'කාගෙ­වත් රඟපෑම් අනු­ක­ර­ණය කරන්නේ නෑ' - දිල්හානි | දිනමිණ

'කාගෙ­වත් රඟපෑම් අනු­ක­ර­ණය කරන්නේ නෑ' - දිල්හානි

රාත්‍රිය උදා වූයේ ඇගේ සිත ශෝකයෙන් පුරවමිනි. මේසය අසල අසුනේ වාඩි වී සිටියද ඇගේ නෙත් යොමුව තිබුණේ ඝන කළුවර දෙසට ය. හිස්බැල්මක් සහිත දෙනෙත්වල බලාපොරොත්තු ගිලිහී ගොසිනි. එක්වරම අපට පෙනෙන්නේ ඇගේ දෙවුර ගැස්සෙන ලතාවයි.

ශෝකය දරාගත නුහුනු බව කියාපාන ඒ දසුන අවසන් වන්නේ මුළු නිවෙසට ම ඇසෙන සේ නැඟෙන ඉකිබිඳුමකිනි. ඒ වරෙක ඈ ‘හීන හොයන සමනල්ලු’ සිනමාපටයේ සමනල පැටවකු වන ෂෙහාන්ගේ මව ලෙස ලද ජීවිතයයි. ඒ රාත්‍රිය උදාවූයේ ද මොර සූරන වර්ෂාවකිනි.

සමනලියක වන් දියණිය මුණ ගැසීමට පැමිණියේ තරුණ හාදයෙකි. මොර සූරන වර්ෂාවේ පාළු ගොඩනැඟිල්ලේ හුදකලාවේ මුණ ගැසෙන ඒ නොහික්මුණු හාදයාගේ නොහික්මුණු දෙනෙත ඇගේ දෙනෙත ගිනියම් කළා ය.

එක්වරම ඒ අඳුරු ශාලාවේ පහන දැල්විණි. තමාගේ සිතැඟි හෙළිවීමත් සමඟ තමා අබියස සිටින මව හා දියණිය දකින ඔහු කරන නොහික්මුණු යෝජනාව ඔවුහු අසරණ කළහ. ඒ අසරණ බව ඔවුන් පෙලඹූයේ තරුණයා අත ඇති දුරකථනය ගැනීම සඳහායි. එහෙත් සිදුවූයේ අහඹුවකි. තරුණයාට වැදුණු යකඩ පොලු පහර ඒ වනවිටත් මරු කැඳවා තිබිණි.

ඈ සිය දියණියට කෑ ගැසුවේ ඊළඟට කුමක් කළ යුතු දැයි යන්න සිතට නොපිවිසුණු බැවිනි. ඈව ඒ තරමටම අසරණ කරන්නේ ‘ධර්ම යුද්ධය’ සිනමා පටයයි. මෙලෙස එක ම කාලයක සිනමා පට ද්විත්වයක මවුවරුන් දෙදෙනෙකු ලෙස අප හමුවට පිවිසෙන ඒ මව මේ වනවිට සිටින්නේ අප අබියස ය. ඈ අන් කවුරුත් නොව සෑම දිනෙක ම ලාංකේය රසිකයන්ගේ ආදරයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක වන දිල්හානි අශෝක මාලා ය.

 “ඉතිං මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර හොඳද..?

“මේ දවස්වල මා රූගත කිරීම්වලට සම්බන්ධ නැතිවුණත් තිරගත කිරීම්වලට සම්බන්ධයි. මා රඟපෑ චිත්‍රපට දෙකක් තිරගත වෙනවා.මේ චිත්‍රපට හතර සැරයක් නරඹලා තිබුණු සිනමා ප්‍රේක්ෂකයන් මට පසුගිය දිනෙක මුණ ගැසුණා.

ඒ කාරණය සිනමාවේ සාධණිය ලක්ෂණයක පෙර නිමිත්තක් ලෙස අපට ගත හැකිය. මන්ද පසුගිය කාලයේ සිනමා ශාලාවලට සිනමා ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම ගැන සිහිපත් වීම නිසාවෙනි.

