සැබෑවන සිහිනයක මහිමය | දිනමිණ

සැබෑවන සිහිනයක මහිමය

වසන්ත ප්‍රිය රාමනායක

ඔප්පුවක් නොමැතිකමින් වසර තිස් හතළිස් ගණනක් මහවැලි ජනපදිකයන් විඳි දුක්ගැහැට අපමණය. ඒ වෙනුවෙන් දූෂිත නිලධාරීන්ට දොල-පිදේනි දීමට ද ඔවුනට සිදුවිය. මේ දිනවල ජනපති නියමයෙන් කඩිනමින් සැකසෙන්නේ ඔවුන්ට හිමි එම සින්නක්කර ඔප්පු බව පැහැදිලිය.ගොවිජනපදවල ජීවත්වන ජනයාට දශක ගණනාවකින් පසු සින්නක්කර ඔප්පුවක හිමිකම් ලැබීම රටක් රාජ්‍යයක් පහළවූවාට සමානය.

‘‘අපි මේ පළාතට මුල් වරට ආවේ නවසිය තිස් ගණන්වල. මමයි, ඩඩ්ලි සේනානායක මහත්තයයි ආවේ තිරික්කලයකින්. ඒ තිරික්කලය මැදිරිගිරියෙ ඒකනායක මන්ත්‍රීතුමාගෙ තාත්තගෙ. ඒ අය මේ පළාතට ඇවිත් තියෙන්නේ 8 වැනි සියවසේ. අපි මෙතන ඉඳල අංගමැඩිල්ලට ගියා. සවස 6ට පමණ සොරබොර වැවේ නෑවා. අපි ආවේ ගොවි ජනපද බලන්න. එදා හිටිය කවුරුහරි මෙතන ඉන්නවද? මට පෙනෙන්නේ නැහැ වගෙයි.”

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා මේ ප්‍රකාශය කළේ එවකට පැවැති මහියංගන ගම්උදා සංවත්සර රැස්වීම අමතමිනි. මේ කතාවටත් දැන් දශක තුනකට වැඩි කාලයක් ගතව තිබේ. ජයවර්ධන ජනාධිපතිවරයා එම සිහිපත් කිරීම කළේ මේ රටේ ගොවි ජනපද ව්‍යාපාරයේ මුල් අදියරේ ක්‍රියාකාරකම් සිහිපත් කරමිනි.

අපේ රටේ ගොවිජනපද ව්‍යාපාරය ඇරඹුණේ නවසිය තිස් ගණන්වල අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කළ සමයේදීය. එහි පුරෝගාමී වැඩ කොටස ඉටුවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායකයන් අතිනි. එවකට ඔහු නිදහසට පෙර පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කර තිබුණි.

ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක්ව පැවැති සමයේ විනාශ වූ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කර යළි රජරට හා ඌවේ කෘෂිකාර්මික නවෝදය ඇතිකරලීමේ පුරෝගාමී කාර්යයට එදා ඩී. ඇස්. අතගසා තිබුණි. එය නිදහසට පෙරම ඇරඹියේ අධිරාජ්‍යවාදීන් අතින් සිදු වූ වැරැදි ඔවුන්ගේ පාලනය තුළින්ම නිවැරදි කිරීමට දැයි කියන්න දන්නේ නැත. කෙසේ නමුත් ඩී. ඇස්. නව ගොවිජනපද ඇති කරමින් ඉඩම් බෙදා දෙමින්, ඒවායේ ජනතාව පදිංචි කරවමින් ගෙන ගිය විප්ලවය අදත් මේ රටේ ජනතාව සදා අනුස්මරණීයව සිහිපත් කරති.

“අග්‍රාමාත්‍ය ඩී. ඇස්. සේනානායක මැතිතුමා තමයි මේ රටේ මහා ගොවිජනපද ව්‍යාපාරය පටන් ගත්තෙ. අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල එදා මහා ගොවිජනපද ව්‍යාපාර ආරම්භ කිරීම මේ රටේ ගොවිජනපද ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක් වගේම ජාතික ආර්ථිකය ශක්තිමත් කරන පුළුල් පදනමක් ඇති කෘෂි ආර්ථිකයක් ආරම්භ කිරීම සඳහා මූලික පදනමක් හා අඩිතාලමක් ඒ තුළ ඇතිවුණා.”

(ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - 2017.08.18 මාධ්‍ය)

රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට මේ දක්වා බලයට පත් සෑම රජයක්ම වාගේ අඩු වැඩි වශයෙන් මේ ගොවි ජනපද ක්‍රමය ශක්තිමත් කරලීමේ හා ඊට උදව් උපකාර මෙන්ම තවත් එය වැඩි දියුණු කිරීමේ කාර්යයක නිරත විය. ඊට හේතුව කෘෂිකාර්මික රටක් වූ ශ්‍රී ලංකාවේ ජනතාවට බත සැපයීමේ මූලික කාර්යය වෙනුවෙන් මෙන්ම සහලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් උදා කිරීම වෙනුවෙන් ගොවි ජනපද මූලික වී ක්‍රියාකිරීමයි. එසේම සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමෙහිලා ගොවිජනපද පුරෝගාමී මෙහෙවරක නිරතවීමයි.

එදා ඩී. ඇස්. ඇරඹි මේ රටේ ගොවිජනපද ව්‍යාපාරය නගා සිටුවීමේ හා වැඩිදියුණු කිරීමේ පුරෝගාමී මෙහෙවර ඉටු වූයේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගිනි. මහවැලිය ගොවිජනපද අංගනාවට පැලඳූ වැඩි වටිනාකමකින් යුතු පලඳනාවක් වැනිය. එය ගොවිජනපදවලට ජලය සැපයීමේ පමණක් නොව නව ගොවි බිම් හා ගොවිජනපද බිහි කිරීමේ දැවැන්ත කෘෂිකාර්මික ව්‍යාපාරය බවට පත්විය.

මේ රටේ මහවැලි ව්‍යාපාරය පිළිබඳ ඓතිහාසික කථිකාවත ඇරඹෙන්නේ 1930 ගණන්වල සිටය. නැතිනම් ගොවිජනපදවල ආරම්භයත් සමඟිනි. එහෙත් එය දැවැන්ත බහුකාර්ය වාරි යෝජනා ක්‍රමයක් ලෙසින් ඇරඹෙන්නේ 1965–70 ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ රාජ්‍ය සමයේ දී ය. 1969 දී සී. පී. ද සිල්වා ඇමැතිවරයා 1969 මහනුවර පොල්ගොල්ලෙන් මහවැලි ගඟ හරස් කර ජලය උතුරට හැරවීමේ වේල්ලට මුල්ගල තැබීමත් සමඟය.

1970 ආණ්ඩු පෙරළියත් සමඟ රජරට නායකයකු වූ සමඟි පෙරමුණු රජයේ වාරිමාර්ග විෂය භාර අමාත්‍ය මෛත්‍රීපාල සේනානායක මහතා යටතේ මහවැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණි. ඒ අනුව 1976 ජනවාරි 8 වැනිදා පොල්ගොල්ලෙන් රජරටට ජලය මුදාහරිනු ලැබීය. මහවැලි ජලය බහුකාර්ය යෝජනා ක්‍රමයක් යටතේ පොල්ගොල්ලෙන් රජරටට ගලා ගියේ මෙතැන් සිටය.

1977 එක්සත් ජාතික පක්ෂ රජය යටතේ වසර 30කින් නිමවීමට තිබූ මහවැලි යෝජනා ක්‍රමය වසර 6කින් නිම කිරීමේ තීන්දුවක් ගනු ලැබීය. එවකට මහවැලිය අයත් වූයේ ගාමිණී දිසානායක ඇමැතිවරයාගේ විෂයපථයටයි. මහවැලිය කඩිනම් මහවැලිය බවට පත්වූයේ මෙතැන් සිටය. 1977 පසු මහවැලි ව්‍යාපාරය කඩිනම් වූ අතර එය වික්ටෝරියා, රන්දෙණිගල, කොත්මලේ, රන්ටැඹේ, මාදුරුඔය ජලාශ සමඟ රටේ කර්මාන්ත සංවර්ධනය සඳහා විදුලි උත්පාදන කටයුතු වෙනුවෙන් වැඩි බරක් තබා කටයුතු කළ බව පෙනේ. 1994 සිට බිහි වූ පොදුජන එක්සක් පෙරමුණු රජය මඟින් මහවැලි ව්‍යාපාරයේ ඉදිරි කටයුතු ගොවිජනපද ඉලක්ක කර ගනිමින් මෙහෙයවනු ලැබීය.

