තල් අර­ඹෙන් නික්ම යෑම | දිනමිණ

තල් අර­ඹෙන් නික්ම යෑම

කමල් පෙරේරා

ඊලාම් යුද්ධයේ එක අවස්ථාවක කොටි අණසකට යට වී තිබුණ යාපනය අර්ධද්වීපය ආරක්ෂක හමුදාව විසින් යළිත් අත්පත් කර ගත්තා. කොටි සංවිධානය ඊට ප්‍රතිචාර දැක්කුවේ ලක්ෂ ගණනක ජනතාව යාපනයෙන් පිටමං කරවීම මඟින්. එහෙම කිරීම මඟින් කොටි සංවිධානය කල්පනා කළේ දකුණේ ආණ්ඩුවටත්, ආරක්ෂක හමුදාවටත් සමච්චල් කිරීමටයි. උඹලට අපේ භූමිය අල්ලගන්න පුළුවන් වුණත් ජනතාව ඉන්නේ අපි එක්ක කියල පෙන්නන්නයි කොටි සංවිධානෙට ඕනෑ වුණේ. අනිත් අතට උන්දැලාට උදව් උපකාර කරන ජාත්‍යන්තර සංවිධානවලටත් පණිවිඩයක් දෙන්න ඔවුන්ට උවමනා වුණා. දකුණේ හමුදාව අල්ලා ගත්තේ හිස් භූමියක්ය ජනතාව ඉන්නේ අපි සමඟයි කියලා.

ඇත්තටම, යාපනය අර්ධද්වීපයේ ජනතාව කොටින් එක්ක ගියේ සිය කැමැත්තෙන් නෙමේ. තමන්ගේ ගෙවල් දොරවල්, ගොවිබිම්, හරකබාන, එහෙමත් නැත්නම් තමන් ගොඩනඟාගත් ව්‍යාපාර මේ සියල්ල අතහැරලා හිඟන්නො වගේ පාරට බහින්න කැමති වෙන්නෙ කව්ද? ඒ ජනතාවට යාපනයෙන් ඉවත් වෙන්න කොටි සංවිධානයෙන් ලබා දුන්නේ පැය දෙක තුනක කාලයක් විතරයි. ගැබිනි මවුවරු, වයස්ගත අය, ලෙඩ්ඩු, ළමා ළපටි මේ හැම‍ කෙනකුටම කොටි නියෝගය එක විදිහටම බලපෑවා.

ඇත්තටම මිනිස් ඉතිහාසයේ අපට මේ වගේ පිටමං කිරීම් අසන්න ලැබන්නේ ඉතාම විරල වශයෙන්. මහා වැහි මැද්දේ ලක්ෂ සංඛ්‍යාත ජන ගංඟාවක් ගහක් කොළයක් නැති මුඩු බිම් ඔස්සේ ගිය ඒ ගමන ගැන ලියවෙන විශේෂාංග ලිපි, කවි, කෙටිකතා හා නවකතා අපට ඉඳහිට දකින්න ලැබුණත් චිත්‍රපටියක්, ටෙලිනාට්‍යයක් වැනි විද්‍යුත් මාධ්‍යයේ නිර්මාණයක් නම් තවමත් හරිහැටි දකින්න ලැබුණේ නැහැ.

මම මේ පුංචි ප්‍රවේශය ගත්තේ මෑතකදී නිකුත්වුණු තවත් කෙටිකතා සංග්‍රහයකත් උතුරේ ජනතාව ගිය මේ වේදනාජනක පාගමන පසුබිම් කර ගත් කෙටිකතාවක් දකින්න ලැබුණ නිසයි. දකුණේ වෙසෙන සිංහල ලේඛකයකු අතින් එය ලියවී තිබීමත්, ඔහු ඉතා මැනවින් මේ සිද්ධිය විකාශනය කිරීමට සමත් වී සිටීම නිසාත් මේ කෙටි කතාව කැපී පෙනෙනවා. ලීලානන්ද වික්‍රමසිංහගේ අලුත්ම කෙටිකතා එකතුව වන ‘අයෝධ්‍යා’ කතා සංග්‍රහය තුළයි මේ කතාව දකින්න ලැබෙන්නේ. ලීලානන්ද ලේඛකයකුට අමතරව මාධ්‍යවේදියකු නිසාත් මේ කතාව ලිවීමට අවශ්‍ය පසුබිම් තොරතුරු ඔහු සොයාගන්න ඇතැයි කියා මට සිතෙනවා.

ලීලානන්ද මේ කතාව නම් කර තිබෙන්නේ ‘තල් අරඹෙන් නික්ම යාම’ කියලයි. මුත්තුසාමි නම් ගොවියෙක් ඔහුගේ බිරිය හා දියණියත් එක්ක මේ ගමන යන ආකාරය තමා කතාවට පසුබිම් වන්නේ. ඔවුන්ගේ පුතා චෙල්වම්. ඔහු කොටි සංවිධානයෙන් පැහැරගෙන ගිහින්. දියණියත් රැගෙන යයි කියන බයට ඇගේ මව මුතුලක්ෂ්මී දියණියගේ කකුලක් උණු යකඩයකින් පුළුස්සා තුවාල කරනවා. දියණියට මේ දීර්ඝ පා ගමනට එක්වීමට සිදුවන්නේ තුවාලයක් සහිත පාදයත් සමඟයි. ගමනේ අතරමඟදී අහිංසක ජනයාට විඳින්න සිදුවන දුක්පීඩා අපමණයි. සොබාදහම පවා ඔවුන්ට කුරිරු වෙනවා. ලීලානන්ද මේ අවස්ථාවන් විස්තර කරන්නේ පාඨකයාගේ සිත් සතන් කම්පා කරවන තරම් හැඟීම්බර ස්වරූපයකින්. ළාබාල කොටි සාමාජිකයන් තම සහෝදර ජනතාවට සලකන කුරිරු ආකාරය වරෙක ලේඛකයා වාග් සිත්තමකට නඟන්නේ මෙසේයි.

