සරුංගලේ මිනී මරයි! | දිනමිණ

සරුංගලේ මිනී මරයි!

 අපේ සමාජයේ ඇතැම් පුද්ගලයන් තිරිසනකුට සමාන කළ හැකි ය. නැතහොත් ඌට ද අන්ත යැයි හඳුන්වා දිය හැකි ය. රටේ ආන්දෝලනයට ලක් වූ ප්‍රධාන සිද්ධි දෙකක් ඔස්සේ මේ තත්ත්වය තවදුරටත් තහවුරු කළ හැකි ය. ගිරිබාව සිද්ධියෙන් ඉස්මතු වන්නේ තිරිසනකුට ද අන්ත තරුණ පුරුෂයකු ගැන ය. මෛථුන්‍යයට වහ වැටුණු ඒ මිනිසා මනුෂ්‍යත්වයට නිගා කරමින් තරුණියක ඝාතනය කළේ ය. මිනුවන්ගොඩ සිද්ධියෙන් ඉස්මතු වන්නේ තිරිසන් සත්වයාට සමාන ලෙස කා - කොටා වැටෙන චරිත කිහිපයකි. මහ පොළොව නොඋසුලන මෙබඳු අපරාධ සිදුවන්නේ ඇයි? එය නීතියේ වරදක්ද? සදාචාරයේ ප්‍රශ්නයක් ද? නැතහොත් මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලුවක් ද?

අද සමාජයේ ජීවත්වන කිසිවකු අනෙකාට ගෞරව කරන්නේ නැත. අනෙකාට කාරුණික වන්නේ නැත. අනෙකා කෙරෙහි කිසිදු සැලැකිල්ලක් දක්වන්නේ ද නැත. සියල්ලෝ ම මංමාකාරයෙන් ජීවත් වෙති. මංමංකාරය යන වචනය තවදුරටත් ලිහිල් කළහොත් එහි තේරුම වන්නේ මම’යි වැඩකාරයා යන්න ය. මෙය අතිශය උද්ධච්ඡ හැඟීමකි. මේ හැඟීම ඇති මිනිසා ගමන් කරන්නේ විනාශය කරා ය. මහ පාරේ ගමන් කරන අය ඇ‍ඟේ හැප්පී ගහ ගනිති. මහ පාරේ රථවාහන එළවන මිනිස්සු වාහනය ඉස්සර කිරීමට ගොස් මරා ගනිති. මේ තත්ත්වය කොතෙක් දුරට වර්ධනය වී තිබේ ද යත්; උගත් යැයි සම්මත වෛද්‍යවරු - ගුරුවරු පවා අනෙකාට දොස් පවරමින් ගහ - මරා ගනිති.

මිනුවන්ගොඩ සිද්ධිය බැලූ බැල්මට නම්; ඉතා සරල එකකි. මිනීමැරුමට හේතු වී ඇත්තේ සරුංගලයකි. නොහික්මුණු මිනිස් සමාජයට ඉතා සුළු දෙයකින් මරා ගන්නට පුළුවන. කරුණු සොයා බලන විට පෙනී යන්නේ ආරවුලට මුල් වී ඇත්තේ එක ම ඥාති පිරිසක බව ය. කාලයක් තිස්සේ මේ අය අතර ආරවුලක් පැවැති බව හෙළිදරව් වී ඇත. අවසානයේ සරුංගලයකින් එය පුපුරා ගියේ ය. මරණයට පත්ව ඇත්තෝ එකම පවුලේ පියා හා පුත්‍රයා වෙති. රිමාන්ඩ් ගතවී ඇත්තෝ ද එක ම පවුලේ පිය - පුතු හා මාමා වෙති. මේ අය තමන්ගේ ඥාතිත්වය සලකා නැත. මනුෂ්‍යත්වය ද සලකා නැත. ඝාතනයට ලක්වූවන් දැඩි පිහිපහරවලට ලක් වී සිටි බව සඳහන් ය. ඔවුහු රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටියහ.

ගිරිබාවේ අපරාධයට සම්බන්ධ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බවත් කාමුක දර්ශන නැරඹීමට කෑදරකමක් දැක් වූ බවත් සඳහන් ය. එයින් සමාජයෙ තවත් විනාශකාරී පැතිකඩක් මතුවන බව කිව යුතුය. ශ්‍රී ලංකාව මත්කුඩුවලට පමණක් නොව ගංජා හා වෙනත් මත් පෙති වර්ගවලට ද ඉතා ප්‍රසිද්ධ ය. ඉන්දියන් සාගරයේ මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් හැටියට ද ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්වැ තිබේ. ගිරිබාවේ සිද්ධියට සම්බන්ධ අපරාධකාරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී නොසිටියේ නම්; මේ අපරාධය නොසිදුවන්නටත් ඉඩ තිබිණි. මත්පැන් හා මත්ද්‍රව්‍ය දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන උත්තේජකයක් බව පිළිගෙන තිබේ. මෙබඳු සිදුවීම්වලට හේතු - සාධක වන කරුණු ගැන පොලීසිය වැනි ආයතනවල අවධානය වැඩි විය යුතුය.

