අධිකරණය ඉදිරිපිටදී...! | දිනමිණ

අධිකරණය ඉදිරිපිටදී...!

 හිටපු විදුහල්පතිනියක් බර වැඩ සහිත ව වසර අටකට සිපිරි ගෙදරට යැවීම යම් පමණක ආන්දෝලනාත්මක සිද්ධියෙකි. විදුහල්පතිනියට එරෙහි ව නැඟුණු චෝදනාව වූයේ සිසුවකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් විසිපන්දහසක අල්ලසක් ඉල්ලා සිටීම ය. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ එම සිසුවා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ද සමත් වී සිටිය දී මේ අල්ලස ඉල්ලා සිටීම ය. නඩු විභාගයේ දී තීරණය වී ඇත්තේ හිටපු විදුහල්පතිනිය නිසැක ලෙස ම වරදකාරියවී ඇති බව ය. මේ නඩු විභාගය හා තීන්දුව ආශ්‍රයෙන් රටේ පවතින ඇතැම් ගැටලුවලට ආදර්ශ හා නියාමන ලබාගත හැකි ය.

ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම දූෂිත ආයතනය කුමක්දැ’යි ප්‍රශ්න කළහොත් අපගේ ඒකායන පිළිතුර වන්නේ දේශපාලන ක්ෂේත්‍රය යන්න ය. විදුහල්පතිනිය අල්ලස් ඉල්ලා ඇත්තේ රුපියල් විසිපන්දහසකි. දේශපාලකයන් දූෂණ හා වංචාවලට සම්බන්ධ වන්නේ ද අල්ලස් ලබාගන්නේ ද කෝටි ගණනින් ය. නැතහොත් මිලියන ගණනින් ය. පසුගිය ආණ්ඩු සමයේ මහජන මුදල් කෝටි ගණනින් පිල්ලි ගැසූ දේශපාලකයෝ සිටිති. එහෙත් ඒ කිසිවකුට තව ම නීතිය ක්‍රියාත්මක වී දඬුවම් ලබා දී නැත.

පාණදුරේ විදුහල්පතිනියට සම්බන්ධ නඩුව ගොනු වී ඇත්තේ 2009 දී ය. එම නඩු විභාගය අවසන් වී දඬුවම් ලබා දීමට වසර නමයක් ගත වී ඇත. දීර්ඝ කාලයක් ගත වී හෝ වරදකරුට දඬුවම් ලබාදීම ගැන සතුටු විය හැකි ය. එහෙත් මේ තරම් කාලයක් යුක්තිය ඉටුවීම සඳහා ගත කිරීමෙන් පෙනී යන්නේ අපේ අධිකරණ ක්ෂේත්‍රයේ පවත්නා අකාර්යක්ෂම හා මන්දගාමී ස්වභාවයයි. යුක්තිය ඉටුවීම පමාවීම යනු හොඳ දෙයක් නොවේ. දැනට පවතින තත්ත්වයට අනුව සලකා බැලුවහොත් ගිය ආණ්ඩුවේ දූෂිතයන්ට දඬුවම් ලබාදීම සඳහා තවත් අලුත් ආණ්ඩුවක් පත්වන තුරු බලා සිටිය යුතුය. මෙය හිතා - මතා ම සිදුකරන දෙයක් ද නැතහොත් අධිකරණ ක්‍රියාවලියට ප්‍රතිසංස්කරණ අවශ්‍ය ද යන්න සොයා බැලිය යුතුය.

සරල නිදසුනක් ගතහොත් අපේ රාජ්‍ය සේවාව ඒ තරම් යහපත් එකක් නොවේ. අල්ලස් ගැනීම, දූෂණය, වංචා කිරීම, අක්‍රමිකතා හා මහජන සේවය පැහැර හැරීම පිළිබඳ චෝදනා දිනපතාම කරළියට එයි. ජනමාධ්‍ය විසින් නිතිපතා මේවා වාර්තා කරනු ලැබේ. පැමිණිලි හා නඩු විභාග එක දිගට පවතී. එහෙත් යුක්තිය ඉටුවීම දිනෙන්-දින පමාවෙයි. රාජ්‍ය සේවා කොමිසන් සභාව ඔස්සේ මේ ගැන තීන්දුවක් ගත නොහැකිද? එම කොමිෂන් සභාව ඔස්සේ මේවා විභාග කළ නොහැකි ද? එසේ විභාගකොට අධිකරණය වෙත පුනරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ හැකි ක්‍රමෝපායක් සකස් කළ නොහැකිද?

