රාජ්‍ය ආයතන 07ක මහ පරිමාණ දූෂණ | දිනමිණ

රාජ්‍ය ආයතන 07ක මහ පරිමාණ දූෂණ

කමනි අල්විස්

කොමිසමේ නිර්දේශ ජනපතිගෙන් නීතිපතිට

රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය ආයතන හතක සිදුකර තිබෙන රුපියල් කෝටි ගණනේ මහාපරිමාණ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තා හතක් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා වෙත ඉකුත් සතියේදී භාර දී තිබේ.

ඒ පිළිබඳව දිනමිණ කරන ලද විමසීමකදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැවසුවේ ලැබී තිබෙන අදාළ වාර්තා හත සම්බන්ධයෙන් නීතිමය අධ්‍යයනය සිදු කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර නඩු පැවරීම සිදු කරන බවයි. ජනාධිපතිතුමා භාර දී තිබෙන වාර්තා හතට අදාළ නීතිමය අධ්‍යයන සිදුකිරීම් ආරම්භ වී තිබෙන බවත් නීතිපති ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති පරීක්ෂණ කොමිසම පරීක්ෂණ සිදුකර සාක්ෂි සටහන් කරගෙන තිබෙන නිසා එම සාක්ෂි පදනම් කරගෙන විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට හැකිවෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම ධීවර අමාත්‍යාංශය යටතේ පවතින ධීවර වරාය නීතිගත සංස්ථාව, හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, උඩරට සංවර්ධන අධිකාරිය, පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළුව උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාට අදාළ පරීක්ෂණ යන වාර්තා හත ජනාධිපතිතුමා විසින් නීතිපතිවරයාට භාර දී තිබෙන පරීක්ෂණ වාර්තාය.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී. පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ අදාළ ආයතන පිළිබඳව පරීක්ෂණ පවත්වා සාක්ෂි මෙහෙයවීම සිදු කිරීමෙන් අනතුරුව කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තා ජනාධිපතිතුමා වෙතට භාර දී තිබිණි.

අදහස් 1ක් ඇත

විදේශ සේවා නියුක්ති කාර්යාංශව නැද්ද?

නව අදහස දක්වන්න