සමාජය වැරැදිකරුවන් හඹා යමින් දඬුවම් දීමට පෙලඹෙන්නේ වුව සිදුවීම්වලට සම්බන්ධ හේතු - සාධක නිරීක්ෂණය කරන්නේ නැත. වැරැදිකරුවකුට දඬුවම් දීමෙන් ඔහු නිවැරැදි හැසිරීමක් කරා ගෙන යා හැකි වන්නට පුළුවන. එහෙත් එයින් අපරාධ හෝ වැරැදි හෝ වැළකෙන්නේ නැත. අපරාධ වැළැක්වීමට නම්; ඒවාට අදාළ හේතු සාධක සොයා ඒවා සමාජයෙන් දුරස් කළ යුතුය. ගිරිබාව සිද්ධියේ අපරාධකාරයා පිළිබඳ ලිපියක් ලියන ඔහුගේ මව සිය පුත්‍රයා එල්ලුම් ගසට නියම කොට මරා දැමිය යුතු බවත්; එබඳු පුතකු බිහි කිරීම ගැන තමන් බෙහෙවින් කම්පා වන බවත් කියා සිටින්නී ය. මෙය හදකම්පා කරවන සිද්ධියක් වන්නට පුළුවන. එහෙත් මේ මව කළ යුතුව තිබුණේ සිය පුත්‍රයාගේ ළමා වියේදීම ඔහු නිවැරැදි කිරීම ය. එදා මව සිටියේ විදේශ ගත වී ය. එබඳු පරිසරයක් තුළ දරුවන් නොමඟ යෑම අරුමයක් ද නොවේ.

සමාජ ක්‍රියාකාරකම් විමසන විට පැහැදිලි වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. එක; අපේ ආයතන හා සමාජය අපරාධවල දී බලවත් සේ කම්පාවන’මුත් එම අපරාධ වැළැක්වීම සඳහා සුදුසු පියවර ගන්නේ නැති බව ය. දෙක; මත්පැන් හා මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා මීට වඩා දැඩි පියවර ගත යුතු බව ය. තුන; සමාජයේ සදාචාරය වර්ධනය කිරීම සඳහා පාසල් මට්ටමේ සිට පියවර ගත යුතු බව ය. හතර; මානව සම්බන්ධතා ගොඩනැඟීම සඳහා සුදුසු පියවර ගත යුතු බව ය. මේවා සිදු නොකොට දඬුවම් දැඩි කිරීමෙන් පමණක් අපරාධ වැළැක්වීම කළ නොහැකි බව ඉතා පැහැදිලි ය. මේ අතින් බලනවිට පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද ප්‍රජා පොලිස් සේවය වැඩදායක වේ යැයි සිතන්නට පුළුවන.

මීට දසක තුන හතරකට පෙර ග්‍රාමීය ප්‍රදේශවල ආරක්ෂාව හා සාමය ඇති කිරීම සඳහා පුරවැසි කමිටු ගොඩනඟා තිබිණි. ඒවාට නායකත්වය ලබා දුන්නේ ගමේ පිළිගත් ප්‍රභූන්ය. ඔවුන්ගේ උපදේශන පිළිගැනීමට ගම්මු බැඳී සිටිය හ. ගැමියෝ එම ප්‍රභූ පිරිස්වලට ගරු කළහ. විදුහල්පතිවරු, විහාරාධිපති ස්වාමීන් වහන්සේලා, වෙද මහත්වරු, පොලිස් ස්ථානාධිපතිවරු වැනි අය මේ කමිටුවලට නායකත්වය ලබා දුන්හ. මෙය ස්වේච්ඡා සේවයකි. එහෙත් එය ගමේ සංවර්ධනයට අදාළ ප්‍රධාන සාධකයක් සේ සැලැකිය හැකි ය. ගමේ ආරවුල් විසැඳීමේ හැකියාවක් ද එම කමිටුවලට තිබිණි. සමථ මණ්ඩල මගින් ද මෙබඳු සේවාවක් සිදුවිණි. අද එම මණ්ඩලවල දකින්නට ඇත්තේ මන්දගාමී ගතියකි.

මිනුවන්ගොඩ සිද්ධියෙන් පෙනී යන්නේ සරුංගලයක් මිනීමරන තත්ත්වයට පත් වී ඇති බව ය. සරුංගලය යනු ආස්වාදය සඳහා භාවිත කරන සෙල්ලම් බඩුවකි. ආස්වාදය වෙනුවට සමාජය කරා ළඟා වන්නේ මරණය නම්; එහි විශාල වරදක් තිබේ. මේ වරද නිවැරැදි කළ යුතුය. එය කළ හැක්කේ දැනුම හා හික්මීම සමාජය වෙත කාන්දු කිරීමෙන් ය. දැනුම හා බුද්ධිය ඇති මිනිසා සුළු දෙයින් කම්පා වන්නේ නැත. සුළු ප්‍රශ්න මිනී මරා ගන්නා තැනකට ගෙන යන්නේ ද නැත. ආයතන එක අතෙකින් මේ සඳහා මැදිහත් විය යුතුය. තව අතෙකින් පුද්ගලයා සිය හික්මීම ඇති කර ගත යුතුය. එවිට සරුංගලය ආස්වාදයක් ම වනු ඇත.


අදහස් 1ක් ඇත

mokada mama, gode nadu ,ahana kenek lesata , me giribawe ekawa hama gahala maranna ana karanawa!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...