වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් | දිනමිණ

වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක්

අනුර ප්‍රේමලාල්
ඇමති ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා සහ INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ගිවිසුම උවමාරු කරගත් අවස්ථාව .

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය විසින් වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කිරීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර ඇත. එම වැඩසටහන සඳහා සහයෝගීතාව ලබා දෙනු ලබන්නේ INSEE සිමෙන්ති සමාගම විසිනි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (29) පස්වරුවේ කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදුවිය.

ගිවිසුමට අනුව වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය නිලධාරීන් ලෙස පුහුණු කිරීම සඳහා බඳවා ගත් පළමු ශිෂ්‍ය කණ්ඩායම 15 දෙනෙකු වන අතර එම සිසුන්ගේ පුහුණුව සඳහා අවශ්‍ය ලැප්ටොප් ඇතුළු උපකරණ කට්ටල එම සිසුන්ට ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේදී මෙම ශිෂ්‍ය කණ්ඩායමට සම්පූර්ණයෙන් නොමිලේ මාස තුනක පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබාදෙන අතර ඉන් අනතුරුව මාස හයක ක්ෂේත්‍ර පුහුණුවක්ද ලබාදීමට නියමිතය. මෙම සම්පූර්ණ පුහුණු කාල සීමාව වෙනුවෙන් සෑම සිසුවෙකුටම මසකට රුපියල් හත් දහස බැගින් දීමනාවක් ලබාදීමට ද INSEE සිමෙන්ති සමාගම එකඟත්වය පළකර ඇති බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙවැනි පුහුණු පාඨමාලාවකට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීම පිළිබඳව INSEE සිමෙන්ති සමාගමේ පාලනාධිකාරියට සිය ස්තුතිය පුද කර සිටින බව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සව අවස්ථාව අමතමින් අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ රටේ ආර්ථිකය පුළුල් වීම තුළ වැඩබිම් තුළ සිදු වන අනතුරු ප්‍රමාණය ද දිනෙන් දින ඉහළ යන බවයි. එවැනි තත්ත්වයක් හමුවේ සෑම ආයතනයකම පාහේ වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය නිලධාරියෙකු සිටීම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරීමට ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය විසින් NVQ පාඨමාලාවක් හඳුන්වා දීම පිලිබඳව ද අමාත්‍ය සෙනෙවිරත්න මහතාගේ ඇගයීමට ලක්විය.

මෙම උත්සවයට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් නිමල් සරණතිස්ස, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා අමරසිංහ සහ INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...