දංගෙඩිය ! | දිනමිණ

දංගෙඩිය !

හිටපු යුද හමුදා ප්‍රධානියකු වන ජගත් ජයසූරිය මහතා පිළිබඳ සංවාදයක් ආරම්භ වී තිබේ. එය රටේ දේශපාලනයට, සාමයට, සංහිඳියාවට පමණක් නොව නීතියට හා අන්තර්ජාතික සබඳතාවලට ද අදාළ යැයි කියන්නට පුළුවන. ජගත් ජයසූරිය මහතා සිවිල් යුද්ධයේ අවසන් භාගයේ වන්නි ආඥාදායකයා ලෙස කටයුතු කළේය. පසුව ඔහු 2015දී බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස පත් කැර යැවිණි. ඒ මහතා බ්‍රසීලය ඇතුළු තවත් රටවල් පහක තානාපති ජනරාල්වරයකු ලෙස සේවය කළේය. එම රටවල් වන්නේ කොලොම්බියාව, පේරු, චිලී, ආර්ජන්ටිනාව හා සූරිනාම් යන රාජ්‍යයෝය.

ප්‍රශ්නය මතු වී ඇත්තේ ලතින් අමෙරිකානු රටවල මානව හිමිකම් සංවිධාන ගණනාවක් ජගත් ජයසූරිය මහතාට චෝදනා ඉදිරිපත් කරමින් අන්තර්ජාතික අධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කිරීමය. චෝදනාවල සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ පුද්ගල අතුරුදන්වීම්, රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම්, සිවිල් වැසියන් ඝාතනය කිරීම්, බෝම්බ ප්‍රහාර එල්ල කිරීම් ආදියට ජගත් ජයසූරිය මහතා වගකිවයුතු බවය. දකුණු අප්‍රිකාව මූලික කරගත් ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපාරය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් මේ නඩුව ගොනු කර ඇති බව සඳහන්ය. මීට අදාළ තොරතුරු ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබේ.

අන්තර්ජාතික නීතියට අනුව ද ලෝකයේ පිළිගත් සම්මුතියට අනුව ද ඕනෑම කෙනකුට ‍චෝදනා එල්ල කළ හැකිය. ඕනෑම කෙනකුට පැමිණිලි කළ හැකිය. ඒවා පිළිබඳ නඩු විභාග පවත්වන්නේ ද නැති ද යන්න තීන්දු කළ යුත්තේ අන්තර්ජාතික අධිකරණයය. ඒ හැරෙන්නට ඒවා යුක්තිසහගතද සාධාරණද ඊට එකඟද යන්න ඒ ඒ රාජ්‍යයන් විසින් තීන්දු කළ යුතුව තිබේ. චෝදනාවක් එල්ල කළ පමණින් කිසිවකු වරදකරුවකු වන්නේ නැත. පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් ද කිසිවකු දඬුවමකට යටත් වන්නේ නැත. මීට පෙර ද ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනකුට මෙබඳු චෝදනා හා පැමිණිලි ඉදිරිපත් වූ බව අපට මතකය.

මේ සිද්ධිය දැන් රට පුරා පැතිර යන්නේ රණවිරුවන් දංගෙඩියට දැක්කීමක් ලෙසය. එහෙත් යථාර්ථයට මුහුණ දෙන්නේ නම්; අප මීට වඩා කල්පනාකාරීව හා විශ්ලේෂණාත්මකව සිද්ධිය දෙස බැලිය යුතුය. එහිදී සිහියට ගත යුතු ප්‍රධාන කරුණු දෙකක් තිබේ. එක කිසිදු රණවිරුවකු අන්තර්ජාතික අධිකරණයට පාවාදීමට ආණ්ඩුව සූදානම් නැතැයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා ලබාදී ඇති ප්‍රකාශයන්ය. දෙක යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග පවත්වන්නේ නම් ඊට කිසිදු අන්තර්ජාතික විනිසුරුවකු අවශ්‍ය නැතැයි රජය ප්‍රකාශ කොට තිබීමය.

