උමා ඔයෙන් හානියට පත් පාසල්වලට සහන | දිනමිණ

උමා ඔයෙන් හානියට පත් පාසල්වලට සහන

 උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නිසා හදිසි ආපදා තත්ත්වය යටතේ විපතට පත්වූවන්ට හා හානියට පත් පාසල් සඳහා අවශ්‍ය සහන ලබාදීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) කාර්යාලය පවසයි.

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඉංජිනේරු පරාක්‍රම කරුණාරත්න මහතා පෙන්වා දෙන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්ව ඇති පාසල් 18 ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය ජල පහසුකම් සහ අනෙක් පහසුකම් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මූල්‍ය ප්‍රතිපාදන ඌව පළාත් සභාව නිදහස් කර ඇති බවයි.

ඒ අනුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ හා ඌව පළාත් ප්‍රධාන ලේකම්ගේ උපදෙස් පරිදි එම පාසල් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට වෙනමම විශේෂ තාක්ෂණික කණ්ඩායමක් යොදවා ඇස්තමේන්තු සකස් කර සීමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කර එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ මහතා පවසයි.

මේ වන විට එම කර්මාන්ත ඉදිකිරීම්වල 80% ක පමණ සාමාන්‍ය භෞතික ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර නව පාසල් වාරය ආරම්භවීමත් සමඟ එම පාසල් සඳහා අවශ්‍ය ජල, ගොඩනැගිලි හා අනෙකුත් පහසුකම් ලබාදීමට අපේක්ෂා කරන බව ද කියයි.

මේ සඳහා රුපියල් මිලියන 30.62 ක මුදලක් වෙන්කර ඇති අතර එයින් මිලියන 10 ක් ඌව පළාත් සභාවට මේ වන විට ලබා දී ඇතැයි ද පවසයි. 

නව අදහස දක්වන්න