O/L නැතිවම A/L කරන්න | දිනමිණ

O/L නැතිවම A/L කරන්න

අපේ රටේ අධ්‍යාපනයට අනුව අ.පො.ස. සා/පෙ යනු ද කඩඉම් විභාගයකි. මේ විභාගයෙන් අසමත් වන අය වැඩ බැරි අය ලෙස ද, බුද්ධිය හීන අය ලෙස ද හඳුන්වනු ලැබේ. එය ඇත්තක් නොවන’මුත් සා/පෙ. අසමත් අයට අධ්‍යාපනයෙන් යා හැකි මාර්ග තිබුණේ ඉතා ස්වල්පයකි. ඒවා ද සමාජ ගෞරවයට ලක්වන ක්ෂේත්‍ර නොවේ. මේ අනුව සා/පෙ හෙවත් O/L අසමත් අය කම්කරු වෘත්තීන් තෝරාගත යුතුය. නැතහොත් ස්වයං රැකියාවකට යොමු විය යුතුය. මෙය බලවත් අයුක්තියක් වන අතර තරුණ පරම්පරාව නොමඟට යොමු කරන උත්තේජකයක් ද වන්නේ ය. O/L අසමත් වුව ජීවිතය ජයගත් ව්‍යාපාරිකයෝද, දේශපාලකයෝ ද ඕනෑතරම් සිටිති.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණයක් ගෙන ඇත්තේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවමින් ය. නව ක්‍රමයට අනුව O/L අසමත් වුවද උසස් අධ්‍යාපනය සඳහා ඔවුනට දොර විවෘත වෙයි. ඒ වෘත්තීය තාක්ෂණවේදය ඔස්සේ ය. මේ විෂය හදාරන අයට ලෝකයේ ඕනෑම රටක රැකියා තිබේ. එම රැකියාවලින් මසකට ඉපැයිය හැකි මුදලද විස්මිතය. නිදසුනක් ගතහොත් ගෘහ භාණ්ඩ අලුත්වැඩියා කරන හා නව නිෂ්පාදන කරන ශිල්පියකුට පිටරටක දී රුපියල් ලක්ෂ හතරේ සිට රුපියල් ලක්ෂ හය දක්වා ආදායමක් ඉපැයීමට පුළුවන. මෙහි දී සලකා බැලෙන එක ම කාරණය වන්නේ පිළිගත් සහතිකය හා හැකියාව පමණි.

පසුගිය අ.පො.ස. සා/පෙ විභාගයෙන් අසමත් සිසුන් හාරදහස් පන්සියයක් සඳහා මෙවර උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඒ සඳහා පාසල් හතළිස් තුනක් තෝරාගෙන ඇත. වෘත්තීය තාක්ෂණවේදයට ඇතුළත් පාඨමාලා විසිහයක් මේ අය සඳහා ආරම්භ කිරීමට නියමිතය. මේ විෂයයන් ඉගැන්වීම සඳහා අදාළ විෂය ක්ෂේත්‍රයේ උපාධි හා ඩිප්ලෝමා ලැබූ ගුරුවරුන් දෙදහසක් බඳවා ගැනීමට ද ආණ්ඩුව තීරණය කර තිබේ. මේ තත්ත්වය සැලැකිය හැක්කේ අධ්‍යාපනයේ විප්ලවයක් හෙවත් වෙනසක් හැටියට ය. සිසුන්ගේ පැත්තෙන් බලන විට මෙය විශාල පින්කමක් ලෙස ද සැලැකිය හැකි ය.

අපේ අධ්‍යාපන රටාව සකස් වී ඇත්තේ විශාල තරගයක් ඇතිකොට සිසුන් විශාල ප්‍රමාණයක් සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ඉවත් කරන ආකාරයට ය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සා/පෙ විභාගය, අ.පො.ස. උ/පෙ. විභාගය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය එලෙස පවතින කඩඉම් ය. එක වසරට ඇතුළත් වී අධ්‍යාපනය ලබන පිරිසගෙන් ඉතා ස්වල්ප පිරිසක් පමණක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබති. බහුතරය අතරමං වෙති. වැඩිම තරගය ඇත්තේ වෛද්‍ය , ඉංජිනේරු හා කළමනාකරණ පීඨවලට ය. එහෙත් එම පීඨවල අධ්‍යාපන අවස්ථා ඉතා සීමාසහිත ය. මේ අධ්‍යාපන ක්‍රමය සමස්ත තරුණ පරපුර අතරමං කරන එකක් ලෙස සැලැකිය හැකි ය.

අධ්‍යාපනය යන්නට නිර්වචන සපයන විශේෂඥයෝ එහි අර්ථය පුද්ගලයාගේ හැකියා දියුණු කිරීම යැයි කියති. ඒ අනුව බැලුවහොත් සෑම දරුවකුටම කුමන හෝ හැකියාවක් තිබේ. සාම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමය තුළ ඇත්තේ දරුවන් කැමැති හෝ අකැමැති හෝ ඉලක්ක ලබා දී ඒවා ජයග්‍රහණය කිරීම සඳහා පොර පිටියකට තල්ලු කිරීමකි. ශිෂ්‍යත්ව විභාගය අසමත් වන දරුවන් අදක්ෂයන් ලෙස සැලකීම වැරැදිය. අ.පො.ස. සා/පෙ අසමත් වන දරුවන් අදක්ෂයන් ලෙස සැලැකීම ද වැරැදි ය. අ.පො. ස. උ/පෙ. අසමත් දරුවන් අදක්ෂයන් ලෙස සැලැකීම ද වැරැදි ය. අධ්‍යාපනයෙන් කළ යුත්තේ මේ දරුවන් කුසලතා හඳුනාගෙන ඔවුනට යා හැකි ඉදිරි මාර්ග පෙන්වා දීම ය. ඒ සඳහා පහසුකම් සැපයීම ය.

