨ රගර් ක්‍රීඩාව දියුණු කරන්න. එත් ඔවුන්ට ඒ ගැන කිසිම උනන්දුවක් නෑ. මේ තරගාවලිය ගැනත් උනන්දුවක් නෑ. පාසල් රගර් ක්‍රීඩාවේ සංවර්ධනයට ඔවුන්ගේ කිසිම සැලසුමක් නෑ. පසුගිය වසරේ අපි අවුරුදු 18න් පහළ පාසල් ක්‍රීඩිකාවන්ට ඩුබායි සංචාරයක් ලබා දුන්නා. ඒත් මේ අවුරුද්දේ ඒක කරන්න බැරි වේවි. මේවා පාසල් සංගමයෙන් කළ යුතු දේවල්.’ ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ පාසල් රගර් සංගමයේ ප්‍රකාශයකු පැවැසුවේ එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට රගර් සංගමය හරහා ලැබී තිබූ ආරාධනාවකට අනුව පාසල් සංගමයෙන් මූලික වැඩ කටයුතු සූදානම් කළ බවය. එමෙන්ම එම තරගාවලියට කණ්ඩායම සහභාගි කරවීම ජාතික සංගමය විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් මූල්‍යමය ප්‍රතිපාදන අර්බුදයක් මත එම සංචාරය අවලංගු කිරිමට ජාතික රගර් සංගමය පියවර ගෙන ඇති බවකි. එම සංචාරය සඳහා අවුරුදු 17න් පහළ පාසල් කණ්ඩායම සහභාගි කරවීම පාසල් රගර් සංගමයේ වගකීම නොවන්නේදැයි දිනමිණ කළ විමසුමකදී එම ප්‍රකාශකයා දන්වා සිටියේ තම සංගමයට ද ඒ සඳහා මුදල් නොමැති බවය.

‘අපට ලැබෙන මුදල් තරගාවලි පැවැත්වීමට පමණක් ප්‍රමාණවත්. එවැනි සංචාරවලට කණ්ඩායම් සහභාගි කරවීමට අපටත් මුදල් නෑ.’ පාසල් රගර් සංගමයේ ප්‍රකාශකයා කියා සිටියේය.

ලබන වසරේ ඔක්තෝබර් මස ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවර පැවැත්වීමට නියමිත තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාලක හා බාලිකා සත් සාමාජික රගර් තරගාවලිය සඳහා කණ්ඩායම් 6 බැගින් තරග වදිති. එම තරගාවලියට සත්කාරක ආජන්ටිනා කණ්ඩායම සමග දකුණු අමෙරිකාව, උතුරු අමෙරිකාව, යුරෝපා මහද්වීපය, අප්‍රිකාව, ආසියා මහාද්වීපයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගවලින් කණ්ඩායම බැගින් තෝරාගැනේ. 

නව අදහස දක්වන්න