ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දියාවට ලකුණු 168ක ජයක් | දිනමිණ

ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දියාවට ලකුණු 168ක ජයක්

ප්‍රින්ස් ගුණසේකර
විරාට් කෝලි හා රෝහිත් ශර්මා

ඉතිහාසයේ අඩුම පිරිසක් නැරැඹූ එක්දින තරගයක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති සිවුවැනි එක්දින තරගය ලකුණු 168කින් ජයගත් ඉන්දියාව තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පිට පිට ලැබූ හතරවැනි ජයග්‍රහණය ඊයේ වාර්තා කළේය. අඩුම ප්‍රේක්ෂක පිරිසක් නැරැඹූ ක්‍රිකට් තරගයක්වූ මෙය ඉන්දීය අණසකට යටත් මලානික තරගයක් ලෙස ඇදී ගියේය. 35000කට අසුන්ගත හැකි ආර්. ප්‍රේමදාස පිටියේ 5000කට ආසන්න ප්‍රේක්ෂක පිරිසක් මැද පැවැති දිවා - රාත්‍රී තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5කට ලකුණු 375ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ගණන රැස්කළ අතර ශ්‍රී ලංකා ඕවර් 42.4කදී සියලු දෙනා ලකුණු 207කට දැවී ගියේය.

මෙයට පෙර 2009දී ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම දෝනිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල කඩුලු 5කට ලකුණු 363ක් ලබා ශ්‍රී ලංකාවේදී කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණු ගණන වාර්තාකොට තිබුණි.

එක්දින තරගවලදී 16වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් විරාට් කෝලි මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ දෙවැනි අවස්ථාව මෙය වූ අතර මෙයට පෙර 2014දී ශ්‍රී ලංකාවට එරෙහි කල්කටාහී පැවැති තරගයේදී ද මෙවැනි තීරණයක් ගෙන තිබුණි. එහිදී මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 404ක් ලබාගත් අතර ඊයේ දිනයේ ශතකයක් වාර්තා කළ රෝහිත් ෂර්මා එහිදී නොදැවී ලකුණු 264ක් ලබා පිටිය වර්ණවත් කළේය.

ෂර්මා හා කෝලි එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 165ක් තුළදී ලකුණු 219ක් ලබාගත් අතර ලකුණු 131ක් ලබා සිටි කෝලි, මාලිංගට 300වැනි එක්දින කඩුල්ල ලබාදෙමින් දැවී ගියේය. පන්දු 96කදී තම 29වැනි එක්දින ශතකය රැස්කළ කෝලි හයේ පහර දෙකක් හා හතරේ පහර 17ක් එල්ල කිරීමට සමත් විය. කෝලි සමග ලකුණු වර්ෂාවක් පතිත කළ රෝහිත් ෂර්මා 13වැනි එක්දින ශතකය වාර්තා කරමින් පන්දු 85කදී හතරේ 10ක් හා හයේ 3ක් සමග ලකුණු 104ක් වාර්තා කළේය.

මැතිව්ස්, හර්දික් පණ්ඩ්‍යාගේ හා ෂර්මාගේ කඩුලු දෙක පිට පිට පන්දු දෙකකදී දවාගැනීමත් සමග ඉන්දීය ලකුණු වේගය පහළ ගියද මනීෂ් පණ්ඩේ හා දෝනි එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 101ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. දෝනි නොදැවී ලකුණු 49ක් හා පණ්ඩේ නොදැවී ලකුණු 50ක් වාර්තා කළහ. එය පණ්ඩේගේ දෙවැනි එක්දින අර්ධ ශතකය විය. වෙනදා මෙන්ම දුර්වල පන්දු රැකීම හමුවේ අකිල ධනංජය හා දිල්ෂාන් මුණවීර අතින් පහසු උඩපන්දු දෙකක් ගිලිහුණි.

ලකුණු 376ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 70ක් එක්කළ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 80කදී හතරේ පහර 10ක් එල්ල කළේය. ශ්‍රී ලංකා මුල්ම කඩුලු 3ක් ලකුණු 37කට දැවී ගිය අතර තිරිමාන්න හා මැතිව්ස් සිවුවැනි කඩුල්ලට ලකුණු 61ක සම්බන්ධතාවක් ගොඩනගා තිබියදී තිරිමාන්න ‘ඩීප් පොයින්ට්’ හී සිටි ධවාන් අතට උඩ පන්දුවක්දී ක්‍රීඩාගාරයට ගියේය.

එවිට ඔහුගේ ලකුණු තත්ත්වය 18ක් වූ අතර අනතුරුව පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධන හා මැතිව්ස් 5වැනි කඩුල්ලට පන්දු 74කදී ලකුණු 73ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර එය ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සම්බන්ධතාව විය.

මිලින්ද සිරිවර්ධන පන්දු 43කදී හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 39ක් ලැබීය. නොතිබූ ලකුණක් සොයා යෑමට ගොස් වනිදු හසරංග ලකුණු 22කට දුවද්දී දැවී ගිය අතර විශ්ව ප්‍රනාන්දු, පුෂ්පකුමාර හා මාලිංග යන පසු පෙළ පිතිකරුවන් තිදෙනා ලකුණු 17ක් තුදී ක්‍රීඩාගාරයට යෑමෙන් ඉනිම නිමා විය.

300වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ දෝනි වාර්තා කිහිපයකට හිමිකම් කියන අතර වැඩිම තරග ගණනකදී කඩුලු රකිමින් කණ්ඩායමක් මෙහෙයවූ නායකයා ලෙස (තරග 199) ඇන්ඩි ෆ්ලවර් (තරග 46) පසුකර සිටී. කඩුලු රකින්නකු ලෙස එක්දින පිටියේ වැඩිම ලකුණු (ශ්‍රී ලංකාවට එරෙහිව 183) ලබාගත් අතර ක්වීන්ටන් ඩී කොක් (ඔස්ට්‍රේලියාවට එරෙහිව 178) දෙවැනි විය. ඉන්දීය පිල මෙහෙයවමින් වැඩිම තරග ප්‍රමාණයක් (තරග 199කදී ජයග්‍රහණ 110ක්) ජයග්‍රහණය කිරීමේ ගෞරවය ද දෝනි හිමිකරගෙන ඇත.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කපුගෙදර, චන්දිමාල් හා දුෂ්මන්ත චමීර වෙනුවට කැඳවූ දිල්ෂාන් මුණවීර හා මලින්ද පුෂ්පකුමාර එක්දින වරම් දිනාගත් අතර වනිදු හසරංග කණ්ඩායමට එක්විය. ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් වේග පන්දු යවන ක්‍රීඩක සාදූල් ඨාකූර්ට අමතරව මනීෂ් පාන්ඩේ හා කුල්දීප් යාදෙව් ඊයේ තරගයට කැඳවා තිබුණි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 5වැනි අවසන් එක්දින තරගය මේ 3වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...