විදෙස්ගත ශ්‍රමිකයන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් වගකීම රජය සතුයි | දිනමිණ

විදෙස්ගත ශ්‍රමිකයන්ගේත් ඔවුන්ගේ පවුල්වලත් වගකීම රජය සතුයි

ගත වූ වසර හත අටක කාලයේ රටට වැඩිම ආදායම ලබා දී ඇත්තේ විගමණික ශ්‍රමිකයන් උපයන වැටුප් බවත්, එම ශ්‍රමිකයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සම්බන්ධ පූර්ණ වගකීම රජය සතු වන බවත් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇමැතිවරිය මේ අදහස් පළ කළේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගිය දා (20) පැවැති ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනේ දීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරිය මෙසේ ද සඳහන් කළාය.

"පසුගිය අවුරුදු හත අටක කාලයේ ඉඳන් මේ රට දුවන්නේ පිටරටවල සේවය කර බිලියන 7ක ආදායමක් ලබන ශ්‍රමිකයන්ගේ මුදල්වලින්. එතකොට රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා, ඔබ මුහුණ දෙන ගැටලුවලටත්, ඔබගේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු පිළිබඳවත්, ඔවුන්ගේ සුබසාධනය හා මානසික මට්ටම ගැනත් සොයා බලන්න. ඔබ එවන මුදල් හරියට වියදම් කරනවාද කියලා බලන්න. අපිට සමහර කාන්තාවන් කියනවා, ගෙදරට මුදල් අරිනවා කිසිම දෙයක් වෙන්නේ නෑ. ගෙදරවත් හදාගන්නේ නෑ කියලා. අම්මා නෑ ඒක නිසා පාසල් යන්න අපි කැමති නෑ කියලා ළමයි පාසල් යන එක අත ඇරලා තියෙනවා. මේවා තමයි අපි මේ ශ්‍රමික සුරැකුම වැඩසටහනෙන් ක්‍රියාත්මක කරන්නේ. වරප්‍රසාදයක් හැටියට ජනාධිපතිවරයාගේ පොරොන්දුවකට අනුව මේ වසර අවසානයේ විගමණික ශ්‍රමිකයන්ගේ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහි හිමිකම් ලැබෙන්නේ මෙහි ලියාපදිංචි වෙන අයට පමණයි. අපේ මුදල් ඇමැතිවරයා අපිට යෝජනා කර තියෙනවා, තීරු බදු සම්බන්ධයෙන්. තාම මේවා පොරොන්දු එහෙම නෙවෙයි. නැත්නම් කියයි මැතිවරණයක් ළඟ තියාගෙන තීරු බදු අඩු කරනවා කියලා. මේක එහෙම දෙයක් නෙවෙයි. පිටරටවල සේවය කර එන අය රැගෙන එන බඩුවලට මෙහේ බදුවල යම්කිසි වෙනසක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙනකොට පාර්ලිමේන්තුවේ කාරක සභාවක් කටයුතු කරගෙන යනවා, පිටරටවල ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබා දෙන්න. මේ කොයි දේ කෙරෙන්නෙත් මේ ශ්‍රමික සුරැකුම වැඩසටහනේ ලියාපදිංචි වුණොත් විතරයි. එහෙම නැතිවුණොත් කාට හරි කරදරයක් වුණොත් කෙළින්ම පත්තරේට කියන්නේ. පසුගිය දවස්වල පත්තරේ තිබුණා, මිනියක් එවලා තියෙනවා ඇතුළේ අවයව නැතුව කියලා. අපි දන්නේ නෑ අවයව නැති එක කොහොම හොයා ගත්තාද කියලා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයන් පිළිබඳ වගකීමෙන් කටයුතු කරන කොට අනුරාධපුර පැත්තේ එක් කෙනෙක් මාධ්‍ය හමුවක් තියලා කියනවා වකුගඩුවක් ගන්න යනවා කියලා.

මගෙන් ඊයෙත් කෙනෙක් ඇහුවා, විදෙස්ගත වෙන අය ගැන දැන් විතරක් ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්නේ ඇයි කියලා. අර කතාවක් තියෙනවනේ, ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. මේකේ වැඩක් කෙරෙනවා දැන්. එහෙම වෙනකොට කොහේ හරි පොඩි අඩුපාඩුවක් හොයන්න හදනවා. අර කියන කතා ඔක්කොම සාවද්‍ය දේවල්. කෝ දැන් ඇණ ගිලලා ආපු උදවිය. මම මේ අමාත්‍යාංශය භාර ගත්තාට පස්සේ ඇණ ගිලලා ආවේ එක් කෙනයි. අපි එයා ගැන ඔක්කොම වාර්තා ගත්තාම මේකේ එහෙම සිද්ධියක් නෑ. විදෙස් ගතවෙලා ඉන්න ශ්‍රමිකයන් පිළිබඳව කටයුතු කරන්න රජයක් හැටියට අපිට වගකීමක් තියෙනවා.