“ප්‍රේක්ෂකයන්ව බොහොම බලෙන් ගෙන්වා ගන්නයි පසුගිය කාලයේ අපට සිදුවුණේ. ඒත් අද ඉන්න සමහර ප්‍රේක්ෂකයන් හතර,පස් සැරය නරඹන්නට පෙලඹිලා තිබෙනවා. ඒ නිසා මේ සිනමාපටවලින් සිනමාවට සිදුවුණේ සේවයක්. නැවතත් සිනමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට අද්දා ගැනීමට ඉඳලා හිටලා හරි එවැනි චිත්‍රපට පැමිණීම වඩාත් හොඳ බවයි මා සිතන්නේ. එවැනි නිර්මාණවලට දායක වීමට ලැබීම වාසනාවක් විදියටයි මා සලකන්නේ.”

යසපාලිත නානායක්කාරගේ ‘දේදුන්නෙන් සමනලියක්’ චිත්‍රපටයෙන් සිනමා ප්‍රේක්ෂකයා වෙතට පිවිසෙන දිල්හානි එකල වාණිජ සිනමාවට නැතිවම බැරි රංගන ශිල්පිනියකි. වාණිජ සිනමාවේ සිට සිය දක්ෂතා දක්වමින් කලාත්මක සිනමාව තරණය කරන ඇගේ නවතම රංගනය ගෙනෙන එක් චිත්‍රපටයක් වන්නේ ‘ධර්ම යුද්ධය’යි. ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ කොහොමද..?

“මේ කතාව ඉන්දියාවේ බිහිවුණු කතා වස්තුවක්. ඒ කතා තේමාව රැගත් ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය බොහොම හොඳින් අපේ අය වැලඳගෙන තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ අයටත් ඒ කතාව අල්ලලා

ගිහින් තිබෙන බවයි. දමිල චිත්‍රපටයේ රඟපාන්නේ කමල්හසන් ඇතුළු නළු නිළි පිරිසක්. අපේ චිත්‍රපටයත් කරන්නේ දමිළ අධ්‍යක්ෂවරයකු නිසා, සමහර විට ඒ චරිතවලට ගැළපෙන චරිත මේ රටෙත් සොයන්න ඇති බවයි මට සිතෙන්නේ. මම සිතන්නේ ඒ චරිත ලක්ෂණවලට යන ලක්ෂණ මගේ තිබෙන නිසා වෙන්න ඇති ඔවුන් මේ චරිතයට මාව තෝරා ගන්න ඇත්තේ.

‘ධර්මයුද්ධය’අපේ රටේ නිර්මාණය වීමට පෙර ඒ හා සසැඳුණු චිත්‍රපට රැසක් ම මේ වනවිට බිහි වී අවසන්. ඒ චිත්‍රපට අපේ රටේ සිනමා රසිකයන්ට අරුමයක්ද නොවේ.“ඔබ ‘ධර්මයුද්ධය’ චිත්‍රපටයේ රඟපෑමට පෙර ඒ චිත්‍රපට නැරැඹුවාද..?

“මම සාමාන්‍යයෙන් ඒ වැඩේ කරන්නේ නැහැ. ඒත් මම චිත්‍රපටයට කතා කිරීමට පෙර දන්නේ නැතිව ‘පා නාසම්’ දමිල චිත්‍රපටය නැරැඹුවා. ඒ කතාවට මමත් බොහොම ආසා වුණා. මට රඟපෑමට කතා කළේ ඒ චිත්‍රපටයට බව මා දැනගෙන සිටියේ නැහැ. ප්‍රතිපත්තියක් විදියට මා එවැනි නිර්මාණයක් කරනවා නම් පෙර නිර්මාණය නරඹන්නේ නැහැ. ඒ චරිත ඔළුවට ගෙන අනුකරණය කරන්න යන්නෙ නෑ. මට වුවමනා වෙන්නේ ඒ චරිතයට මගෙන් දෙයක් ගන්නයි. දමිල අධ්‍යක්ෂවරයාට රූගත කිරීම් කරන ස්ථානයේදිත් ඒ චිත්‍රපටය අප ලවා නැරැඹවීමට බොහෝ වුවමනා වී තිබුණා. එවිට මා පැවසුවේ මා අනුකරණයට අකැමැති බවයි.

‘ධර්මයුද්ධය චිත්‍රපටයේදී දිල්හානිගේ සැමියා ලෙස රඟන්නේ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී ය. ඔහු ප්‍රධාන කර ගනිමින් දිවෙන චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනි කරන රංගනය ප්‍රතාපවත් පවුරක් බඳු යි. ඒ රංගනය අනෙක් රංගන ශිල්පීන්ට ඉස්මතු වීමට නොදෙන තරම් .මේ පවුර තරමටම ඉස්මතු වීමට තරම් සුදුසු අයුරින් ඔබගේ රංගනය නිර්මාණය කර ගත්තේ කෙසේද..?