‘‘ජලය පිරී තිබුණු වෙල්යාය වැසිදිය වැටී කැලතී මඩ වන්නට විය. සංවිධානයේ වාහන සඳහා මාර්ගය ඉඩගත යුතු වූ බැවින් කැලෑ ඇඳුම් ඇඳගත් අවි ගත් තරුණයෝ අනාථයන් මඩ ගොහොරුවට තල්ලු කර දැමූහ. රෝගී වූ අය ජලයට ඇදවැටුණේ අබල දුබල ගවයන් මෙනි. තෙතබරිත වූ හිසින් සහ ගතින් යුතුවම මඩ වැකුණු සිරුරින් ඔවුන් ආපිට නැඟිට දණහිස තෙක් ජලයේ බැස ගමන් කරන්නට වූයේ තමන්ටම ශාප කර ගනිමිනි.’’

මේ පුංචි ඡේදයෙන්ම පුළුවන් සමස්ත සිදුවීම පිළිබඳවම චිත්‍රයක් මනසේ ඇඳගන්න. මේ කතාවේ තවත් තැනකදී මුත්තුසාමි ඇතුළු පවුලේ සාමාජිකයන්ට කොටි සංවිධානය විසින් පැහැරගෙන යනු ලැබූ තම පුත්‍රයා මුණගැසෙනවා. මුත්තුසාමි ඔවුන්ගේ බඩු මූට්ටු දැමූ අත්කරත්තය ඉතා අමාරුවෙන් තල්ලු කරගෙන යන හැටි පුත්‍රයා දකිනවා. කොටි සංවිධානය විසින් මේ තරුණයාගේ හිත යකඩයක් තරමටම ඝන කරලයි තියෙන්නේ. ඔහු අප්පාට සැරකර නියෝග කරනවා කරත්තය පැත්තකට දමා ඉක්මනට ඉදිරියට ගමන් කරන්න කියා.

ලීලානන්ද වික්‍රමසිංහ මේ කතාව ලිවීම මඟින් පරණ තුවාලයක් පාරවන්න උත්සාහ කරනවා කියා කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒත් ලීලානන්දගේ චේතනාව එහෙම එකක් නොවන බව කතාව කියවන මධ්‍යස්ථ පාඨකයකුට වටහාගන්න පුළුවන්. අසරණ ජනතාවක් පීඩනයට පත්කිරීම විමුක්තිදායකයන් අතින් සිදුවුණා කියලා ජනතාවගේ දුක් වේදනාව අඩු වන්නේ නැහැ. ආරක්ෂක හමුදාව කළත්, විමුක්තිදායකයන් කළත් ජනතා මර්දනය එක හා සමානයි. මෙවැනි නිර්මාණ මඟින් අප කළ යුත්තේ කවර ආකාරයක හෝ ජනතා මර්දනයට එරෙහිව ජනමතයක් ගොඩනැඟීමට පදනමක් සකස් කිරීමය කියා මා සිතනවා.

ලීලානන්දගේ අයෝධ්‍යා කතා සංග්‍රහයේ එන සියලුම කෙටිකතා මේ රටේ සිංහල හා දෙමළ ප්‍රමුඛ පොදු ජනතාව මුහුණ දෙන විවිධ සමාජ දේශපාලන හා සංස්කෘතික ගැටලු තේමා කරගෙන ලියවී තිබෙන බවක් පෙනෙනවා. ඒ කතා සියල්ලම එක සේම කලාත්මක නිර්මාණ වශයෙන් සාර්ථක වී නැති බවත් කිව යුතුයි. උදාහරණයක් වශයෙන් දැක්වූවොත් වාර්ගික ගැටලුවම පසුබිම් කරගෙන ලිය වී තිබෙන තවත් කෙටිකතාවක් වන ‘සොල්දාදුවා, මිනිසා සහ ගැහැනිය’ හමුදා භටයෙක් හා දෙමළ ස්ත්‍රියක පසුබිම් කරගෙන ලියවී ඇතත් එය විශ්වාසනීයත්වයෙන් තොර නිර්මාණයක් බවට පත්වී තිබෙන බවයි පෙනෙන්නේ.

කොහොම වුණත් ලීලානන්ද වික්‍රමසිංහ ලේඛකයාගේ මේ ප්‍රයත්නය අපි අගය කළ යුතුයි. මොකද ‘දැන් දෙමළ මිනිසාට තියෙන ප්‍රශ්න මොනවාදැයි’ අසමින් තවමත් විසඳී නැති උතුරු නැ‍ඟෙනහිර ජනතාවගේ ගැටලු යටපත් කර දමන්න කැසකවන ඇතැමුන්ට ලීලානන්ද මේ කතා මඟින් කිසියම් පණිවිඩයක් නිකුත් කර තිබෙන නිසයි. සිය නිර්මාණශීලී පන්හිඳ ඔස්සේ මේ සංවාදය ඉදිරියට රැගෙන යන්න සවිය හා දිරිය ලැබේවා කියා අපි ලීලානන්ද වික්‍රමසිංහයන්ට ප්‍රාර්ථනා කරනවා.

 

නව අදහස දක්වන්න