යතුරක් අතුරුදන්! | දිනමිණ

යතුරක් අතුරුදන්!

කතරගම රුහුණු මහා දේවාලයේ සිද්ධිය මුළු රට ම දන්නා හාස්‍යජනක දෙයක් බවට පත් ව තිබේ. භක්තිය වෙනුවට හාස්‍යය පැතිර යන්නට පටන්ගෙන ඇත. සිද්ධියට මුල් වී ඇත්තේ බස්නායක නිලමේ හා කපු මහත්වරුන් අතර පවත්නා පෞද්ගලික අමනාපයක් බව පෙනෙන්නට තිබේ. දෙවියන් වෙනුවෙන් ආවතේව කටයුතු කරන සැදැහැවත් පුද්ගලයන් මෙලෙස ගහ-මරා ගන්නට ගියහොත් සිදුවන්නේ අපේ පුරාණ ඇදහීම්, විශ්වාස හා චාරිත්‍ර අභාවයට යෑම ය. සිද්ධිය නිසා අතීතයේ සිට පැවැත ආ දේව චාරිත්‍රයක් ද කඩ වී ඇතැ’යි කියති. මීට වගකිවයුත්තෝ කවරහු ද?

කපු මහත්වරු බස්නායක නිලමේට දොස් පවරති. බස්නායක නිලමේ කපු මහත්වරුන්ට දොස් පවරයි. ඇත්තට ම සිදු වී ඇත්තේ කුමක්දැ’යි කිසිවෙක් නොදනිති. එහෙත් බැතිමතුන් කෝපයට පත් වී කලබල ඇති කළ බවක් සඳහන් වේ. එය අසාධාරණ යැයි කිව නොහැකි ය. බැතිමතුන් දේවාලයක් වෙත එන්නේ බොහෝ කැපකිරීම් සිදුකොට සිතෙහි භක්තියෙන් ය. ඔව්හු නියමිත ‍වේලාවට පූජාවන් ඉටුකිරීමට සූදානමින් සිටිති. ඔවුන්ගේ අපේක්ෂා බිඳ දැමීම පාපයක් සේ සලකන්නට පුළුවන. ඒ හැරත් දේවාල භාරකරුවන්ගේ යුතුකම වන්නේ මහජනයාගේ පූජා කටයුතුවලට සහයෝගය දැක්වීම මිස ඒවාට අවහිර කිරීම නොවේ.

බස්නායක නිලමේ දේවාලයෙහි යතුර ගෙන ගියේ නම් එය වරදකි. කපු මහත්වරුන් කියන ලෙස නිලමේ පැමිණ දේවාලයේ යතුරු බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබේ. ඒ පූජා චාරිත්‍ර පැවැත්වීමට පෙර ය. නිලමේගේ ප්‍රකාශවලට අනුව දේවාලයේ යතුරු කිසිවකු විසින් සඟවනු ලැබ තිබේ. එය විමසා බැලීමට ගිය නිලමේට කපු මහත්වරුන් තර්ජනය කළ බවක් ඔහු කියයි. බැතිමතුන් කෝප වී නිලමේට හා ඔහුගේ සහායකයන් පිරිසකට පහර දී ඇති බවක් ද වාර්තා වෙයි. අපට පෙනෙන හැටියට මෙලෙස පුපුරා ගොස් ඇත්තේ දෙපාර්ශ්වය අතර පවත්නා ආරවුලයි. දෙවියන් වෙනුවෙන් කැප වූ අය අතර ද ගැටුම් පවතින බව මෙයින් පෙනී යයි.

මේ සිද්ධිය කේන්ද්‍රකොට විමර්ශනයට ලක් කළ යුතු ක්ෂේත්‍ර කිහිපයක් තිබේ. ඉන් ප්‍රධාන ක්ෂේත්‍රය වන්නේ ආගමික සංස්ථාවයි. ආගම් හා දර්ශන ඇත්තේ මිනිසාගේ ජීවිතය අර්ථවත් කිරීමට යැයි සරල අදහසක් ප්‍රකාශ කළ හැකි ය. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ආගම හා ඇදහීම් ඇත්තේ මෙලොව හා පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට ය. ආගමික නියෝජිතයන් හා ආගමික නායකයන් ගුරුවරුන් සේ ඊට අදාළ උපදේශන හා ආදර්ශ ලබාදිය යුතුය. අනෙකාට වෛර කිරීමට නොව මෛත්‍රී කිරීමට ආගමික නියෝජිතයන් පාඩම් කියා දිය යුතුය. අනෙකාට පහරදීමට නොව; මිතුරකු සේ උදවු කිරීමට ආගමික නියෝජිතයන් ආදර්ශ සැපයිය යුතුය. එහෙත් බොහෝ තැන්වල එය සිදුවන්නේ නැත.

