හොරකම-වංචාව-කෑදරකම එක්ක රටක් ඉදිරියට යා නොහැකියි | දිනමිණ

හොරකම-වංචාව-කෑදරකම එක්ක රටක් ඉදිරියට යා නොහැකියි

රටේ පසුගිය කාලය ගත් විට දේශපාලනය අපිරිසුදු වුණා. දූෂණය වංචාව හොරකම නාස්තිය පවුල්වාදය සමඟ මෙරට නිර්මාණය වුණේ ඉතාම නරක දේශපාලන සංස්කෘතියක්. ඒ දේශපාලන සංස්කෘතිය කණපිට පෙරළන්න අපිට අද ලොකු උත්සාහයක් ගන්න සිද්ධ වෙලා තිබෙනවා

අවස්ථාවාදය, පටු දේශපාලන න්‍යාය පත්‍රය, හොරකම, වංචාව, බලයට ඒම පිළිබඳව තිබෙන කෑදරකම කියන මේ සියල්ලත් එක්ක රටක් ඉදිරියට යා නොහැකි බව පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපි ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන හෙට දවසක් හදන්න පිරිසුදු ජාතික දේශපාලනයකට එක්වන්නැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරයෙන් පණිවුඩයක් දිය යුතු බවද පැවසීය.

ජනාධිපතිවරයා මේ බැව් සඳහන් කළේ ලබන ඉරිදා පැවැත්වෙන පක්ෂයේ 66 වැනි සංවත්සර උළෙල නිමිත්තෙන් පෙරේදා (30) සවස කොළඹ පැවැති උත්සවයකට සහභාගිවෙමිනි.

