සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය 8 සිට 10 දක්වා | දිනමිණ

සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය 8 සිට 10 දක්වා

වර්නන් ගුණසේකර
කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී 2017 සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලියේ අනුග්‍රාහකත්වය නෙස්ලේ ලංකා ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට පිරිනැමූ අවස්ථාව. (වමේ සිට) අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ මේජර් අතුල විජේවර්ධන, අධ්‍යාපන ඇමැතිවරයාගේ විශේෂ ක්‍රීඩා උපදේශක සුනිල් ජයවීර, නෙස්ලේ ලංකා ආයතනයේ උපසභාපති නෝමන් කන්නන්ගර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, නෙස්ලේ ලංකා ආයතනයේ උපසභාපති බන්දුල එගොඩගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ උපදේශක කර්නල් ප්‍රදීප් මංජුල කාරියවසම් යන මහත්වරු.

නෙස්ලේ ලංකා ආයතනයේ ‘මයිලෝ’ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන 2017 සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ ශූරතාවලිය මේ මස 8 සිට 10 දක්වා යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ තරගාවලිය සඳහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් පාසල් 302කින් වයස් සීමා පහක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5100 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතය.

වයස අවුරුදු 12න් පහල, 14න් පහල, 16න් පහල, 18න් පහල හා 20න් පහල වශයෙන් බාලක බාලිකා සහාය දිවීමේ ඉසව් 38ක් තරගාවලියට ඇතුළත්ව තිබේ. පාසල් 302 සමන්විත වන්නේ බාලක පාසල් 164ක් හා බාලිකා පාසල් 138කිනි.

වසර 1984දී ආරම්භ වූ මේ ශූරතාවලිය 2004 වසරේදී නිමාවට පත්වීමෙන් පසුව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීමට යටතේ නැවත වතාවක් පසුගිය වසරේදී මහනුවරින් ආරම්භ කරනු ලැබිණි. යාපනයේ පැවැත්වෙන්නේ මෙහි දෙවැනි තරගාවලියයි.

තරගාවලියේ බාලක ශූරතාව හා බාලිකා ශූරතාවට අමතරව මෙවර ප්‍රථම වතාවට මිශ්‍ර පාසල් ශූරතාව හා අනුශූරතාවක් හඳුන්වා දී තිබේ.

තෙදිනක් තිස්සේ පැවැත්වෙන මේ තරගාවලියට ඇතුළත් කර තිබෙන්නේ මීටර 800 x 4 දක්වා වන සහාය දිවීමේ ඉසව් පමණි. මීටර 1500 x 4 ඉසව්වද ඇතුළත් කළහොත් තරගාවලියට තවත් දිනයක් එක් කිරීමට සිදුවීම ඊට හේතුව වී තිබේ.

තරගාවලියේ සමාරම්භක උළෙල අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.එස්.රාධා ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ආචාර්ය කේ.සර්වේෂ්වරන් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර සමාප්ති උළෙල උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ඡායාරූපය - චමින්ද නිරෝෂන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...