ඇතැම් ආගමික සිද්ධස්ථානවල නායකයෝ දේශපාලන පක්ෂවලට බෙදී ගහ -මරා ගනිති. තව ආගමික සිද්ධස්ථානවල නායකයෝ ඉඩම්වලට, සල්ලිවලට, පින්කැටවලට ආරවුල් ඇතිකර ගනිති. තවත් ආගමික සිද්ධස්ථානවල නායකයෝ ජාතිවාදයට හා ආගම්වාදයට මුවා වී ජනතාව කුලප්පු කරති. සමාජය සුවපත් කිරීමට ඇති කේන්ද්‍රස්ථාන සමාජය ගිනියම් කරන බවක් පෙනෙන්නට තිබේ. රටේ සිදුවන දේශපාලන ගැටුම්වලට ද ආගමික සංස්ථාවෙහි කුමන හෝ සම්බන්ධයක් තිබේ. කතරගම රුහුණු මහා දේවාලයේ ගැටුම පිටුපස ද දේශපාලන හේතු තිබෙන්නට පුළුවන. කුමක් වුව මේ සියල්ලෙන් ම පෙනී යන්නේ ගරා වැටෙන සමාජයක පෙර නිමිති ය. මේවා වෙනස් කළ හැකි අතර වෙනස් කළ යුතුය. දේවාලයේ ප්‍රශ්නයට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ මැදිහත් විය යුතු යැයි ජනතාව කියන්නේ ඒ නිසා ය.

දෙවියන් උදෙසා ඉටු කරනු ලබන චාරිත්‍ර විධි අපේ සංස්කෘතියේ එක කොටසක් හැටියට ද අපේ උරුමයක් හැටියට ද සැලැකිය හැකි ය. පුරාණ රජ දවස පටන් එම චාරිත්‍ර - විධි පවත්වාගෙන එනු ලබන්නේ එහි කිසියම් බලපෑමක් ඇති නිසා යැයි කිව හැකි ය. ඒ හැරත් ජනතාව පිළිගනු ලබන හා විශ්වාස කරනු ලබන දෙයක් හිටිහැටියේ වෙනස් කිරීම සුදුසු දෙයක් නොවේ. රුහුණු මහා දේවාලයේ චාරිත්‍ර - විධි දුටුගැමුණු මහ රජුගේ කාලයේ පටන් පැවත එන බව කියති. එම චාරිත්‍ර පසුගිය දා වනතෙක් ම අකුරට ඉටුකර තිබේ. චාරිත්‍ර වෙනස් වූ එක ම දිනය ලෙස සටහන් වී ඇත්තේ මේ ආරවුල ඇති වූ දිනය යි. ඒ අනුව මේ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා වැරැදිකරුවන් සොයාගැනීම වැදගත් ය.

දේවාලයක් හා ආගමික සිද්ධස්ථානයක් සැලැකිය හැක්කේ පොදු ස්ථානයක් හැටියට ය. නැතහොත් මහජන අයිතියක් හැටියට ය. පන්සල් හා දේවාල සඳහා වූ වෙන ම නීති - රීති සංග්‍රහයක් ද අතීතයේ සිට පවතී. එම සංග්‍රහයට අනුව දේවාල භාර නියෝජිතයන්ට අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් නැත. කතරගම රුහුණු මහ දේවාල සිද්ධියේදි පාර්ශ්ව දෙකක් හිතුවක්කාර ලෙස ක්‍රියා කර ඇති බව පැහැදිලිය.

කිසිඳු පාර්ශ්වයක් ගැටුම නිරාකරණයට උත්සුක වී නැත. පාර්ශ්ව දෙකම තම බලය උරගා බලා ඇතැයි කියන්නට පුළුවන.

අන්තිමේ හිරිහැරයට ලක්ව ඇත්තේ බැතිමතුන් යැයි කියන්නට පුළුවන. මෙහිදී බැතිමතුන් ගැන කතාකරන කෙනකු නැති තරම් ය.

ආගමික සිද්ධස්ථාන ඔස්සේ ගොඩනැ‍ඟෙන ධන බලය, පිරිස් බලය, නායකත්වය වැනි සාධක සමාජ ප්‍රගමනයට වඩා සමාජ අවගමනයට යෙදවෙන බවක් පෙනෙන්නට තිබේ. එක අතෙකින් මේ සිද්ධස්ථානවල නියෝජිතයන්ට විශාල සිවිල් බලයක් ලැබෙයි. තව පිරිසකට ධනය ‍ලැබෙයි. තවත් පිරිසකට ප්‍රසිද්ධිය ලැබෙයි. ආගම හා දර්ශනය ඇත්තේ සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට නොවේ. මේ තනතුරු හා පදවි තබා‍ගත යුත්තේ සමාජ සේවයක් හා පින්කමක් ලෙස සලකාගෙනය. එහෙත් කිසිවකු ඊට සූදානම් නැති බව පෙනෙයි. මේ සිද්ධිවලින් පෙනී යන්නේ ආගමික සංස්ථාව පවා දැඩි ලෙස පිරිහෙන්නට පටන්ගෙන ඇති බව ය.

එක්කෝ පදවි හා තනතුරු දරන පුද්ගලයන් ඒවාට සුදුසු දැ’යි සොයා බැලිය යුතුය. නැතහොත් වෙනත් අය ඒ සඳහා බඳවාගත යුතු ය.

නව අදහස දක්වන්න