එහෙත් ගොවිබිම්වලට වැඩි වශයෙන් ජලය ගලා යන ගොවි ජනපද ඉලක්ක කරගත් ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන්නේ මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයයි. මහවැලි ව්‍යාපාරයේ විශාලතම ජලාශය ඉදිවන්නේ ද මෙම ව්‍යාපාරය යටතේය. එය පරාක්‍රම සමුද්‍රය මෙන් සිවුගුණයකටත් වඩා විශාල වනු ඇත. අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට පමණක් නොව වයඹ පළාතේ කොටසකට වාරි ජලය මෙන්ම බීමට ජලය මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරය මඟින් ලබාදීමට නියමිතය මෙමඟින් ගොවිජනපදවල ජල හිඟය අවසන් වනු ඇත.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දේශපාලන දිවියේ ආරම්භයේ සිටම මෙම ව්‍යාපෘතිය ඇරඹීම සඳහා සටන් කළ, උද්ඝෝෂණය කළ මෙන්ම ආණ්ඩුවල අවධානයට ලක් කළ නායකයෙකි. එහෙත් ඒ පිළිබඳ සිහිනයට මුල්ගල තැබෙන්නේ 2007 ජනවාරි 25 වැනිදාය. එතැන් සිට 2012 දක්වා වසර 5ක් බෙහෙවින්ම එය මුල්ගලට පමණක් සීමා වූ ව්‍යාපෘතියක් වුණි. එදා එම ප්‍රමාදය සිදු නොවුණි නම් රජරට වැව් 600ක් සමඟින් උතුරු මැද, වයඹ පළාත්වලට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ද 2012 සිටම ජලය ලබා දීමේ හැකියාව පැවතුණි. එසේ වූවා නම් වර්තමානයේ පවතින නියඟයට ද විසඳුමක් ලැබෙනු ඇත.

නැවත මොරගහකන්ද ව්‍යාපාරය සක්‍රිය වීමට පටන් ගනු ලැබුවේ 2015 ජනවාරි 8 වැනිදා ඇරඹි නව පාලනයත් සමඟය. මේ වන විට වැඩ අවසන් වෙමින් පවතින මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉදිවන මහ ජලාශය ජලයෙන් පිරී යමින් පවතී. එමඟින් නිකුත් වන ජලධාරා සමඟින් පවතින නියංසායට පිළිතුරක් ලැබෙනු ඇත. එය ගොවි ජනතාවගේ ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් වන බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් එම ප්‍රීතියේ ද අඩුවක් පවතී. වත්මන් රජය බලයට පත්වූ දා සිටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි අමාත්‍යාංශය තමා යටතට ගනිමින් ගත් එක් උත්සාහයක් වූයේ එම ප්‍රීතියේ අඩුව සම්පූර්ණ කරදීමටය. එනම් තාවකාලික බලපත්‍ර වෙනුවට මහවැලි ජනපදිකයන්ට ස්ථිර ඔප්පු ලබාදීමටය.

ඔප්පුවක් නොමැතිකමින් වසර තිස් හතළිස් ගණනක් මහවැලි ජනපදිකයන් විඳි දුක්ගැහැට අපමණය. ඒ වෙනුවෙන් දූෂිත නිලධාරීන්ට දොල-පිදේනි දීමට ද ඔවුනට සිදුවිය. වසර ගණනාවක් රජයේ කාර්යාලවල රස්තියාදුවීමට සිදුවිය. සමහර ජනපදිකයන් මහවැලි වතුරින් සිය කෙත් වතු සරු කරගන්නා නමුදු ජනපදවල වාසයට පැමිණ වසර 60ක් 70ක් පමණ වේ යැයි සැලකේ.