කාර්යක්ෂම ලෙස අධිකරණයේ කටයුතු සිද්ධ වූ මෑත කාලීන අත්දැකීම් කිහිපයක් සඳහන් කළ හැකිය. යාපනයේ පාසල් ශිෂ්‍යාව ඝාතනය කිරීමට සම්බන්ධ සිද්ධිය එක උදාහරණයකි. අඟුලාන පොලිස් නිලධාරීන්ට සම්බන්ධ සිද්ධිය තවත් උදාහරණයකි. යම් අපරාධයක් සම්බන්ධයෙන් මහජන විරෝධතාව උග්‍රවන්නේ නම්; අධිකරණය වඩාත් වේගවත් වන්නේ යැයි ඇතැම් සිදුවීම්වලින් පෙනී යයි. එහෙත් දේශපාලකයන්ගේ මහා පරිමාණ දූෂණ - වංචා පමණක් නොව; මිනීමැරුම් සම්බන්ධයෙන් වුව මහජන විරෝධතා පැවැතියද අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම වන බවක් පෙනෙන්නට නැත. තාජුඩීන් නඩු විභාගය මීට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකි ය.

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දා එල්ල වූ විවේචනයක් වූයේ රාජපක්ෂ පවුලේ අය වෙනුවෙන් වෙන ම අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීම නීති විරෝධී බව ය. ව්‍යවස්ථාවට අනුව එසේ කළ නොහැකි බවට ද තර්කයක් ගොඩනැඟිණි. රාජපක්ෂවරුන් සඳහා වෙන ම අධිකරණයක් අවශ්‍ය නැත. එහෙත් දේශපාලකයන්ගේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් නඩු විභාග කරන වෙනම අධිකරණයක් පිහිටුවීමට බාධාවක් නැත. රාජ්‍ය සේවකයන්ගේ දූෂණ හා වංචා සෙවීම සඳහා ද මෙබඳු ම අධිකරණයක් ඇති කිරීමට බාධාවක් නැත. මේවා සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ හැකියාව ව්‍යවස්ථාදායක සභාවට ඇත. එහෙත් ව්‍යවස්ථා සභාව අදාළ සිද්ධි සම්බන්ධයෙන් නිද්‍රාශීලි පිළිවෙතක් අනුගමනය කරන්නේ මන්ද යනු ජනතාවට ප්‍රශ්නයකි.

වෙනිසියුලාවේ, තායිලන්තයේ, පිලිපීනයේ, බ්‍රසීලයේ , ඊජිප්තුවේ අධිකරණ ක්‍රියාවලිය ගැන ද, නඩු විභාග ගැන ද තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ නිතර කියවන්නට ලැබේ. එම රටවල අධිකරණය පුද්ගලයා හා පුද්ගලයාගේ බලය - කීර්තිය ගැන සලකා බලන්නේ නැත. සියලු පුද්ගලයන් නීතිය ඉදිරියේ සමාන බව එම රටවල් පිළිගනිති. එම රටවල ද ඇතැම් නඩු විභාග කල්ගත වී ඇත. ඒ නිවැරැදි සාක්ෂි විභාග සඳහා යැයි සිතන්නට පුළුවන. එහෙත් යුක්තිය ඉටුවීම ප්‍රමාදනම්; එහි දී නීතිය අභියෝගයට ලක්වීමක් සිදුවනු ඇත. පාකිස්ථානයේ නවාස් ෂරීප් මහතාගේ නඩු තීන්දුව ලබා දුන්නේ ඔහු බලයේ රැඳී සිටියදී ය. ඒ අතින් බලන විට ශ්‍රී ලංකාව වැනි රටවලට පාකිස්ථානයෙන් ආදර්ශ ලබාගත හැකි ය. බලයෙන් පහවුව දූෂිත දේශපාලකයන්ට දඬුවම් ලබාදීම අපේ රටවලදී ප්‍රමාද වෙයි.

යුක්තියේ දෙවඟනගේ තරාදිය, කඩුව ඇතුළු සංකේතවල නියම අර්ථය ආරක්ෂා කර ගැනීමට නම්; අපේ අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කාර්යක්ෂම විය යුතුය යන්න අමුතුවෙන් කිව යුතු නැත. පරම්පරා කිහිපයක් තිස්සේ විභාග වූ ශ්‍රී ලංකාවේ ඉඩම් නඩුවක යුක්තිය ඉටුවන විට ඉඩමේ නියම අයිතිකාර කාන්තාව මියගොස් වසරක පමණ කාලයක් ගත වී තිබිණි. මෙයින් පෙනී යන්නේ අප නඩු කියන්නේ කුමකට ද යන්න ය. කිසියම් රටක අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම නොවේ නම්; එරට යුක්ති සහගත යැයි කියන්නේ කෙසේ ද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...