පුත්තලමේ නියඟයෙන් අසරණ පවුල් සඳහා වියළි ආහාර | දිනමිණ

පුත්තලමේ නියඟයෙන් අසරණ පවුල් සඳහා වියළි ආහාර

මුන්නේශ්වරම සමුහ ඊ.සි.ප්‍රනාන්දු

රජයෙන් රුපියල් විසිහතර කෝටියක්

මේ දිනවල පුත්තලම දිසාවට බලපා ඇති උග්‍ර නියං තත්ත්වය මත අසරණ වී ඇති පවුල් වෙත මාසයක කාලයක් තුළ සති දෙකෙන් දෙකකට වියළි ආහාර සහනාධාර බඩු මල්ලක් ලබා දිම පිණිස රුපියල් විසිහතර කෝටි හයදහස් නවසිය හැටක මුදලක් ලැබි ඇති බව පුත්තලම දිසාපති කාර්යාලය කියයි.

දිසාවේ ග්‍රාම නිලධාරි වසම් 331ක පදිංචි පවුල් හැත්තෑහතර දහස් අටසිය පනස් පහක සාමාජික සාමාජිකාවන් මෙම නියඟයට මුහුණ දී සිටින බවත් ඉදිරි දිනවල දී ප්‍රමාණවත් වර්ෂාවක් නොලද හොත් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි .

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දිනවල රජරට කලාපයේ නියං විපත් පරික්ෂා කිරිමට ගිය අවස්ථාවේ දී ඇති තතු තේරුම් ගෙන නියඟය බලපා ඇති දිස්ත්‍රික් වල ජනතාවට වියළි ආහාර සහනාධාර මල්ලක් ලබා දිය යුතු බවට කළ නියෝගය අනුව පුත්තලම දිසාවේ ජනතාවට මෙම සහනාධාරය ලබා දෙනු ඇත .

සති දෙකකට වරක් පැය පහක කාලයක් ගමේ පොදු ශ්‍රමදාන ව්‍යාපාරයක නිරත විය යුතු බවත් ඒ අනුව දෙදෙනෙක්ට අඩු පවුලක් වෙත රුපියල් දෙදහසක් වටිනා ආහාර මල්ලක් ද ඊට වැඩි පවුලක් වෙත රුපියල් දෙදහස් පන්සියයක් වටිනා බඩු මල්ලක් ද ලබා දෙනු ඇත. මේ අයුරින් මාසයක කාලයක් තුළ සති දෙකකට වරක් අවස්ථා දෙකක දී බඩු මලු දෙකක් ලබා දෙන බවත් ආසන්නයේ පිහිටි සමුපකාර ප්‍රාදේශිය සභාව මඟින් මෙම බඩු මල්ල නිකුත් කරණු ලබන බවත් මේ පිළිබඳව විමසු අවස්ථාවේ දී පුත්තලම දිසාපති කාර්යාලයේ ආපදා සහන නිලධාරි චමින්ද කුමාර මහතා සදහන් කළේය. 

නව අදහස දක්වන්න