ජූඩෝ-හෑන්ඩ්බෝල් සංගම් ඇමැති අණින් අත්හිටුවයි | දිනමිණ

ජූඩෝ-හෑන්ඩ්බෝල් සංගම් ඇමැති අණින් අත්හිටුවයි

ප්‍රින්ස් ගුණසේකර

ජූඩෝ හා හෑන්ඩ්බෝල් ජාතික සංගම් වල ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා එම සංගම්වල නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කිරීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ ඇමැතිවරයා සතු බලතල අනුව, ජූඩෝ හා හෑන්ඩ්බෝල් ජාතික සංගම්වල ලියාපදිංචිය ගැසට් පත්‍රයක් මගින් අත්හිටුවා ඇති අතර ඒවායේ නිළවරණය කැඳවීම හා පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතාට නියෝග කොට ඇත.

ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධව සිටි ප්‍රධාන පෙළේ හිටපු නිලධාරීන් හය දෙනකුට වසර 10ක ක්‍රීඩා තහනමක් පැනවූ අතර එම සංගමය තුළ කලක පටන් සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා හා අවභාවිත සොයා බැලීමට පත්කළ පරීක්‍ෂණ මණ්‌ඩලය හිටපු නිලධාරීන් හය දෙනාට ක්‍රීඩා තහනමක් ලබාදිය යුතු බවට නිර්දේශ කොට තිබුණි.

මෙයට වසරකට පමණ පෙර ජූඩෝ සංගමයේ හිටපු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව වංචා විමර්ශන අංශයේ පරීක්ෂණයක් පැවැත්වුණු අතර, ක්‍රීඩා අමාත්‍යාංශයට ව්‍යාජ අයවැය ලේඛන ඉදිරිපත් කොට ජූඩෝ නිලවරණය පැවැත්වීමට යෑම පිළිබඳ පරීක්ෂණයක්ද සිදු කෙරුණි.

හෑන්ඩ්බෝල් සම්මේලනයේ නිලවරණයද දෙපිරිසක් අතර කලක පටන්වූ අර්බුදයක් මත අධිකරණ නියෝගයක් අනුව අත්හිටුවා තිබූ අතර පසුව එම නඩුව ඉල්ලා අස්කරගෙන තිබුණි.


නව අදහස දක්වන්න

Or log in with...