ගල් තලාවක නිදන් සෙවූ පිරිසක් අත්අඩංගුවට | දිනමිණ

ගල් තලාවක නිදන් සෙවූ පිරිසක් අත්අඩංගුවට

අනුරාධපුර මධ්‍යම විශේෂ

මුතු සහ මැණික් ඇති බවට ජනප්‍රවාදයේ සහන් නාග පෙන හතක් හා අප්සරාවන් දෙදෙනකුගේ රූප කෙටූ ගල් තලාවක නිදන් සෙවූ බව කියන යුද හමුදාවේ විශ්‍රාමික සැරයන් මේජර්වරයකු කට්ටඩියකු ඇතුලු සැකකරුවන් හය දෙනකු හොරොව්පොතාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරින් විසින් නිදන් හෑරීමට රැගෙන ආ භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හොරොව්පොතාන පොලිස් වසමේ ආනඔලන්දෑව රජයේ රක්ෂිතයේ පුරා විද්‍යා බිමක් ලෙසට සලකන තලපත්පිටිය කොළම ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක පිහිටි ගල්තලාවක්මත සැකකරුවන් පිරිසක් නිදන් සොයමින් සිටින බවට ලැබුණු තොරතුරු මත වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදු කළ අවස්ථාවේ දැනට සේවයේ නියුතු යුද හමුදා සෙබළෙකු ඇතුලු තිදෙනකු පොලිස් ග්‍රහණයෙන් මිදී පලාගිය බව පොලිසිය පැවසුවේය.

එහෙත් පලාගිය යුද හමුදා සෙබළාගේ සේවා හැදුනුම්පත ජාතික හැදුනුම්පත හා නිවාඩු පෝරමය ඒ ආසන්නයේ වැටී තිබී හමුවූ බවත් පලාගිය තවත් අයකුගේද හැදුනුම්පත ඒ අසන්නයේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

ජනප්‍රවාදයට අනුව මෙම ස්ථානයේ පිහිටි ගල් තලාව යට ඇති දිය පහරක මිල කළ නොහැකි මැණික් මුට්ටියක් මුතු ඇතුලු විශාල වස්තු සම්භාරයක් තිබෙන බවට ඇති මතය නිසා මීට පෙරත් එහි කැණීමක් සිදුකිරීමට පැමිණි පුද්ගලයන් පිරිසක් පොලිසිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලිසිය වැටලීම සිදුකරන විට එම ස්ථානයේ පිහිටි ගල්තලාවේ අඩි හතරක පමණ ප්‍රමාණයක් ගැඹුරට සැකකරුවන් වළක් හාරා තිබූ බවත් නිධානය ගොඩට ගැනීමට ගෙනවිත් තිබූ පූජා භාණ්ඩ තොගයක්, ජේනරේටරයත් ගල් විදින යන්ත්‍ර, යකඩ කටු, කුළුගෙඩි උදළු පිකස් ඇතුලු උපකරණ විශාල ප්‍රමාණයක් සමග සැකකරුවන් පැමිණ කැලෑවේ කොළ අතු අතර සගවා තිබූ යතුරු පැදි දෙකක්ද පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවටගත් පිරිස අතර මහරගම ප්‍රදේශයේ පදිංචි කට්ටඩියා සමග කඩවත මාකොල,කහටගස්දිගිලිය හොරොව්පොතාන කිඹුල් පැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් සිටින බව පොලිසිය පැවසුවේය.ඔවුන් වයස අවුරුදු 29 ත් 60ත් අතරේ පසුවන්නන් ද වේ.කිඹුල් පැටියාවේ පදිංචි විශ්‍රාමික හමුදා සැරයන් මේජර්වරයා මෙම සිද්ධිය මෙහෙයවා ඇති බවත් පලාගිය හමුදා සෙබළා ඇතුලු තිදෙනා හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරන බව පොලිසිය පැවසුවේය.

සැකකරුවන් හය දෙනා පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පී.ජී.එස්.ආර්.සංජීව මහතාගේ උපදෙස්මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක චාමර රාජපක්ෂ පොලිස් කොස්තාපල්වරුන් වන 19144 බංඩාර 47436 ජයතිස්ස 48481 සෙනවිරත්න 33142 දිසානායක 63300 රුවන් 64653 ජයසූරිය 47219 කරදවල හා 46651තුෂාර යන නිලධාරින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 

නව අදහස දක්වන්න