ජර්මනිය, ජපානය, දකුණු කොරියාව, චීනය වැනි රටවල් වෘත්තීය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය ලබා දී තිබේ. එම රටවල තාක්ෂණය දියුණුවන්නේ ද ඒ නිසා ය. වෘත්තීය අංශවල උපාධි, ඩිප්ලෝමා පමණක් නොව මහාචාර්ය පදවි පවා ලබාගැනීමට එම රටවල අවස්ථාව තිබේ. මෙලෙස බිහිවන වෘත්තීයවේදීන් කෙළින්ම සම්බන්ධ වන්නේ රටේ නව නිෂ්පාදන ක්ෂේත්‍රවලට ය. ශ්‍රී ලංකාව වැනි රටවල නව නිපැයුම් ක්ෂේත්‍රය දුර්වල ය. ඒ නිසා අපේ සංවර්ධනය මන්දගාමී වී ඇතැ’යි විශේෂඥයෝ පෙන්වා දෙති. රටේ ආර්ථිකය ගැන කතාකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිතර කියා සිටින්නේ නව නිපැයුම් ක්ෂේත්‍රය දිරිගන්වන බව ය. ඊට හොඳ පසුබිමක් මේ වැඩසටහනින් ලැබේ.

අපේ සාම්ප්‍රදායික අධ්‍යාප‍නයේ ඇති අවුල් ගැන දීර්ඝ කාලයක් තිස්සේ සංවාද පවත්වා ඇත. එහි දී මතු වූ එක් ප්‍රධාන ගැටලුවක් වූයේ අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර පවත්නා අසමානතාවයි. වඩාත් පැහැදිලිව කිවහොත් උසස් පාඨමාලා රැකියා වෙළෙඳ පොළ ඉලක්කකොට නිර්මාණය වී නැත. මේ අනුව උපාධි හා පශ්චාද් උපාධි ලැබූ අය ද විරැකියාවෙන් පෙළෙති. ඩිප්ලෝමාධාරීහු ද රැකියා පෝලිමේ සිටිති. මෙහි අනෙක් පැත්ත වන්නේ විවිධ ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු පැවැතීම ය. මේ තත්ත්වයෙන් පෙනී යන්නේ අධ්‍යාපනය ඉදිරි දැක්මක් ඇතිව සැලැසුම් වී නැති බව ය. තරුණ පරම්පරාව අයාලේ යෑමට ද අතරමං වීමට ද මේ හේතු සාධක බලපායි.

නූතන ලෝකය හසුරවනු ලබන එක් ප්‍රධාන බලවේගයක් ලෙස තාක්ෂණය හැඳින්විය හැකි ය. තාක්ෂණය කෙතරම් වේගයෙන් ඉදිරියට යන්නේ ද කිවහොත් දින කිහිපයක පමාවීමෙන් අප වසර ගණනකින් පසුපසට යා හැකි ය. තාක්ෂණය නමින් පුළුල් විෂයයක් ඇති බව ද, එහි විවිධ අංග ඇති බව ද අප වටහා ගත්තේ මෑතකදී ය. අධ්‍යාපනයට තාක්ෂණය යොමු කර විවිධ පාඨමාලා ඉගැන්වීමට උත්සාහ ගත් අවස්ථා ගණනාවක් තිබුණ ද ඒවා හරිහැටි ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නැත. වත්මන් ආණ්ඩුව තාක්ෂණය පාසල් විෂයයක් බවට පත්කොට ඒ ඔස්සේ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇති කර තිබේ. එය බුද්ධිමත් තීන්දුවකි.

වසර දහතුනක් අනිවාර්යයෙන් ම පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බව ආණ්ඩුවේ නියමය වී තිබේ. ඒ අනුව ශිෂ්‍යත්වය අසමත් වුව අ.පො.ස.සා/පෙ. අසමත් වුව දිගට ම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දරුවකුට ලැබේ. මේ දරුවා වසර කිහිපයකට පසු වෘත්තීය තාක්ෂණවේදය පිළිබඳ සහතිකයක් ලබන්නේ අනගි අවස්ථා දෙකක් අතෙහි තබාගෙන ය. එක; වෘත්තියකට ඇතුළත්වීමේ මූලික සුදුසුකම ඔහුට ඇත. දෙක; තාක්ෂණවේදය විෂයයෙන් උපාධි හෝ පශ්චාද් උපාධි ලැබීමේ අවස්ථාවද ඔහුට ඇත. මින් මතුවට අ.පො.ස.සා/පෙ අසමත් අය වැඩ බැරි අය වන්නේ නැත. 

නව අදහස දක්වන්න