“ඒ චිත්‍රපටයේ රඟපාන නළු - නිළියන්ගේ ප්‍රබලත්වය චිත්‍රපටයේ කතාවට බලපෑම් කරනවා. එහි ජැක්සන් අයියා වගේ නළුවකු රඟපෑම මා දකින්නේ චිත්‍රපටයේ වාසනාවක් විදියටයි. එවැනි පරාසයක් දක්වා ගමන් කළ හැකි නළුවකු ඒ චිත්‍රපටයේ සිටිය යුතුයි. එහිදි තාත්තා කියන කෙනා ප්‍රබලව පෙනිය යුතු චරිතයක්. අප්පච්චී කියන නාමයට ජැක්සන් අයියාව හොඳට ම ගැළපෙන කෙනෙක්. එහෙම වුණත් එවැනි දැවැන්ත චරිත හිටියත් රංගනයේදි මට බියක් දැනෙන්නේ නැහැ. නිතරම මා බලන්නේ ඒ චරිතවල රංගනයත් සමඟ පෑහෙන්නේ කොහොමද යන්නයි. මේ චිත්‍රපටයේ සිටින අම්මා මට දැනෙන්නේ කොහොමද යන්නයි මට වැදගත් වන්නේ. ඒ චරිතයට මේ පවුල ඇතුළේ එකිනෙකාගේ සහයෝගීතාවයි බලපාන්නේ.මගේ චරිතය රඟපෑමේදී ඒ සඳහා මා දැඩි ආයාසයක් ගත්තේ නැහැ. මා සාමාන්‍යයෙන් ඉන්න විදියට ටිකක් ඉහළ තලයකට ගිහින්, අධ්‍යක්ෂවරයාගේ උපදෙස් සමඟ මා මගේ චරිතය ප්‍රතිනිර්මාණය කළා. එය මට බාරදුර කාර්යයක් වුණේ නැහැ.

මේ චිත්‍රපටයේ අප්පච්චී ජැක්සන් ඇන්තනීට මේ පවුල දැනුණේ තමන්ගේම පවුලක් ලෙස යි.

සැබෑ පවුලත් මේ පවුලත් අතර දුරස් බවක් නොදැනෙන තරමටම ඔවුන් සිවුදෙනා සිටියේ මනා වූ බැඳීමකින්.

“චිත්‍රපටය රූගත කිරීම් කරන කාලයේ ජැක්සන් අයියා අපි තුන්දෙනාටම සැලකුවේ හරියට දරුවන් තුන්දෙනෙකුට වගේ. ඔහු අපි කියන කියන දේ අරගෙන දුන්නා. මෙහි රඟපෑමට පෙර මා ජැක්සන් අයියාත් සමඟ රඟපාලා තිබෙනවා. තිසුරිවත් දන්නවා. බාල දියණිය ලෙස රඟපෑ දියණියව මට දකින්නට ලැබුණේ රූගත කිරීම්වලදිමයි. නවාතැනට ගියාට පස්සෙත් අපි හතරදෙනාගේ කාමර තිබුණේ පේළියටමයි. ඒ බැල්කනියේ කෑම ගන්න තිබුණෙත් එකටමයි. මම පාන්දරම නැගිටලා කම්මැලි හිතුණට පස්සේ හැමෝගෙම කාමරවලට ගහගෙන ගහගෙන යනවා. ළමයි ඉතිං මට බැණ බැණයි එළියට එන්නේ. ජැක්සන් අයියාට අපේ ප්‍රශ්න විසඳන්න තියෙනවා. කෑමබීම ප්‍රශ්න එහෙම. ඒ වගේ බොහොම සුන්දර වටපිටාවකුයි නිර්මාණය වී තිබුණේ.”

දිල්හානි ‘ධර්මයුද්ධය’ චිත්‍රපටයේ මෙන්ම ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේදීත් රඟපාන්නේ මවකගේ චරිතයයි. එහෙත් මේ මවුවරුන් දෙදෙනාගේ මනෝභාව, හැසිරීම් රටා, එකිනෙකට පරස්පර ස්වරූපයක් ගනු ලබනවා.මේ මවුවරු දෙදෙනා ඔබට දැනෙන්නේ කුමන ආකාරයටද..?

