විදේශ ආයෝජන මේ වසරේ සියයට 300කින් වැඩි වුණා | දිනමිණ

විදේශ ආයෝජන මේ වසරේ සියයට 300කින් වැඩි වුණා

ශිරෝමි අබයසිංහ

* මැණික් කර්මාන්තය නංවා නව රැකියා අවස්ථා 10000ක් ඇති කර ගත යුතුයි
* ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම්ලාභී රටක් ලෙස හඳුන්වාදීම ලැජ්ජාවක්
* 2020 වන විට රට ශක්තිමත් ස්ථාවරයකට ගෙන එනවා

අප රටට ලැබුණු විදේශ ආයෝජන දෙදහස් දහ හතර වසරට වඩා මේ වසරේ සියයට තුන්සියයකින් වැඩි වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය දියුණු කිරිමෙන් දැනට අපට ලැබෙන විදේශ ආදායම තුන් ගුණයක් දක්වා වැඩි කර ගත හැකි බව පෙන්වා දුන් අගමැතිවරයා රටේ ණය බර අනාගත පරම්පරාවට උරුම කර නොදී මේ ජිවිත කාලය තුලදිම ගෙවා දැමීමට හැකි වන බවට විශ්වාසය පළ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (31) ආරම්භ වූ ෆේසට්ස් ශ්‍රී ලංකා 2017 මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

ෆේසට්ස් 2017 නව වෙබ් අඩවියද අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදි විවෘත විය.

එහිදි අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තව තවත් දියුණු කරමින් ජනතාවට රැකියා අවස්ථා ලබාදීමට අප කැප වී සිටිනවා. අප භාර ගත්තේ ණය බරින් කඩා වැටුණු ආර්ථිකයක් සහිත රටක්. විදේශ ආයෝජන නොලැබුණු රටක්. නමුත් 2014 වසරට වඩා මේ වසරේ රටට ලැබුණු විදේශ ආයෝජන 300% කින් වැඩි වී ඇති බව ඊයේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවක දී ඔහු මට පැවසුවා. තමන්ගේ ප්‍රදේශ දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් රජය සලසා දී ඇති බවට අපේ මේ සෑම අමාත්‍යවරයෙක්ම සාක්ෂි දරනවා. චීනය, ජපානය, ඉන්දියාව ආදී රටවලින් ලැබෙන ආයෝජන හරහා අක්කර දහස් ගණනක ආයෝජන කලාපයන් අප ඇති කරන්නේ කෙසේදැයි රාජිත සේනාරත්න අමාත්‍යරයා සහ සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔබට පැහැදිළි කරාවි.

අප මේ වන විට ඉන්දියාව සහ ජපානය සමඟ සාකච්ඡා කර එල්.එම්.ජී. විදුලි බලාගාර දෙකක් ආරම්භ කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ වගේම හම්බන්තොට ප්‍රදේශයේ තවත් එල්.එම්.ජී. විදුලි බලාගාරයක් ආරම්භ කිරීම සඳහා චීනය සමග සාකච්ඡා කර තිබෙනවා. මීට පෙර මේ රටේ එල්.එම්.ජී. විදුලි බලාගාර තුනක් එකවර ඇති කළේ කවුද, ඒ කොහේදැයි මා ප්‍රශ්න කරනවා. එමෙන්ම හතර වන එල්.එම්.ජී. විදුලි බලාගාරය සඳහාත් අප මේ වන විට ටෙන්ඩර් පත් කැඳවමින් සිටිනවා. මේ සියලූ වැඩකටයුතු සාර්ථක වුණොත් එකවර එල්.එම්.ජී. විදුලි බලාගාර හතරක් ඉදිවෙනවා.

හම්බන්තොට වරාය ණය උගුලෙන් බේරා ගැනීමට අපට හැකි වුණා. මත්තල ගුවන් තොටුපොළ දියුණු කිරීමේ කටයුතු ද ඉදිරියේ අප ආරම්භ කරනවා. මැණික් හා ස්වර්ණාභරණ කලාපය හම්බන්තොට ඉදිකරන්නැයි ඇතැමුන් පවසනවා. ඒවගේම එය බස්නාහිර පළාතේ කටුනායක ප්‍රදේශයේ ඉදිකරන්නැයි තවත් පිරිසක් පවසනවා. අප මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගෙන එම කටයුතු කඩිනමින් සිදු කරනවා.

ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරන, වැඩි ආදායම් සහිත සංචාරකයන් වෙනුවෙන් කලාප තුනක් අප ඉදිකිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මෙම මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පළමුවෙන් ආරම්භ වුණේ ගාල්ලේ ද, බේරුවල ද යන්න පිළිබඳව රටේ කතාබහක් තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පළමුවෙන් ආරම්භ වූයේ ගාල්ලේ බව එම ජනතාව පැවසුවත්, බේරුවල ප්‍රදේශවාසීන් එය තම ප්‍රදේශයෙන් ආරම්භ වූ කර්මාන්තයක් බව පවසනවා. නමුත් මෙම විවාදයට අපි මැදිහත් විය යුතු නැහැ.

