පිච්එක හා මැච්එක ! | දිනමිණ

පිච්එක හා මැච්එක !

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා මහජන ඡන්ද පැවැත්විය යුතුය යන්න පිළිගත් මතයකි. එහෙත් මැතිවරණ පැවැත්වීමට අදාළ පසුබිම හා ඊට සම්බන්ධ ව්‍යුහය මහජනයාගේ විශ්වාසය දිනාගත් යුක්ති සහගත එකක් විය යුතුය. අපේ රටේ මැතිවරණ ක්‍රමය දීර්ඝ කාලයක් තිස්සේ විවේචනයට ලක්විය. එලෙස විවේචනයට ලක්වීම සාධාරණ වන්නේ කරුණු දෙකක් නිසා යැයි සිතන්නට පුළුවන. පළමු සාධකය වන්නේ මේ මඟින් මහජන අභිමතය නියම ලෙසින් නිරූපණය නො වීම ය. දෙවන සාධකය වන්නේ මහජන කටයුතු සඳහා නිශ්චිත ලෙසින් මහජන නියෝජිතයන් තෝරා - බේරා ගැනීමට ඇති අපහසුව ය.

විසිවන සංශෝධනයෙන් පසු මේ ගැටලු දෙකට පිළිගත හැකි ක්‍රමවේදයක් තනාගත හැකි බව බොහෝ දෙනා විශ්වාස කරති. මහජනයාගේ එක් මතයක් වන්නේ සාධාරණ හා යුක්ති සහගත මැතිවරණ පැවැත්වීම ය. එහි එක් අදහසක් වන්නේ තම ප්‍රදේශයේ කටයුතුවලට සෘජු ලෙසින් වගකියන නියෝජිතයකු පත්කිරීම ය. තව අදහසක් වන්නේ ගැළපෙන හා සුදුසුකම් ඇති නියෝජිතයන් පමණක් පත්කර ගැනීම ය. විසිවන සංශෝධනයෙන් පසු ඊට ද අවස්ථාවක් ලැබෙන බව විශ්වාස කළ හැකි ය. මැතිවරණ පැවැත්වීමට පෙර මේවාට අදාළ නීතිමය රාමුව සකස් කර ගැනීම හැම අතකින් ම වැදගත් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද අවධාරණය කර තිබිණි.

මහජනයා හදිසි මැතිවරණ ඉල්ලා සිටින බවක් පෙනෙන්නට නැත. මැතිවරණ කුලප්පුවක් දකින්නට ලැබෙන්නේ ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් අතර යැයි කියන්නට පුළුවන. දේශපාලන පොරපිටිය උණුසුම් කිරීම සඳහා ද රටේ ආන්දෝලනයක් ඇති කිරීම සඳහා ද මැතිවරණ ඉල්ලන සටන් පාඨයක් සමාජගත වී ඇත. එයින් මහජනයාගේ ඇත්ත ඉල්ලීම් පිළිබිඹු වන්නේ නැත. එහෙත් නියමිත කාලයට මැතිවරණ නොපැවැත්වෙන විට ද, මැතිවරණ කල්යන විට ද පවතින රජය ගැන සැකයක් හා අවිශ්වාසයක් මහජනයා තුළ ‍මෝදුවන්නට පුළුවන. මන්ද අප ජීවත්වන්නේ මැතිවරණ සමාජයක බැවිනි.

දැනට පවතින පසුබිමට අනුව එන දෙසැම්බර් මාසයේ මැතිවරණයක් හෝ දෙකක් හෝ පැවැත්වීමට පුළුවන. පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ පමණක් නොව, මහ මැතිවරණය ද ඒකරාශී කොට එකට පැවැත්විය හැකි යැයි මතයක් ද පළවී තිබිණි. මහ මැතිවරණයකට තව කල් තිබේ. අවශ්‍යයෙන් ම දැන් පැවැත්විය යුත්තේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මැතිවරණයන් ය. විශේෂයෙන් ප්‍රාදේශීය සභා අක්‍රීයවීම ග්‍රාමීය අංශයේ සංවර්ධනයට බාධාවක් බව බොහෝ දෙනා පෙන්වා දෙති. එය අසත්‍යයක් නො වේ. ගම්වල පොදු සංවර්ධන කටයුතුවලට සෘජු ලෙසින් මැදිහත්වීමක් කළ හැකි අවස්ථාව දැන්ගිලිහී ගොසිනි. මෙය යථා තත්ත්වයට ගෙන ගමේ සංවර්ධනය යාවත්කාලීන කිරීම සඳහා ප්‍රාදේශීය සභා මැතිවරණය හෙවත් ගමේ ඡන්දය පැවැත්විය යුතුය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෑතකදී අපූරු අදහසක් පළකර තිබිණි. එම අදහසින් කියැවෙන්නේ නාගරික ප්‍රදේශවල ධනවත් පවුල්වලින් වැඩි කොටස ඡන්ද ලැයිස්තුවලට නම් හා තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ය. නැතහොත් ඒ ගැන කිසිදු උනන්දුවක් නැති බව ය. එලෙස ම තරුණ පරම්පරාවෙන් සැලකිය යුතු පිරිසක් ද මේ නාමලේඛනය ගණන් නො ගන්නා බවද සභාපතිවරයා පෙන්වා දෙයි. මෙය හොඳ තත්ත්වයක් නොවේ. එක අතෙකින් දේශපාලකයන් වෙතින් ලබාගන්නට දෙයක් ඇතමකුට නොතිබෙන්නට පුළුවන. තව අතෙකින් රටේ දේශපාලනය කෙරෙහි ඇතමකුට විශ්වාසයක් නොතිබෙන්නට ද පුළුවන. ඒ පමණක් නොව; මැතිවරණ කල් යෑම ද මේ තත්ත්වය පසුපස ඇති එක් හේතුවක් වන්නට පුළුවන.

