4x4 ජිම්පෝ ශූරතා අභියෝගය 10 වැනි දා | දිනමිණ

4x4 ජිම්පෝ ශූරතා අභියෝගය 10 වැනි දා

ගීෂා මුණසිංහ

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජීනේරු බළකාය ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයන්ගේ සංගමය හා ශ්‍රී ලංකා‍ ධාවන පැදි කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධාන කරන 4x4 ජිම්පෝ ශූරතා අභියෝගය මේ මස 10 වැනිදා ඇඹිලිපිටියේ තුංකමදී පැවැත්වෙයි.

හත්වැනි වටරත් සංවිධාන වන 4x4 ජිම්පෝ ශූරතා අභියෝග ඇඹිලිපිටිය තුංකම ශ්‍රී ලංකා ඉංජිනේරු පුහුණු පාසැලේ ඉදිකර ඇති ඉංජිනේරු බළකා ධාවන පථයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර 4x4 ජිම්පෝ ශූරතා අභියෝගය සඳහා අත්‍යන්ත, (එක්ස්ට්‍රීම්) නවීකරණය කළ - නොකළ (ස්ටෑන්ඩඩ් - මෝඩීෆයිඩ්) 4x4 මෝටර් රථ තරග වදිනු ඇත. ප්‍රධාන මෝටර් රථ තරගාවලියට සමගාමිව සංවිධාන වන යතුරුපැදි තරගාවලියක් ද ජිම්පෝ අභියෝගය ලෙස පැවැත්වෙයි.

අත්‍යන්ත, (එක්ස්ට්‍රීම්) තරග ඉසව්ව සඳහා අශ්ව බල ධාරිතාවය 3000ට වැඩි මෝටර් රථ දෙස් විදේස් තරගකරුවන් ඇතුළු තරගකරුවන් 16 දෙනෙකු තරග වදින අතර අශ්ව බල ධාරීතාවය 3000 ට අඩු මෝටර් රථ තරග ඉසව්ව වෙනුවෙන් තරග කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට තරග තීරකයන් යටයුතු සංවිධාන කර ඇත. අත්‍යන්ත තරග ඉසව්ව විශේෂ අදියරයන් 14ක් යටතේ පැවැත්වෙන අතර පළමු විශේෂ අදියරයන් 05, මේ මස 4 වැනිදා ගොඩකවෙල ප්‍රදේශයේදීත්, දෙවැනි ‍විශේෂ අදියරයන් 05, 6 හා 7 දෙදින උඩවලව ප්‍රදේශයේදීත් පැවැත්විමට නියමිත අතර අවසන් විශේෂ අදියරයන් 04 ඇඹිලිපිටියේදී පැවැත්‍ වෙයි.

මැලේසියාව නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි තරගකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක්ද චෙක් ජනරජය නියෝජනය කරමින් කණ්ඩායමක්ද මෙවර තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රමුඛ පෙලේ කණ්ඩායම් කිහිපයක් තරගාවලියට එක් වීමට නියමිතය.

4x4 අභියෝගයට සමගාමීව පැවැත්වීමට නියමිත යතුරුපැදි තරගාවලියට තරග ඉසව් 12ක් ඇතුළත්ව ඇති අතර වයස් කාණ්ඩ කිහිපයක් යටතේ හා නවීකරණය කළ - නෙකළ මෙන්ම රේසිං කාණ්ඩයේ තරග ඉසව් කිහිපයක් තරගාවාලියට ඇතුළත්ව ඇත. මේ වන විටත් යතුරුපැදි ක්‍රීඩකයන් 150කට අධික පිරිසක් අයැදුම්පත් යොමුකොට ඇත.

4x4 තරගාවලිය පැවැත්වීමට තුංකම ඉංජිනේරු බළකා ධාවන පථය ස්වාභාවික බාධක යොදා ගෙන තරගකරුවන්ගේ හැකියාවන් මනාව උද්දීපනය කළ හැකි අයුරින් මඩ, ජලය, කඳුගැට සහ පටු මංතීරු මතින් තරගයේ විවිධ අදියරයන් පසු කිරීම සඳහා ‘කම්පැක්ට් 200 එක්ස්ට්‍රා වයිඩ්’ වර්ගයේ පලමක් නිරිමාණය කර ඇත. අංක 8ට හැඩයේ දිත්ව මංතීරුව සහිත එක් ධාවන පථයක් තුළ තවත් ධාවන පථයක් පිහිටන සේ ඉදිකෙරුණු රථයේ පළලට පමණක් සීමාවන මංතීරුව 4x4 ධාවන පථයේ විශේෂ ලක්ෂණයක් වෙයි. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරුවන්ගේ හැකියාවන් මනා ලෙස පිළිඹිබු වන පරිදි යතුරුපැදි තරගකරුවන්ගේ ඉසව් වෙනුවෙන්ම ඒ බාධක මතින් දිවෙන ධාවන පථයක් නිර්මාණය කර තිබීම 4x4 ජිම්පෝ ශූරතා අභියෝගයේ විශේෂ ලක්ෂණයක් ලෙස එය දැකිය හැකිය.

මේ තරගාවලිය වාර්ෂික සංවිධාන කිරීමේ මුලික අරමුණ වනුයේ ඉංජිනේරු බළකා සෙබලුන්ගේ සුභසාධනය උදෙසා හා ඉංජිනේරු බලකා මූලස්ථාන වල යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රක්ධානය උපයාගැනීමේ අරමුණයි. එක් එරැස්කර ගන්නා අරමුදලින් ඇඹිලිපිටිය අධ්‍යාපන කොට්ඨාසය ආවරණය වන පරිදි පාසැල් දරු දැරියන්ගේ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහනක්ද මෙයට සමගාමීව පැවැත්වීමට සංවිධායකයන් වැඩසටහන් ගණනාවක් සංවිධාන කර ඇත.

විව්කේ මැෂිනරී ඇන්ඩ් ඉකළ්‍යුප්මන් පුද්ගලික සමාගම, ඇවෙන්ස්මාට් ඉංජිනියරින් පුද්ගලික සමාගම, සෙනොක්ස් ට්‍රේඩින් ඒකාබද්ධ පුද්ගලික සමාගම, ඒස් මෝටර්ස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම හා සියැට් කැලණි අන්තර්ජාතික ටයර් පුද්ගලික සමාගම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර එක්සත් ප්‍රවෘතිපත්‍ර සමාගම (ලේක් හවුස්) මුද්‍රිත මාධ්‍ය අනුග්‍රෙය දක්වන අතර ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් තරගාවලිය සජීවීව විකාශනය කරයි.

මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස්

නව අදහස දක්වන්න