නුවරඑළිය-කඳපොළ-ගල්පිහිල්ල කුණු කන්දෙන් අවට පරිසරයට හානි | දිනමිණ

නුවරඑළිය-කඳපොළ-ගල්පිහිල්ල කුණු කන්දෙන් අවට පරිසරයට හානි

* නගරය පුරා විෂබීජ
* නුවරඑළිය ප්‍රාදේශීය සභාවෙන් නිසි පියවරක් නෑ

කඳපොළ නගරාසන්නයේ ප්‍රධාන මාර්ගයට මුහුණලා තිබෙන ගල්පිහිල්ල කුණු කන්ද ගැන වගකිවයුතු කිසිවකු හෝ අවධානය යොමු නොකිරීම නිසා හිතුමතේ කුණු ගොඩගැසෙමින් මහා පරිසර විනාශයක් සිදුකරන සහ ප්‍රදේශය පුරා විෂබීජ පතුරවන ආකරයක් බවට පත්වෙමින් තිබෙන බව නගරවාසීහු පවසති.

නුවරඑළිය ප්‍රාදේහීය සභාවට අයත් කඳපොළ උප කාර්යාලය යටතේ මෙම සීමාව පාලනය වූ අතර නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට මේ ගැන කොතෙකුත් දන්වා සිටියද මේ වනතුරු කිසිදු විසඳුමක් ලබා දීමට පියවර ගෙන නැතුවා සේම තාවකාලික පිළියමක් යෙදීමට හෝ කටයුතු කරන්නේ නැතිව පස් ටිකක් උඩින් දමා තැලූ බව ද කියති.

ප්‍රාදේශීය සභාවේ කම්කරුවන්ට හා කංකානිවරුන්ට හිතෙන හිතෙන පරිද්දෙන් ට්‍රැක්ටර්වලින් කැළිකසළ එකතු කරගෙන එන අතර ඒවා කුණු වළ තුළට බෑමේදී සිදුකරන නොසැළකිලිමත්කම නිසා පරිසර හානිය දෙගුණ තෙගුණ වී ඇත. ට්‍රේලරය උඩට ඔසවා ඒ තුළ තිබෙන කැළිකසළ සියල්ල බිමට හැලීයාමටත් පෙර ගෝලයාගෙන් ලැබෙන හරේ යන දැනුම්දීමත් සමඟ ඉදිරියට ගන්නා ‍ටේලරයේ ඉතිරිව තිබෙන කැළිකසළ පාර දිගේ විසිරී යයි. එසේ අතරමඟ වැටුණු කුණුවලින් කඳපොළ රාගල ප්‍රධාන මාර්ගයේ දෙපස කිලෝමීටර් කාලක පමණ දුරක් කැළිකසළ සහ ජරාව විසිරී ඇත. මහමඟ කැළිකසළ අවට තිබෙන එළවළු සේදීමට ගන්නා ජලපෝෂක වතුර වළවල්වලට ද වැටී තිබේ. එසේ සෝදන එළවළු මුළු රටටම බෙදා හැරේ. සෞඛ්‍ය නිලධාරීන් මේ ගැන කඩිනම් අවධානය යොමුකළ යුතුව ඇතැයි ජනතාව පවසති.

නගරයේ මස්කඩවලින්, ගව ඝාතකාගාරවලින් ඉවත් කරන සත්ත්ව කොටස් මෙන්ම බලු කුණු පවා ඔහේ විසිකර යයි.

නුවරඑළිය ශ්‍රීලනිප ආසන සංවිධායක මධ්‍යම පළාත් සභාවේ උපසභාපති එස්. බී. රත්නායක මහතා - කුණු කන්ද ඉවත් කිරීමට පසුගිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් කීපයකදීම සාකච්ඡා කළා. ඒත් පලක් නෑ. කොංකෝඩියා වත්තෙන් මේ සඳහා බිම් කොටසක් ලබාදීමට වතු පාලන අධිකාරිය එකඟ වී ඇතත් ඒ පිළිබඳව නිසි සම්බන්ධීකරණයක් පවත්වා කඩිනම් පියවරක් ගැනීම වෙනුවට බොහෝ වගකිවයුතු අය ඇල්මැරුණ ස්වරූපයකින් කටයුතු කිරීමෙන් ප්‍රශ්නය එහෙමමයි.

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් යූ. එච්. පද්මා මහත්මිය - පසුගිය දිනෙක ‍ඩෝසරයක් යොදා කුණු කන්ද සමතලා කළා. ඉඩම් කොටසක් ලබාගැනීමට සාකච්ඡා පවත්වනවා.

අදහස් 1ක් ඇත

munta gahapiyawu natti kadenna, kunu aragena ena welawata hangila , asuchi walin!

නව අදහස දක්වන්න