රටේ සමස්ත දේශපාලන චිත්‍රය දෙස බලන විට දකින්නට ලැබෙන්නේ යම් විකාර රූපී ස්වභාවයකි. පාර්ලිමේන්තුව තුළ එක ම පක්ෂය දෙකට කැඩී දේශපාලන ව්‍යාපාර දෙකක් ලෙස ක්‍රියාකරනු දැකිය හැකි ය. පාර්ලිමේන්තුව බොහෝවිට පවතින්නේ ගාලගෝට්ටි පවතින ස්ථානයක් හැටියට ය. බොහෝ වැදගත් පනත් සම්මත කරගැනීම අසීරු ය. ඒවා පිළිබඳ විවාද පැවැත්වීම පවා දුෂ්කර කටයුත්තක් වී ඇත. මේ අනුව මහජනයාට පෙනී යන කාරණයක් වන්නේ තමන්ගේ ගැටලු සභාව තුළ සාකච්ඡාවට නොගැනෙන බව ය. ආණ්ඩුව මේ තත්ත්වය වෙනස් කරමින් පාර්ලිමේන්තුව තුළ සදාචාරය ගොඩනැගීමට උත්සාහ දරන අතර ඊට හැමවිට ම පාහේ බාධා එල්ල වෙයි.

විසිවන සංශෝධනය දේශපාලනයේ සදාචාරයට හා රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් පසුබිමක් සකස් කරන’මුත් ඒකාබද්ධ විපක්ෂය ඊට සහයෝගය ලබාදුන්නේ නැත. ඔවුන් හොඳ හා යහපත් දේවල්වලින් කර හරින බවක් ද සංවාදවලදී විවේචනයට පමණක් එකතුවන බවත් පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ මෙන් ම විපක්ෂය ද මෙහිදී සිය යුතුකම ඉටුකර තිබේ. දේශපාලන මතවාද කුමන ආස්ථානයක පැවැතිය ද රටේ ඉදිරි ගමනට වැදගත් දේවල් සම්බන්ධයෙන් ඡන්දය පාවිච්චි කිරීම මහජන නියෝජිතයකුගේ වගවීම බව කිව යුතු ය. මහජන නියෝජිතයා විචාරශීලී බුද්ධිමත් තැනැත්තකු විය යුත්තේ ඒ නිසා ය.

දෙසැම්බරයේ හෝ ඊට ආසන්න මාසයක හෝ මැතිවරණ පැවැත්වීමේ අවස්ථාව නිශ්චිත ලෙස ම ඇතිවන බව දැනට කෙරෙන සාකච්ඡාවලින් පෙනී යයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට පිච් එක සූදානම් කර තිබේ. අවශ්‍ය වන්නේ මැච් එක ආරම්භ කිරීම ය. තත්ත්වය එසේ නම්; දේශපාලන පක්ෂ තම වගකීම් හා යුතුකම් ඉටුකළ යුතු ය. මෙහිදී ජනතාවගේ එක ඉල්ලීමක් වන්නේ දූෂණයෙන් තොර අවංක මහජන නියෝජිතයන් අපේක්ෂකයන් ලෙස පත්කරනු යන්න ය. පුරවැසි සංවිධානවල හා ආණ්ඩුවේද තව ඉල්ලීමක් වන්නේ කාන්තා නියෝජනය ඉහළ දමනු යන්න ය. මේවා හොඳ යෝජනා ලෙස සැලැකිය හැකි ය. පිච් එක සූදානම් ය. මැච් එක....?

නව අදහස දක්වන්න