මේ දිනවල ජනපති නියමයෙන් කඩිනමින් සැකසෙන්නේ ඔවුන්ට හිමි එම සින්නක්කර ඔප්පු බව පැහැදිලිය. ගොවිජනපදවල ජීවත්වන ජනයාට දශක ගණනාවකින් පසු සින්නක්කර ඔප්පුවක හිමිකම් ලැබීම රටක් රාජ්‍යයක් පහළවූවාට සමානය. මේ නිසා හෙට දවසේ මොරගහකන්ද ජලය සමඟ මහවැලි ජනපදිකයනට ජනාධිපති මෛත්‍රීගේ මැදිහත්වීමෙන් තමන්ට කියා සින්නක්කර ඔප්පුවක් ලැබේ.

මහවැලි මහ සැලැස්මට අනුව පදිංචි කිරීමට නියමිත ගොවි පවුල් ගණන 141000කි. මහවැලියට අයත් කලාප 10ක වාරි ඉඩම් අක්කර හෙක්ටයාර් 1015226 ක්ද, ගොඩ ඉඩම් හෙක්ටයාර් 263474 ක්ද අස්වැද්දීමට නියමිතය. මෙවර ඔප්පු පිරිනැමීමේ අපේක්ෂිත ඉලක්කය ඉඩම් ඔප්පු ලක්ෂයකි. ඒ අනුව මහවැලි ජනපදිකයින් පවුල් ලක්ෂයකට සින්නක්කර හිමිකම් සහිත ඔප්පු ලැබේ. මේ වන විට එම ඉලක්කයෙන් 85% සම්පූර්ණ කර ඇතැයි පැවසේ. මේ නිසා 2017 වසර අවසන් වන විට අදාළ ඉලක්කය නිම කිරීමේ අපහසුවක් දක්නට නොලැබේ. ඊට පූජනීය ස්ථානවලට අදාළ ඔප්පු 130ක් ද අයත් වේ. දැනටමත් ජනාධිපතිවරයා ප්‍රදේශ කීපයකට ගොස් සියතින්ම ඔප්පු පිරිනැමීමට සම්බන්ධ වී ඇත. ජනපදිකයනට තමන් ජීවත්වන ගොවි බිමේ අයිතිය බලපත්‍රයක් මඟින් පමණක් තහවුරු වනවාට කිසිවෙක් කැමැති නැත. එය ඔවුන් සලකන්නේ සිය පාරම්පරික ගම්බිම් හැරදා හෝ ඒවා ජලයට යට කර පැමිණි තමන්ට කරනු ලබන මදිපුංචිකමක් ලෙසිනි. මැතිවරණයක් ළඟ එන විට මේවා සම්බන්ධයෙන් සුන්දර කතා අසන්නට ලැබේ. එහෙත් හිමිකම් ඔප්පු ලැබෙන්නේ නැත. මේනිසා කාර්යාල ගානේ රස්තියාදු වන ගොවිජනතාවට සමහර දූෂිත නිලධාරීන්ට අතයට මුදල් පවා දීමට සිදුවේ. එහෙත් ඒවායින් ඵලක් නොවන අවස්ථා ඇත. ජනාධිපතිවරයා මැදිහත් වී සිටින්නේ පසුගිය ආණ්ඩු ගණනාවකින් සිදුවූ වරද නිවැරදි කරමින් ගොවිබිමක හිමිකම එහි ජීවත්වන රට වෙනුවෙන් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ ජනපදික ගොවිජනතාවට ඉටුකර දීමටය. එය අධිරාජ්‍යවාදී යුගයේ සිට මේ රටේ ගොවිජනපද පිහිටුවීමේ ක්‍රියාදාමයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසින් ඉතිහාසයේ සටහන් වනු ඇත.

නව අදහස දක්වන්න