මත් උවදුරෙන් දකුණු පළාත රකින්න විශේෂ සාකච්ඡාවක් | දිනමිණ

මත් උවදුරෙන් දකුණු පළාත රකින්න විශේෂ සාකච්ඡාවක්

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

මත් උවදුරෙන් දකුණ රකින්න, දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා පොලිසිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා දකුණු පළාත් සභාවේ දී පැවැත්විණි. දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී ෂම්මු ආරියවංශ මන්ත්‍රීවරයා විසින් පසුගියදා පැවැති පළාත් සභාවට කරන ලද යෝජනාවක් අනුව මෙම සාකච්ඡාව දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා පොලිසිය නියෝජනය කරමින් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා සහභාගී විය.

මෙහි දී දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක හඩින් ඉල්ලා සිටියේ දකුණේ මේ වන විට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිකරමින් දරුවන් ට මත්ද්‍රව්‍ය ලබා දෙන පුද්ගලයන් වහාම නීතිය හමුවට පනවන ලෙසයි.

විශේෂයෙන්ම උපකාරක පන්ති අවසන් වු පසු සහ පාසල් අවට ඇති කුඩා කඩවලින් මෙම මත්ද්‍රව්‍ය දරුවන්ට ලබා දෙන බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බව ද මෙම රැස්වීමේ දී අනාවරණය විය. මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබා දීම සඳහා වෙනම දුරකථන අංකයක් ස්ථාපනය කිරීම ගැනද මෙහි දී සාකච්ඡා විය. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයෙක් විසින් ක්‍රියාත්මක කරන පරවියන් ලවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝව සාකච්ඡා විය. එහි දී අනාවරණය වුයේ අදාළ පුද්ගලයා පරවියාගේ කකුලේ මත්ද්‍රව්‍ය පැකට්ටුව ගැට ගසා පරවියා මුදාහැර ඔහු සිය යතුරු පැදියෙන් අවශ්‍ය ස්ථානයට යන බවත් එම ස්ථානයට පරවියා පැමිණි පසු එම මත්ද්‍රව්‍ය පරවියාගෙන් මුදාගෙන අවශ්‍ය අයට ලබා දන බවත් මෙය කොටු කර ගැනීම ලේසි පහසු නොවන බවත්ය. විශේෂයෙන්ම වසර දහයක් පමණ එකම ස්ථානයක සිටින පොලිස් නිලධාරීන් ද මෙම ජවාරම් කරුවන්ට සහය දක්වන බව ද මන්ත්‍රීවරුන් විසින් අනාවරණය කරන ලදී.

මෙහි දී අදහස් දැක් වු ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා,

පළාත් සභාවකම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මත් උවදුරට එරෙහිව ක්‍රියාත්මක වෙනවා කියන්නේ පොලිසියටත් ඒක පහසුවක්. කෙහොම වුණත් අපි අපේ වැටලීම් දිගටම කරනවා. අපි කරන වැටලීම් සියයකින් හරියන්නේ 20-30 විතර. අද මේ සාකච්ඡාවේ ලැබුණු කරුණුත් එක්ක ගාල්ල, මාතර , හම්බන්තොට දිස්ත්‍රික්ක තුනේම නිලධාරීන් දැනුවත් කරලා විශේෂ වැඩ පිළිවෙළක් දියත් කරන්නම්.

නව අදහස දක්වන්න