මේ අය ගැන අපි හොයලා බලලා කටයුතු කරන කොට මාධ්‍යයෙන් අපිටම ගහනවා. අපි මාධ්‍යයෙන් බොහොම ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරලා තියෙනවා, මොකක් හරි ප්‍රවෘත්තියක් පළ කරන්න කලින් අපේ අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයෙන් විමසීමක් කර පළ කරන්න කියලා. ගල් ගහලා මරන්න නියම වූ කාන්තාව 2015 දෙසැම්බර් මාසයේ අපි නිදහස් කර ගත්තා. මේ අමාත්‍යාංශය ගැන හරි අවබෝධයක් නැති කාලේ තමයි, 2015 අපේ‍්‍රල් මාසයේ ඒ තත්ත්වයට මුහුණ දුන්නේ. හැබැයි අපිට පුළුවන් වුණා, ඒ තැනැත්තියට මාධ්‍යයෙන් බේරා ගන්න. නමයි ගමයි විස්තර කිව්වා නම් මෙහේ පත්තරවලින් ගහනවා. එතකොට ඒ තැනැත්තියගේ පවුලේ අය මෙහේ ජීවත් වෙනවාට වඩා හොඳයි මැරිලා යන එක. මේකෙත් පොඩි සදාචාරයක් තියෙන්න ඕනි. අද යහපාලන රජයෙන් නිදහස ලැබුොට කරන කරන හැමදේම විවේචනය කරන්න හොඳ නෑ.

අපි ජනප්‍රිය වෙන්න හදන ආණ්ඩුවක් නෙවෙයි. අපිට බනිනවනේ හරියට. සයිටම් කියලා එකක් පටන් ගත්තා වෙන කවුරුත්. ඒක නතර කරන්නේ නෑ කියලා ජනාධිපතිවරයාටයි, අගමැතිවරයාටයි බනිනවා. මුළු කොළඹම අපහසුතාවට පත් කරමින් උද්ඝෝෂණය කරනවා. අනිත් පැත්තෙන් උමා ඔයක් ගැන කතා කරනවා. දැන් අලූත්ම එක තමයි සමෘද්ධිය. අපි දන්නේ නෑ මොනවා පදනම් කර ගනිමින් සමීක්ෂණය කළා ද කියලා. තුන්වේල කනවාද කියලත් ඒකෙන් අහලා තියෙනවාලූ. ලැයිස්තුව ප්‍රදර්ශනය කරන්න දැම්මම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වට කරනවා. රජය ගන්න ක්‍රියාමාර්ග ප්‍රාදේශීය ලේකම් ක්‍රියාත්මක කරනවා මිසක් මේ කාර්යාල වැටලූවා කියලා කරන්න දෙයක් නෑ.

හම්බන්තොට විකුණනවා කිව්වා. බණ්ඩාරනායක මහත්තයාගේ පිළිරුවත් එක්ක චීනේ ෂැංගි‍්‍රලා හෝටලයට විකුණපු එක කවුරුත් කතා කරන්නේ නෑ. ජනාධිපති කාර්යාලය ඉස්සරහා අක්කර 5ක් විකුණූ එක කවුරුත් කතා කරන්නේ නෑ. අපේ අගමැතිවරයාට පුළුවන් වුණා, සින්නක්කරව දුන්න ඒවා බදු බවට හරවලා ආපහු අපිට පවරා ගන්න. ලෝකේ තියෙනවා වරායවල් පාලනය කරන සමාගම්. ඒ අය ඇවිත් මේවා දියුණු කරන්න ඕනි. හැබැයි මේ වරාය ගිහින් චීනේ හයි කර ගන්න බෑ. අපිට අවුරුද්දකට මිලියන 9400ක ප්‍රමාණයක් මේ වෙනුවෙන් ගෙවන්න තියෙනවා. මිලියන 46, 000ක අලාභයක් මේ රට ලබලා තියෙනවා. "

ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ මහත්මිය සහ කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ උපුල් දේශප්‍රිය මහතා ද මේ අවස්ථාවට එක්වී සිටියහ. 

නව අදහස දක්වන්න