ආසියානු සත් සාමාජික රගර් හොංකොං තරගාවලිය | දිනමිණ

ආසියානු සත් සාමාජික රගර් හොංකොං තරගාවලිය

ෆවුස් මොහොමඩ්

ලෝක සත් සාමාජික රගර් තරගාවලියට ආසියාවෙන් සුදුස්සන් තෝරන ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමු අදියරේ තරගාවලිය අද (1) හොංකොං හී කොවුලූන් නුවර කිංග්ස්පාක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගයෙන් ආරම්භ වේ.

අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00ට පැවැත්වෙන මේ තරගයෙන් පසුව ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවට චීන තායිපේ සහ දකුණු කොරියාව සමගත් මූලික වටයේ දී තරග වැදීමට සිදුවෙයි. අද පස්වරු 1.30ට චීන තායිපේ සමග තරග වදින ශ්‍රී ලංකාව අනතුරුව දකුණු කොරියාව සමග පස්වරු 4.22ට තරග බිමට පිවිසෙයි.

අද ඇරැඹෙන හොංකොං තරගාවලියෙන් පසුව මේ මස 23 සහ 24 දෙදින දකුණු කොරියාවේ නැම්ඩොන්ග් ඒසියාඩ් ක්‍රීඩාංගණයේ දෙවැනි අදියරේ තරගාවලියත්, අනතුරුව ඔක්තෝබර් 14 සහ 15 කොළඹ තුරඟ තරග පිටියේ අවසන් අදියරේ තරගාවලියත් පැවැත්වෙන අතර සමස්ත තරගමාලාවේ ජයග්‍රාහකයන්ට සහ අනුශූරයන්ට ලබන වසරේ ලෝක කුසලාන සත් සාමාජික රගර් තරගාවලියට එක්වීමේ සුදුසුකම් ලබති.

එම අභියෝගයත් කරපින්නා ගෙන මීට දින දෙකකට පෙර හොංකොං රාජ්‍යයට සේන්දු වූ සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගාවලියේ ආරම්භක තරගයට පිවිසෙනුයේ ආසියාවේ බලවත්ම රගර් කණ්ඩායම සමගිනි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක්ම ආබාධ නිසා තරගාවලියට එක්නොවු බැවින් යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනකු සමග තරගාවලියට එක්වන මුතුතන්ත්‍රීගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ මූලික වටය සාර්ථකව නිමාකර හෙට පැවැත්වෙන කුසලානය සඳහා වන අවසන් පූර්ව වටයට පිවිසීමය.

මෙවර තරගාවලියේ කුසලාන වටයේ අර්ධ අවසන් පූර්ව වටය පළමු දිනයේ අවසානයේ එක් එක් කාණ්ඩවල පෙරමුණ ගන්නා කණ්ඩායම් අනික් කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම සමගත්, දෙවැනි තැන ගන්නා කණ්ඩායම් අනික් කාණ්ඩයේ තුන්වැනි ස්ථානයේ පසුවන කණ්ඩායම සමගත් තරග වදින ආකාරයට සකස් කර ඇත්තේ ආසියාවේ ප්‍රබලතම කණ්ඩායම් වන ජපානයට, හොංකොංට, ශ්‍රී ලංකාවට සහ දකුණු කොරියාවට අවසන් පූර්ව වටයට එක්වීමේ වැඩි අවස්ථාවක් ලබාදෙමිනි.

එබැවින් කුසලානය සඳහා වන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට මනා පසුබිමක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකාව මෙන්ම සත්කාරක හොංකොං කණ්ඩායමත් අද තරගාවලියට එක්වන්නේ නවක ක්‍රීඩකයන් පස්දෙනකු සමගිනි. පසුගිය වසරේදී ආසියානු සත් සාමාජික රගර් සමස්ත ශූරතාව දිනූ හොංකොං පිල මේ තරගාවලිය ඉලක්ක කරමින් සිය පුහුණුකරු පෝල් ජෝන් සමග පසුගිය දිනවල ජර්මනියේ පුහුණු සැසියක් පවත්වා තිබිණි.

ඔවුන්ගේ නවක ක්‍රීඩකයන්ගෙන් දෙදෙනකුම අවුරුදු 20න් පහළ ආසියානු රගර් තරගාවලියට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩකයන් වන හියුගෝ ස්ටලිස් (Hugo Stiles), සෙබ් බ්‍රයන් (Seb Brien) සහ ෆොන්ග් කිට්-ෆන්ග් (Fong Kit-fung) පළමුවරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ආබාධ හේතුවෙන් කණ්ඩායමට ඇතුළත් නොවූවත් හොංකොං පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් කණ්ඩායමෙන් ඉවත්වී සිටින්නේ පෞද්ගලික හේතුමතය.

මැක්ස් වුඩ්වර්ඩ් (Max Woodward) සහ ලී කා-ටූ (Lee Ka-to) දෙදෙනාම ජපානයේ වෘත්තීමය ක්‍රීඩාවේ නිරතව අතර හොංකොං පිලේ සුප්‍රකට මැක්කුවින් (McQueen brothers) සොයුරන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ ගුවන් නියමු පුහුණුවේ යෙදී සිටිති. 

නව අදහස දක්වන්න