වැවක් සමඟ ගමක් සංවර්ධන ව්‍යාපෘතිය ධීවර ඇමැති ප්‍රධානත්වයෙන් | දිනමිණ

වැවක් සමඟ ගමක් සංවර්ධන ව්‍යාපෘතිය ධීවර ඇමැති ප්‍රධානත්වයෙන්

නිකවැරටිය හුලුගල්ල මහවැව කේන්ද්‍ර කරගනිමින් පවුල් රැසකට සහන සැලසීමේ අරමුණ ඇතිව වැවක් සමඟ ගමක් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

එහිදී හුලුගල්ල වැව සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කිරීම ද නිවාස ආධාර හා ධීවර ආම්පන්න ප්‍රදානය කිරීම ද, දෙමහල් ප්‍රජාශාලා ගොඩනැගිල්ල වැඩ ආරම්භ කිරීම ද මෙදින සිදු කෙරිණි.

මෙම ප්‍රදේශයේ ධීවර පවුල් මෙන්ම මාර්ග, ජල, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපනික හා කෘෂිකාර්මික කටයුතු ඇතුළු සියලු පොදු පහසුකම් සහිත ධීවර පවුලකට මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා ඉහළ නංවාගැනීම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, නිවාස ඉදිකිරීම් කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර, ජනාධිපති උපදේශක ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් ලක්ෂ්මන් වෙඬරුව, වයඹ පළාත් සභා මන්ත්‍රී නිලන්ත සුපුන් රාජපක්ෂ, වාරියපොළ ආසන සංවිධායක ආනන්ද ජයලත්, නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ඊ. එම්. පී. ඒකනායක, නිකවැරටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක එච්. බී. තෙන්නකෝන් යන මහතුන් ද ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

වාරියපොළ මධ්‍යම සමූහ
එච්. එම්. නන්දාවතී පතිරාජ

නව අදහස දක්වන්න