දීපාල් සුරි­ය­ආ­ර­ච්චිගේ ‘සිංහ­ලෙන් බිස්නස්’ පොත් පෙළ යළිත් | දිනමිණ

දීපාල් සුරි­ය­ආ­ර­ච්චිගේ ‘සිංහ­ලෙන් බිස්නස්’ පොත් පෙළ යළිත්

නවතම කළමනාකරණ දැනුම් සරල බසින් ඉදිරිපත් කිරීම නිසාම ඉතා ජනප්‍රියත්වයට පත් වුණු දීපාල් සුරියආරච්චිගේ ‘සිංහලෙන් බිස්නස්’පොත් සරසවි ප්‍රකාශනයන් ලෙස දැන් වෙළෙඳ පොළට නිකුත් වී ඇත.

වසර 2000 දී මුලින්ම් පළ වුණ මේ පොත් පෙළේ පළමු වන කෘතිය වන සිංහලෙන් බිස්නස් මෙලෙස එළි දකින්නේ හතර වැනි මුද්‍රණය ලෙසයි. සිංහල ඉංග්‍රීසි පාරිභාෂික ශබ්ද මාලාවකින් ද සමන්විත මේ කෘතිය අලෙවි කළමනාකරණයේ මූලික සංකල්පයන් සියල්ලක්ම වගේ ඉතා පැහැදිලි බසකින් මෙන්ම තේරුම් ගැනීමට ලෙහෙසි උදාහරණ තුළින් ඉදිරිපත් කර තිබේ.

සංචාරක ව්‍යාපාරය වැනි සේවා ව්‍යාපාරයන් සඳහා ඉතාමත් වැදගත් වන සංකල්පයන්ගෙන් පොහොසත් කෘතියකි ‘පාරිභෝගික සත්කාරය’. මේ යෙදුම පවා මුල් වරට හඳුන්වා දුන්නේ දීපාල් සුරියආරච්චි විසිනි. වැදගත් උපදෙස් එනම් තම ආයතනය විසින් කවර ලෙසකට පාරිභෝගික සත්කාරය ලබා දෙනවා ද යන්න මැන ගැනීමට යොදා ගත හැකි ප්‍රශ්නාවලියක් ද මේ පොතට ඇතුළත් කර ඇත.

‘සේවක සම්පත්’ සේවකයන් බඳවා ගැනීම, පුහුණු කර ගැනීම, දිරිමත් කිරීම යන කරුණු සඳහා අවශ්‍ය වැදගත් කරුණු ගණනාවක් පාඨකයාට හඳුන්වා දෙයි. මේ කෘතිය ප්‍රායෝගික උපදෙස් රාශියකින් පොහොසත්ය.

‘නායකත්වය’ කළමනාකරණ ක්ෂේත්‍රයේ බෙහෙවින් කතා බහට ලක් වන මාතෘකාවකි. මේ විෂයට අදාළ අපරදිග මෙන්ම පෙරදිග සංකල්පයන් සහ උදාහරණවලින් පොහොසත් මේ කෘතිය සැමට එකසේ ප්‍රයෝජනවත්ය.

වෙළෙඳ ආයතනයක ලිපිකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ දීපාල් දිවයිනේ සිය පූර්ණ කාලීන රැකියා දිවිය අවසන් කළේ AVIVA රක්ෂණ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරට පත්වෙමිනි. මේ ගමනේ තමන් ලද අත් දැකීම් රැකියාවෙන් සාර්ථකත්වයට පත් වීමට බලාපොරොත්තු වන සෙසු අයට බෙදා දීමේ අරමුණින් රචනා කර ඇති කෘතියකි ‘රැකියාවයි ඔබයි’. සේවකයන්ට මෙන්ම කළමනාකරුවන්ට ද මේ කෘතියෙන් ලබා ගත හැකි පාඩම් බොහොමයකි.

සතිමත් බව බුදු දහමින් ලොවට ලැබුණ දායාදයකි. මෙය කුසලතාවක් ලෙස වර්ධනය කර ගැන්මට ව්‍යාපාරික කළමනාකරණ ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ පුරෝගාමී කටයුත්තට දීපාල් ඇත ගැසුවේ බටහිර මේ සංකල්පය ජනප්‍රිය වන්නට බොහෝ කලකට පෙරය. වසර හතළිහකට ආසන්න කාලයක් තමා ලත් ප්‍රායෝගික ඇත්දැකීම් ඇසුරෙන් පළමුවෙන් ‘සතියෙන් දවසක්’ ලෙසින් පළ කළ කෘතිය එහි දෙවැනි මුද්‍රණය ‘සිහියෙන් සිටීම’ ලෙස නම් කර ඇත. සතිමත් බව වර්ධනය කර ගැන්මේ සරල ක්‍රියාකාරකම් සහ එතුළින් ලබා ගත හැකි ජීවිත අවබෝධයන් රැසක් මේ කෘතියේ අන්තර්ගතව ඇත. සතිමත් බව ගැන ඉංග්‍රීසි භාෂාවෙන් දීපාල් විසින් රචිත ‘Inward Bound’ නම් කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් වුණේ එංගලන්තයේය. එම කෘතිය දැන් සරසවි ප්‍රකාශනයක් ලෙස දේශීය පාඨකයන්ට ඉදිරිපත් කර ඇත.

දීපාල්ගේ අනෙකුත් කෘතීන් අතර ‘ජාතක විදසුන’ සුවිශේෂ තැනක් ගන්නේ ජාතක කතා සියල්ලම ජීවිතයේ විවිධ අවස්ථාවනට ප්‍රායෝගිකව භාවිතයට ගැනීමට හැකිවන සුචියක් ලෙසින් සකස් කර තිබීමයි. ආදරය, අධ්‍යාපනය, විවාහය වැනි ජිවිතයේ විවිධ තේමා 16ක් ඔස්සේ ඒ එක් එක් තේමාව යටතේ විවිධ අවස්ථාවන් ගණනාවක් ඔස්සේ මේ ජාතක කතා ගොනු කර ඇත. එක් එක් ජාතක කතාවෙන් මතුවන ඉගැන්වීම වාක්‍යය කිහිපයකින් කැටි කර ඉදිරිපත් කර ඇති මේ කෘතිය ධර්ම දේශකයන්ට මෙන්ම ගිහියන්ට ද එක සේ ප්‍රයෝජනවත්ය. දීපාල් සුරියආරච්චි විසින් මේ වන විට පළ කර ඇති පොත් සංඛ්‍යාව 15කි. රාජ්‍ය කළමනාකරණ උපදේශකයෙක් වන ඔහුගේ සන්නිවේදනයේ ඇති සුවිශේෂීත්වය සරල බවයි.

එය ඔහුගේ සෑම පොතකම දක්නට ලැබෙන අනන්‍යතාවයි.

නව අදහස දක්වන්න