දෙමුහුන් බීජ ශ්‍රී ලංකාවේම හදන්න බංගලිදේශයේ සහයෝගය | දිනමිණ

දෙමුහුන් බීජ ශ්‍රී ලංකාවේම හදන්න බංගලිදේශයේ සහයෝගය

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

ශ්‍රී ලංකාව තුළ දෙමුහුන් බීජ නිෂ්පාදනයට ආයෝජනය කිරීමට ජාත්‍යන්තර වශයෙන් සුප්‍රකට බංගලිදේශයේ ලාල්ටියර්ස් සමාගම එකඟත්වය පළ කොට තිබේ. දෙමුහුන් බීජ නිෂ්පාදනයට ශිල්පීය දැනුම ලබාදීම සහ ජාන තාක්ෂණය හුවමාරු කර ගැනීම මෙම යෝජිත ව්‍යාපෘතියට අයත් බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය

. මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේ අක්කර 30ක පමණ මේ දක්වා කිසිදු ඵලදායී වැඩකට යොදාගෙන නොමැති භූමි භාගයක් තුළ මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට යෝජිතව ඇතැයිද අමාත්‍යවරයා සදහන් කළේය. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ බංගලිදේශයේ ලාල්ටියර් සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් ස්ථාපිත කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

මහඉලුප්පල්ලම බීජ නිෂ්පාදන ආයතනයට අයත් කිසිදු කොටසක් බංගලිදේශයට හෝ කිසිදු විදේශීය සමාගමකට විකීණීමට හෝ බදු දීමට කිසිදු අදහසක් හෝ යෝජනාවක් නැහැ. රජය විසින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ රටට ඵලදායී වන ගොවිජනතාවට ඉතා වැදගත් වන දෙමුහුන් බීජ නිෂ්පාදනය ශ්‍රී ලංකාව තුළම සිදු කිරීමයි. මේ තුළින් දෙමුහුන් බීජ මෙරටට ආනයනය කිරිම සදහා වැය වන රු. මි 1400ක පමණ වූ විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිටුවා මේ වන විට වසර 105ක් ගත වී අවසන්. මා ද ඇතුළුව මේ වන විට කෘසිකර්ම අමාත්‍යවරු 23 දෙනෙක් එම අමාත්‍යධූරය හොබවා තිබෙනවා. නමුත් දෙමුහුන් බීජ නිෂ්පාදනය වැනි රටට වැඩදායී සහ ඵලදායී බොහෝ ව්‍යාපෘතිවලට අත ගැසීමක් හෝ ඒ ගැන විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම සම්බන්යෙන් තීන්දු තීරණ ගෙන නැහැ. එම අඩුපාඩුවට දැන්වත් තිරසාර පිළියම් යෙදිය යුතුයි. මා මහඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේත් ,රජයේ බීජ ගොවිපලේ හා ඊට සම්බන්ධ සියලු ආයතනවල සේවක කාරකාදීන්ගෙන් ඉල්ලා සිටින්නේ බොරු ප්‍රචාරවලට නොරැවටී මෙම ව්‍යාපෘතිය ගැන කරුණු නිවැරදිව සොයා බලා ඒ සඳහා සහයෝගය දක්වන ලෙසයි. කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි වීමක් හෝ මෙම ස්ථානය විදේශ රටකට පාවා දීමක් සිදු නොවන බවට මම සහතික වෙනවා. දුමින්ද දිසානායක මහතා දැඩි සේ අවධාරණය කළේය. 

නව අදහස දක්වන්න