කැලණිය විශ්වවිද්‍යාලයේ ආපනශාලා 4ටම පාරිභෝගික අධිකාරියෙන් නඩු | දිනමිණ

කැලණිය විශ්වවිද්‍යාලයේ ආපනශාලා 4ටම පාරිභෝගික අධිකාරියෙන් නඩු

කැලණිය විශ්ව විද්‍යාලයෙහි සිසු සිසුවියන් ඇතුලු කාර්ය මණ්ඩලය පීඩාවට පත්වන අයුරින් ආපනශාලා පවත්වා ගෙන යාම මත එම පරිශ්‍රයෙහි පවත්වා ගෙන යනු ලබන ආපනශාලා හතරටම අධිකරණය හමුවේ නඩු පැවරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයට ලැබී පැමිණිලි මත විශ්ව විද්‍යාලයෙහි ආපනශාලා හතර පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී සිසිල් බීම වර්ග වැඩි මිලට අලෙවි කිරීම. කල් ඉකුත් වු බීම වර්ග තිබීම. ආහාර වර්ග වැඩිමිලට අලෙවි කිරීම හා ආහාර වර්ගවල මිල ප්‍රදර්ශනය නොකිරීම මත එම හේතූන් පාරිභෝගිකයන් පීඩාවට ලක් කිරීමක් වන බැවින් මෙසේ සිය අධිකාරියෙහි බලතල ප්‍රකාර මෙලෙස නඩු පැවරෙන බව දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.

ලැබී ඇති පැමිණිලි අනුව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත මෙලෙස ආපනශාලා පරීක්ෂා කිරීම පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන ඒ. ඩී. අධිකාරී, චතුරිකා රණවීර, තුල්සි උඩවත්ත, ඉමාලි ප්‍රියදර්ශනී, ඒ. එස්. කේ. නදීෂානී, ඩබ්ලිව්. ඒ. රුවිනී, හේමන්ත ගූණසිංහ සහ චතුර හේරත් යන මහත්ම මහත්මීන් විසින් සිදු කොට ඇත.

ආපනශාලාකරුවන් සිව් දෙනා අදාළ නඩු දිනයේදී මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇත.

ගම්පහ අතිරේක

නව අදහස දක්වන්න