මෙහිදි තවදුරටත් කතා කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය,

අද උදේ මම සියලුම මාධ්‍ය ප්‍රධානීන් සමඟ හමුවක් ජනාධිපති මන්දිරයේ තිබුණා. ඒ වගේම මේ සන්ධ්‍යාවේ ඔබ සමඟ එක්ව සිටිනවා. සරත් අමුණුගම මහතා කී ආකාරයට අප දැන් ප්‍රමුඛත්වය දෙන්නේ ලබන ඉරිදා පැවැත්වෙන පක්ෂයේ 66 වැනි සංවත්සර උළෙල සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගෙන්ම අවශ්‍ය සහයෝගය හා ආශිර්වාදය ලබාගැනීමටයි. මේ රජය පැහැදිලි සමාජ පරිවර්තනයකට වගේම සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ගමනකට මූලිකත්වය සහ නායකත්වය දෙමින් සිටිනවා. සැබෑ ලෙසම යහපත් සමාජයක් බිහි කළේ එස්.ඩබ්ලිව්.ඩී. බණ්ඩාරනායක මහතා. එතුමා මේ රටේ දේශපාලනයේ ඉතාම පිරිසුදු දේශපාලන චරිතයක්. එතුමාටත් තිබුණා බලයට පත්වූවායින් පසුව 56 ජයග්‍රහණයෙන් පසුව මැතිවරණයට ගිය වියදම්වලට රොස්මිඩ් ප්‍රදේශයේ තිබුණු නිවස උකසට තියලයි සල්ලි හොයා ගත්තේ කියලා මුදල් හොයන්න. එතුමා මිය යන තෙක්ම එතුමාට බැරි වුණා රොස්මිඩ් ප්‍රදේශයේ උකස් කළ නිවස බේරා ගන්න. මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේදි ඔලිවර් ගුණතිලක මහතා මැදිහත්ව ගේ උකසට ගත් කෙනාට එන්න කියලා ප්‍රකාශ කළා දැන් බණ්ඩාරනායක මහතා මරලා දැම්මා, මැතිනියටත් මේ දරුවන්ටත් මේ ගෙයින් යන්න වෙනවා උකස ගෙවා ගන්න බැරිව, ඒ නිසා මේක අත්හැරලා දාන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි උකස් ගන්න කෙනා එය අතහැරලා දැම්මේ. එවැනි චරිතයක් තමයි බණ්ඩාරනායක මහතා කියන්නේ. බණ්ඩාරනායක මැතිනිය ගත් විට එතුමියගේ නායකත්වය තුළ විශිෂ්ටභාවය වගේම අවංකභාවයත් තිබුණා. එතුමියත් ඉතාම පිරිසුදු දේශපාලනයක් කළා. නමුත් මේ රටේ පසුගිය කාලය ගත් විට දේශපාලනය අපිරිසුදු වුණා. දූෂණය වංචාව හොරකම නාස්තිය පවුල්වාදය සමඟ මෙරට නිර්මාණය වුණේ ඉතාම නරක දේශපාලන සංස්කෘතියක්. ඒ දේශපාලන සංස්කෘතිය කනපිට පෙරළන්න අපිට අද ලොකු උත්සාහයක් ගන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉහළ සිට පහළට ගලා ගිය හොරකම, වංචාව, දූෂණය, පවුල්වාදය, පටු දේශපාලන න්‍යාය පත්‍ර රට, පක්ෂය, ජනතාව ගැන නොසිතා තමන් ගැන සිතන දේශපාලන න්‍යාය පත්‍රත් එක්ක තමයි ඒ සමාජය සකස් වුණේ පසුගිය අවුරුදු දහයක් පහළොවක කාලය තුළ. ඉන් රට නිදහස් කර ගැනීම පහසු කාර්යක් නොවේ. සරත් අමුණුගම මහතා කීවා මාධ්‍ය නිදහස පිළිබඳව. අපි අද දීලා තිබෙන මාධ්‍ය නිදහස කොයි විදියට භාවිත කරනවාද කියලා ඔබලාම දන්නවා. විශේෂයෙන්ම රූපවාහිනිය, පුවත්පත්, ගුවන්විදුලිය සම්බන්ධයෙන් අපි චෝදනා කරන්නේ නැහැ. නමුත් අන්තර්ජාලය විශේෂයෙන්ම ෆේස්බුක්, වෙබ් සයිට් හැසිරෙන ආකාරය මොන තරම් සමාජයට අයහපත්ද කියලා ඔබලා දන්නවා. අද ලෝකයේ රටවල් ගණනාවක ෆේස්බුක්, වෙබ් සයිට් තහනම් කරලා තිබෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත පහක ෆේස්බුක් තහනම් කර තිබෙනවා. සම්පූර්ණයෙන්ම පාලනයට ගෙන තිබෙනවා අන්තර්ජාලය. අපි මේ දී තිබෙන නිදහස කොතෙක් දුරට යහපත්ව ශීලාචාරව භාවිත කරනවාද කියන කාරණය මගේ හිතවත් ආදරණීය මාධ්‍යවේදීන්ගෙන් මං අහනවා. ඒ නිදහස සැබෑ ලෙසම නිදහසක් ලෙස ශීලාචාරව විනීතව විනයගරුකව භාවිත කිරීමට සමාජය හැඩගස්වන්න නායකත්වය ගන්න ඔබට පුළුවන්. ඔබ වැඩ කරන ආයතනවල හා ඔබේ පෑනත් ඒ වගේම ඔබ සමාජය තුළ කරන වාචික කතාබහ තුළ හැසිරෙන ආකාරය ෆේස්බුක් හසුරුවන්නන්ට ඔබේ ආදර්ශය දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. දී තිබෙන නිදහස අනුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළොත් ඉන්පසුව බිහි වන්නේ ඉතාමත් ෆැසිස්ට්වාදි, ඒකාධිපති පාලනයක්. එය ඉතාම පැහැදිලියි. අද තිබෙන නිදහස මේ අයට තේරුම් ගැනීමට නොහැකිව තිබෙනවා. තේරුම් ගන්නා විට සමහර විට පෙරහර ගිහිං තිබෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජ යථාර්ථය වගේම නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අපි සමාජයේ වගකීම් ඉටු කිරීම මේ සියල්ලම තුළින් අපි අපේක්ෂා කරන හොද රටක් ගොඩනඟනන්න ගන්නා උත්සාහයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අද දවසේදීත් හෙට දවසේදීත් විශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය ඉටු කරන්නයි ශ්‍රීලනිපය නායකත්වය ගෙන තිබෙන්නේ. මම අද උදේ කීවා වගේ මුළු සමාජ දේහයටම අපි එකතු වෙලා තිබෙන්නේ. අවස්ථාවාදය, පටු දේශපාලන න්‍යාය පත්‍රය, හොරකම, වංචාව, බලයට ඒම පිළිබඳව තිබෙන කෑදරකම මේ සියල්ලත් එක්ක රටක් ඉදිරියට යා නොහැකියි. එහිදී අපි සෑම කෙනකුටම යුතුකමක් හා වගකීමක් තිබෙනවා අප විසින් කළ යුත්තේ කුමක්ද යන්න තේරුම් ගෙන කටයුතු කිරීමට. ඒ අනුව 66 වැනි සංවත්සරයෙන් පණිවුඩයක් දිය යුතුව තිබෙනවා පිරිසුදු ජාතික දේශපාලනයකට සියලුදෙනා එක්වන්න කියලා. එම ඒකරාශී වීම තුළ තමයි අපිට පුළුවන් වන්නේ අපි ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන හෙට දවසක් හදන්න. ඒ නිසා අද මේ සුහද හමුවට එක් වූ සියලුදෙනාට මා ස්තුතිවන්ත වෙනවා. රට වෙනුවෙන් වගකීම් හා යුතුකම නිසි ලෙස ඉටු කරලා අද ජීවත් වන මිනිසුන්ට වගේම හෙට දවසේ හොද රටක් හදමු කියන ආයාචනය කරමින් සියලු දෙනාට ස්තුතිය පළකරනවා. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...