කතන්දර දෙකක්. චිත්‍රපට දෙකක්. වටපිටා දෙකක්. ඒ නිසා චරිත දෙක දෙයාකාරයි. ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ අම්මා ඇවිදින එක වැඩියි. දරුවකු අහිමිවීමට මුහුණ දෙන එක භයානකයි. දරුවකු දූෂණයට ලක්වනවාට වඩා මැරෙනවා කියන සිතුවිල්ල විද දරා ගැනීම බොහොම අපහසුයි. පවුලක එක දරුවකු නම් ඒක වෙනස්ම හැඟීමක් බවට පත්වෙනවා. ඈ වෙනත් අම්මලා වගේ නොවයි. කෑ ගහලා අඬන චරිතයකුත් නොවෙයි. ඒ වේදනාව දරා ගනිමින් සිත පතුළේයි ඈ දුක හංගා ගෙන ඉන්නේ. අනෙක් කාරණය නම් ඈට දරුවා කාගෙද කියන එක නොවෙයි වැදගත් වන්නේ. දරුවා දරුවකු පමණක් බවයි ඈ සිතන්නේ. අවසානයේ ඒ අම්මා සෑම දරුවකුටම එක හා සමාන වෙනවා. ඒ නිසා මේ චරිතය ඇත්ත ඉස්මතු වන චරිතයක්.

ඔබට ඒ චරිතය බොහොම දැනුණු චරිතයක්ද..?

“ඒක නම් එහෙමම තමා. ඒක මට දැනුණු චරිතයක්. ඒ වගේම චරිතයක රිද්මය පවත්වා ගැනීමත් බොහොම වැදගත්. ඒ නිසා එහාට මෙහාට ගියා නම් ඒ චරිතයේ තිබෙන රිද්මය කැඩෙනවා. එක දිගටම එහි රූගත කිරීම් තිබුණා. මා ඒ ළමයින් සමග කතාවත් සමඟ සෑහෙන කාලයක් සිටියා. සෞම්‍යගෙන් මගේ රඟපෑමට ලැබුණු උදව්ව. මේ සියලු දේත් එක්ක මා දැනීමකින් යුතුවයි ඒ චරිතය රඟපෑවේ. ඒ චිත්‍රපටය නරඹද්දි ඒ බව පෙනෙනවා.

‘හීන හොයන සමනල්ලු’චිත්‍රටයේදී පියාගේ චරිතය රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේයි. දිල්හානිගේ චරිතය හා සම සමව කතාබහට ලක්වන ආත්මාර්ථකාමී පියකුගේ චරිතයකටයි ඔහු පණ දෙන්නේ.සෞම්‍ය ලියනගේ සමඟ ඔබ රඟපාන්නේ පළමු වරට නොවෙයි..?

 

සෞම්‍ය මට මුණ ගැසෙන්නේ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයේදියි. ඒ චරිතට හොඳ සාධාරණයක් ඉටුකර ගැනීමට ඒ චිත්‍රපටයේදීත් සෞම්‍ය මට උදවු වුණා. සෞම්‍යගේ පෞරුෂය ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයටත් බොහොම වටිනවා. ඒ නිසා මට වඩා හොඳ නළු නිළියන් සමඟ රඟපෑමට ලැබීම මා සලකන්නේ භාග්‍යයක් විදියටයි. එය අපට දියුණු වෙන්න, ප්‍රතික්‍රියා දක්වන්න හැකියාව ලැබෙන්නේ තවත් කෙනෙකු එහා පැත්තේ විරුද්ධව සිටියොත් පමණයි. එහෙම නොවුණොත් තරමක් අපහසු වෙනවා. ඒ නිසා සෞම්‍ය සමඟ රඟපෑමට ලැබීම සතුටක්.

ඔබගේ චරිතයට ඔහුගෙන් ලැබුණු බලපෑම මොන වගේද..?

