කළුතර නගරයේ මැද වැඩ නැති දුරකතන කුටි | දිනමිණ

කළුතර නගරයේ මැද වැඩ නැති දුරකතන කුටි

වේලාව උදෑසන 7.30 ට පමණ ඇත. හොඳින් හැඳ පැළැඳ ගත් කාන්තාවක් කඩිමුඩියේ දුරකථන කුටියක් වෙත දිව ගියාය. යළිත් එළියට ආ ඇය ඊළඟ කුටි දෙක තුනටද ඇතුළු වූවාය. අවසානයේ එළියට ආවේ ඔලුවට අත ගසාගෙනය. එතැනින් ගමන්ගත් මා ඇය හා කථා කළේ ඇය ලොකු කරදරයක පැටලී ඇති බව දැණුනු බැවිනි. “අනේ අද පුතා විතරයි ගෙදර මම අයන් එක ඕ‍ෆ් කළාද කියල මතක නෑ. ෆෝන් එකත් දාල ඇවිල්ල යනුවෙන් පැවසූ ඇයගේ යථා තත්ත්වය තේරුම් ගත් මා ඇයට දුරකථන ඇමතුමක් ලබා ගැනීම සදහා මගේ දුරකථනය ලබා දුන්නේ මගේ අතීතය ද සිහියට ආ නිසාය.

මේ කළුතර නගර මධ්‍යයේ ඇති ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක පිළිගැනීමේ නිලදරුවන් මෙන් අලංකාර ලෙස තනවා ඇති දුරකථන කුටි 4කි. ඒත් ඒ එකකවත් වැඩ නැත. එකක වීදුරු කැඩී ඇත. එකක දුරකතනය ගලවා ඇත. මේ අර වැට් මේ වැට් යනුවෙන් අය කරනා මහජන මුදල් වලින් තැනූ ඒවා වන්නට ඇත. මහජනතාවගේ කාලය තව ටිකක් කා නොදමා මේවා මෙතැනින් ඉවත්කළ යුතුය. නැතහොත් අළුත්වැඩියා කළ යුතුය බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමුවෙනු ඇතැයි මහජන හැඟීමයි.

කළුතර දකුණ විශේෂ
සුනේත්‍රා වන්නිආරච්චි

නව අදහස දක්වන්න