ජගත් ජයසූරිය මහතා බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ මේ ගැටලුව මතු වී ඇත. ජයසූරිය මහතා බ්‍රසීලයේ තානාපති ජනරාල් ධුරයෙන් සමුගෙන ශ්‍රී ලංකාවට එන්නේ ද ඔහුට චෝදනා ඉදිරිපත් වන්නේ ද එකම කාලසීමාවක් තුළය. 2015 සිට ඔහුගේ සේවයට අදාළ වසර දෙකක කොන්ත්‍රාත්තුව අවසන් කොට ඔහු පෙරළා මව්බිමට පැමිණීම පැනයාමක් ලෙස සමහරුන් අර්ථ දක්වා ඇත. එහෙත් එය වැරැදිය. විදේශ සේවයේ කොන්ත්‍රාත් කාලසීමාව අවසන් වූ පසු ඔවුන් පෙරළා දිවයිනට පැමිණිය යුතුය. නැතහොත් වෙනත් සේවාවකට මාරුවිය යුතුය. ජගත් ජයසූරිය මහතා අන්තර්ජාතික දංගෙඩියට දක්කා ඇතැයි ද ඔහු ඊට බිය වී පලා ගියා යැයිද ඇතැම් ජනමාධ්‍ය ඉඟි කර තිබිණි. ඇත්ත තත්ත්වය ගතහොත් මේ සියල්ල ප්‍රබන්ධ කථාය.

මෙලෙස ප්‍රබන්ධ කථා ගෙතීම පසුපස විශාල දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති බව පෙනෙන්නට තිබේ. ඇතැම් දේශපාලන ව්‍යාපාර අදටත් ජීවමානව පවතින්නේ ජාතිවාදය, ආගම්වාදය හා අන්තවාදය නිසාය. මේ සියල්ලටම සමගාමීව රණවිරුවන් දඩයම් කිරීම යන මතයක් සමාජගත වී තිබේ. මේ මතයත් සමඟ ජනතාව කුලප්පු වෙති. රට බේරාගත් ජාතිය බේරාගත් රණවිරුවන් දංගෙඩියට දැක්කීම ගැන විරෝධයක් ඕනෑම කෙනෙකු තුළ පැන නැගිය හැකිය. එහෙත් යුද්ධය එකකි. අපරාධ තව එකකි. යුද සමයේ වුව අපරාධ සිදුවූයේ නම් ඒ පිළිබඳ පරීක්ෂණ හා නඩු විභාග පැවැත්විය යුතුය. ලෝක සම්මතය එයය. අන්තර්ජාතික නීතිය ද එයයි.

මේ සිද්ධිය යොමුවන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ලෙසය. එනම් සම්මුතිවාදී ආණ්ඩුව රට බේරාගත් රණවිරුවන් බලවත් රාජ්‍යවල උපදේශනයට අනුව බිල්ලට ගන්නේය යන්නය. එය තනිකරම දේශපාලන ව්‍යාපාරයෙකි. ‍රටේ ඇතැම් දේශපාලන නායකයෝ රණවිරුවන්ගේ කරපිටින් යළි බලයට ඒමට උත්සාහ කරති. ඇතැම්හු මේ උපායමාර්ගයට රැවටෙති. රැවටී රණවිරුවන් රැකගැනීම උදෙසා පෙළපාලි හා විරෝධතා පවත්වති. පසුගිය දින කිහිපය තුළද මෙවන් විරෝධතා කිහිපයක් දැකගන්නට ලැබිණි.

යුද්ධය යනු කොයි අතින් බැලුවද වෙළෙඳ ක්‍රියාදාමයකි. දේශපාලනය, ජාතිකත්වය යනාදිය ද ඊට සම්බන්ධ වේ. ඒවා තවදුරටත් ඉදිරියට ගමන් කළ හොත් යුද්ධයෙන් සිදු වූ විනාශයට වැඩි විනාශයක් සිදු විය හැකිය. මීට දින දෙකකට පෙර අන්තර්ජාතික ආරක්ෂක සමුළුවක් කොළඹදී පැවැත්විණි. එහිදී බොහෝ දෙනා වෙතින් ප්‍රකාශ වූ මතයක් වූයේ ප්‍රචණ්ඩකාරී අන්තවාදයට බාධා ඇති නොකොට රටක සාමය හා සංහිඳියාව ඇති කළ නොහැකි බවය. එය සම්පූර්ණ ඇත්තකි. සාමය හා සංහිඳියාව ඇති කිරීමට නම් අන්තවාදයේ ප්‍රචාර නැවැත්විය යුතුය.


අදහස් 1ක් ඇත

meka buisness ekak! ara gollan thamayi aparada kale, nirmana kale, chitthara pati gahuwe addyaksana kale, prachara kale !

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...