“එහෙම බලපෑමක් නැහැ. අප දෙදෙනා එකිනෙකා දක්වන ආදරය ගෞරවය මේ චරිතය රඟපෑමේදී බලපෑවා. අප දෙදෙනා රඟපෑම් කටයුතු කිරීමේදී සිටියේ එකටමයි. අපි දෙන්නා හොරෙන් බුලත් විට කෑවා. හොරෙන් දත් මදිනවා. ඒ වගේ බොහොම සැහැල්ලුවෙනුයි අප චරිතවලට මුහුණ දෙන්නේ. ඒ සැහැල්ලුව අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම අපට සලසලා තිබුණා. අපව බොහොම වෙහෙසට පත්කරමින් වැඩ ගත්තේ නැහැ. ඒ සැහැල්ලුවත් අපගේ චරිතවල සාර්ථකත්වයට බලපෑවා.

‘හීන හොයන සමනල්ලු’චිත්‍රපටය සිනමාවට පැමිණි අලුත් අධ්‍යක්ෂවරයකුගේයි. ඔහු රොහාන් පෙරේරා. කෙටි චිත්‍රපටකරුවකු ලෙස සිය සිනමා ගමන අරඹන ඔහු පළමුව නිර්මාණය කිරීමට යොමුවූයේ ‘සමනල සිත්තම්’ නම් චිත්‍රපටය වුවත්, එය නිර්මාණය නොවීම නිසා ඔහුගේ අවධානය යොමුවන්නේ ‘හීන හොයන සමනල්ලු’ නිර්මාණය දෙසට. ඒ අනුව රොහාන්ගේ තිරගත වන පළමු දිගු චිත්‍රපටය වන්නේ ‘හීන හොයන සමනල්ලු’.

වර්තමානයේ තරුණ සිනමාකරුවන් අතරට එකතු වන නවතම තරුණයා වන රොහාන් පෙරේරාගේ ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය තිරගත වන්නේ එහි වැඩ අවසන් කර වසර දෙකක කාලයකින් පසුව.හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාව ඔබ දකින්නේ කොහොමද..?

ඒ අධ්‍යක්ෂවරයා බොහොම හොඳයි. දරුවන් සමඟ හැසිරුණු ආකාරය, අපව ගොඩනැඟුව ආකාරය ගැන අපේ සිතේ තිබෙන්නේ පැහැදීමක්. අලුත් අධ්‍යක්ෂවරයකු වුණත් ඔහුට මිනිස්සු සමඟ ලස්සනට ජීවිත්වීමේ හැකියාව තිබුණා. ඒ නිසා ඔහු සාර්ථක බවයි මා සිතන්නේ. මේ චරිතය ගැන කාලයක පටන් අප සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලින් පසුවයි ෂෙහාන්ගේ මවගේ චරිතය නිර්මාණය වන්නේ.

ඔබ ඔහුගේ වෙනත් නිර්මාණවලටත් දායකත්වයක් දැක්වීමට කැමැත්තෙන්ද සිටින්නේ?

මේ වනවිටත් ඔහුගේ වෙනත් චිත්‍රපටයක් සඳහා ලබන වසරේ අගෝස්තු මාසයේ දින දීලා තිබෙනවා. මේ වනවිටත් ඒ පිටපත ලියලා තිබෙන බවයි මට පැවසුවේ. එකම දෙය නම් ඔහු මට පවසන්නේ වසර විසි ගණනකට පිවිසෙන්න කියලයි. ඒ ගැටලුවෙයි මා ඉන්නේ. ඒ ගැන මා ඉන්නේ දෙගිඩියාවෙන්. ඒත් ඒ සඳහා මා උත්සාහකර බලනවා.

 

දිල්හානි එක්දරු මවක වුවද බොහොම සුන්දර රුවකට හිමිකම් කියන සොඳුරු රංගන ශිල්පිනියකි. ඔබගේ සොඳුරු බවේ රහස කුමක්ද..?

මම වයසයි. මගේ පුතාටම වයස විසි දෙකක්. ඒ වුණත් මම එහෙම තරුණ විදියට ඉන්න සිතාගෙන රූපය හදන්න උත්සාහ කරන කෙනෙකු නොවෙයි. සරලවයි මගේ ජීවිතය ගෙවෙන්නේ. මා සිතන විදිය තරමක් වෙනස්. ඒ වගේ ම යම් ප්‍රතිපත්ති මාලාවක් අනුවයි මා කටයුතු කරන්නේ. නිතරම උත්සවවලට යන්න මා කැමැති නැහැ. ඒ නිසා මට මා වෙනුවෙන් කාලය ඕනෑතරම් තිබෙනවා.

කලක් ජනප්‍රිය සිනමාව බැබළු රංගන ශිල්පිනියක් වූ දිල්හානි මේ වනවිට නම් ඉන් ඈත්ව ඇති සැටියකි.