කෙසේ හෝ මෙම කර්මාන්තය තවත් දියුණු කළ යුතුයි. මෙම කර්මාන්තයේ නියැළෙන බොහෝ දෙනෙක් මැඩගස්කරය වැනි රටවල් වෙත ගොස් මැණික් ගෙනෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ මැණික් සහ පතල් කර්මාන්තය ද දියුණු කළ යුතු වෙනවා. එහි වගකීම පරිසර අධිකාරියටත්, භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයටත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් පැවරෙනවා. මේ සියල්ල හරහා අපට දැනට ලැබෙන විදේශ ආදායම තුන් ගුණයක් දක්වා වැඩි කර ගත යුතුයි. එමඟින් මේ රටේ ණය බර අපේ ජීවිත කාලය තුළදී ගෙවා දැමීමට හැකි වේවි. ඒ ණය බර අනාගත පරම්පරාවට උරුම කර දිය නොහැකියි. එපමණක් නොව, තවත් රැකියා අවස්ථා බිහි කිරීම සඳහාත් අප කටයුතු කළ යුතුයි. ශ්‍රී ලංකාවට හැමදාම අඩු ආදායම්ලාභී රටක් හෝ මැදි ආදායම්ලාභී රටක් ලෙස සිටිය නොහැකියි. අපේ රට අඩු ආදායම්ලාභී හෝ මැදි ආදායම්ලාභී රටක් ලෙස හඳුන්වාදීම මට නම් ලැජ්ජාවක්. එසේ නම් අප රට උසස් ආදායම් ලබන රටක් බවට පත් විය යුතුයි. අප සියලූ වැඩ කටයුතු කළ යුත්තේ එය ඉලක්ක කර ගනිමිනුයි.

ශක්තිමත් ආර්ථිකයක් රටට ලබා දීමට අප කැප වී සිටිනවා. ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වුණේ ශක්තිමත් ආර්ථිකයක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි. ඊට අවශ්‍ය අඩිතාලම මේ වන විට අප යොදා තිබෙන අතර 2020 වන විට රට ශක්තිමත් ස්ථාවරයකට ගෙන එන බව මම ප්‍රකාශ කරනවා.

‍අපේ රටේ මැණික් කර්මාන්තය ඇති වුණේ තේ කර්මාන්තය ඇති වීමටත් පෙරයි. මැණික් කර්මාන්තයෙන් අප දැනට උපයන ඩොලර් මිලියන 500 ක ආදායමෙන් සෑහීමකට පත් වීමට බැහැ. එය ඩොලර් 5000 දක්වා වැඩි කර ගත යුතුයි. මෙමගින් නව රැකියා 10000 ක් ඇති කර ගත යුතු වෙනවා.

මැණික් කර්මාන්තයෙන් වැඩිම විදේශ විනිමය උපයා ගත්තේ ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ කාලයේදියි.. ඒ තත්ත්වය යළිත් ඇති කර ගත යුතුයි. ඒ සඳහා ඉදිරියේදි මැණික් කර්මාන්තකරුවන් හමු වි ඔවුනගේ අදහස් හා යෝජනා ලබා ගැනිමට අදහස් කරනවා.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා- 1990 දී ෆේසට්ස් සංගමයේ ආරම්භ සාමාජිකයකු ලෙස මා සිටියා. අවුරුදු 27 කට පසු අද මෙසේ ඇමතීමට ලැබීම සතුටක්. ලෝකයේ 200 පමණ වන ඛනිජ වලින් 75 ක්ම අපේ රටේ තිබෙනවා. ඈත අතිතයේ පටන් චීනය වැනි රටවල් අපේ මැණික් මිලදී ගත්තා.

1979 දී එවකට සිටි මුදල් අමාත්‍ය රොනි ද මැල් මහතා මැණික් අපනයනය නිදහස් කළා. 2001 දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් පසු මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට කටයුතු ක‍ළා. ඉන්පසු නොයෙකුත් ප්‍රශ්න තිබුණා. පසුගිය වසර දහය තුළ මැණික් අපනයනය අඩු වුණා.

නිව්යෝර්ක් වැනි නගරවල මැණික් කර්මාන්තය පවුලේ ව්‍යාපාරයක්. මෙය විශ්වාසය මත පවතින ව්‍යාපාරයක්. අපේ රටේ මැණික් ව්‍යාපාරය සහ දේශපාලනය අතර සබඳතාවයක් පසුගිය දිනවල දක්නට ලැබුණා. ඩේසි ආච්චිට මැණික් මල්ලක් ගෙනත් දීමද පසුගිය කාලයේ සිදු වුණා. හො‍ංකොවල වසරකට ඩොලර් බිලියන 25 ක් මැණික් අපනයනයෙන් උපයනවා. තායිලන්තය වසරකට ඩොලර් බිලියන 11 ක් ලබනවා. අපේ රටත් අපනයනයට නිදහස් විය යුතුයි.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, චන්ද්‍රානි බණ්ඩාර, සුජීව සේනසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ජායාරූප- හිරන්ත ගුණතිලක 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...