“මුල් කාලයේ මා රඟපෑවේ ජනප්‍රිය සිනමාවෙයි. එහෙම දිගටම රඟපෑ මා වෙනස් විදියේ රංගනයක් ඉදිරිපත් කරාවි යැයි කිසිවකුත් සිතුවේ නැහැ. ඒ කාලයේ ඒ විශ්වාසය මා කෙරේ කිසිවෙකුත් තැබුවේ නැහැ. අනෙත් එක ඒ කාලයේ මා රංගනයෙන් අද තිබෙන තරම් දියුණු මට්ටමක සිටියෙත් නැහැ.”

ඔබ කවදා හෝ එතැනට පැමිණෙනවාය යන අදහස සිතේ කොණකවත් සැඟව තිබුණේ නැද්ද?”

“අද මා තවත් අවුරුදු දහයකට සිතන්නේ නැහැ. හෙට දවසේ මා කවුරු ළඟ වැඩ කරනවාද මා දන්නේ නැහැ. ඒ නිසා එතැනදි මා මෙහෙම කරනවා,මෙහෙම වෙනවා කියන අදහසක් මගේ සිතේ නැහැ. ජීවිතේ කියන්නේ ඊළඟ මොහොතේ මොනවා වෙනවාද කියන එක අප දන්නේ නැහැ. ඒකට මා මුහුණ දෙනවා. මට සිතෙන්නේ එදාට වඩා වෙනස් වූ රස වින්දනයක් මට තිබෙන බවයි. මා සිතන විදිය වෙනස් කළේ නැත්නම් පසු කාලයේ මා රඟපෑ චරිත රඟපෑමට කිසි දවසක ලැබෙන එකක් නැහැ. වෙනස් වීමට නම් අප සිතන විදිය වෙනස් විය යුතුයි.”

ප්‍රියංකර පෙරේරාගේ දයාබර බිරිය ලෙස දිල්හානි අශෝකමාලා සිය සැමියාට මෙන්ම පුතාටද ආදරය කරන්නී ය. පුතා ඇගේ ජීවිතයයි. ඔහු මේ මවගේ සොඳුරු ආදරයෙන් ඈත් වී වැඩිදුර අධ්‍යාපනය කටයුතු සඳහා වෙසෙන්නේ ඇමෙරිකාවේ ය.“පසුගිය දිනවල පුතා ඇවිත් සිටියා නේද?”

“ඔහුගේ නිවාඩුවට ළඟදි ඇවිත් ගියා. අවුරුද්දකට සැරයක් ඔහු එනවා. මුල් කාලයේ නම් මට ඔහු විදේශ ගතවුණ කාලයේ මගේ සිතේ තිබුණේ දුකක්. ඒ සිතුවිල්ල මගේ සිතේ දැන් නැහැ. එහේම ඉන්නවා නම් හොඳයි කියලයි මට සිතෙන්නේ. මොකද එහේ තිබෙන පුරුදුත් එක්ක මෙහේ ඇවිත් ජීවත් වෙන්න අපහසු බවක් දැනෙනවා. ඒ නිසයි මා එලෙස පැවසුවේ. මෙහි පැමිණි එක් අවස්ථාවක පාර පනිද්දි කහ ඉරෙන් නොපනින්නේ ඇයි කියලා ඔහු මගෙන් විමසනවා. ඒ නීතිරීති ඔවුන් ඒ රටේදි පිළිපදින නිසා අපේ රටේදි ඔවුන්ට නිතරම ඉන්න වෙන්නේ ලේ රත්කර ගෙනයි. ඒ නිසයි මා පැවසුවේ ඔහු එ‍ෙහම සිටිනවා නම් වඩා හොඳ බව. 

(තිලානි ශානිකා විතා­නාච්චි)

අදහස් 1ක් ඇත

kiyanna obata balayak thiyenawa, sanniwedanaye sankethayak lesa, mokada , ape rate dan inna ammalata kudu wal hathikaregen diyaniyan bera ganna boho kapa kirim awassyayi kiyala, giribawe amma oyita wada waga kimen thama diyaniya gana sala kilimath wuwa nam, ahala pahala hitiya narumayagen diyaniya bera ganna ida thibuna , obata me gana hadak naganna ayithiya thiyenawa;

නව අදහස දක්වන්න