කොට්ඨාසයට වගකියන උගතුන් පත්කළ හැකිවීම ජයග්‍රහණයක් | දිනමිණ

කොට්ඨාසයට වගකියන උගතුන් පත්කළ හැකිවීම ජයග්‍රහණයක්

ස්වර්ණා විජේකෝන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ රටට ලබා ගැනීමට හැකිවූ ආසන්නම ජයග්‍රහණය නම් මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය යටතේ කොට්ඨාසයට වගකියන උගත් බුද්ධිමත් වැදගත් පුද්ගලයින් පත්කර ගැනීමට අවස්ථාව උදාවීම බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

මනාප ක්‍රමය යටතේ මුදල් බලය යොදවමින් හොරුන්, මැරයින්, දූෂිතයින් දේශපාලනයට පිවිසි බවත් කොට්ඨාස ක්‍රමය යටතේ කොට්ඨාසයට වගකියන සුදුස්සන් පත්කර ගැනීමේ හැකියාව ඡන්ද දායකයින්ට හිමිවන බවත් ඇමැතිවරයා පැවසීය.

ඇමැති මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත්, මහවැලි රාජ්‍ය ඇමති මහින්ද අමරවීර මහතා- ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ පමණක් නොව මෙරට පක්ෂ දේශපාලන ඉතිහාසයේ පැවැති අති දැවැන්තම පක්ෂ සංවත්සරය මෙවර පවත්වනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වූවාට පසුව 64 වැනි සංවත්සරය පොලොන්නරුවේදීත්, 65 කුරුණෑගලදීත් පැවැත්වූවා. එම සංවත්සර දෙකටම වඩා ජන සහභාගීත්වයක් සහිතව මෙවර සංවත්සරය පැවැත්වීමටයි අපි සූදානම් වන්නේ. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම්, සියලු ජන සහභාගීත්වය මෙවර සංවත්සරයට හිමි වෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර ජනතාවත් මෙවර සංවත්සරයට සහභාගී වෙනවා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අපගේ පක්ෂය නිර්මාණය කළේ පංච මහා බලවේග ඒකරාශි කරමින්. ඒ බලවේග සමඟ තවත් බලවේග රැසක් මෙවර එක් වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය අවසන් වීමත් සමඟ ම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අපි ආරම්භ කරනවා.පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීම, බල මණ්ඩල පිහිටුවීම, කාන්තා, තරුණ බල මණ්ඩල ශක්තිමත් කිරීම ආදි සියලු කටයුතු පක්ෂ සංවත්සරය අවසන් වීමෙන් පසුව සිදුකරනවා. ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතීත්වය භාර ගැනීමෙන් පසුව පක්ෂය පිරිසිදු කර ඉදිරියට ගෙනයා යුතුය යන මතය දැරුවා. එතුමා පක්ෂයේ මෙන්ම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගත්තා. එතුමාට අවශ්‍ය පිරිසිදු ආණ්ඩුවක් ගෙන යාමටයි.

ඇත්තටම ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් ලෙස මේ රජය නියෝජනය කරන්නට ලැබීම ගැන එක් පැත්තකින් අපි සතුටු වෙනවා. මොකද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ රටට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකිවී තිබෙනවා.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාත්‍යන්තරය සමඟ පවතින සම්බන්ධතාව මත යුද අපරාධ චෝදනා වලින් මිදීමට අපට හැකි උනා. අද අපට විදුලි පුටු බිය නැහැ. ජිනීවා මානව හිමිකම් කොමිසම අපට එල්ල කළ චෝදනා අද පුස්සක් බවට පත්ව තිබෙනවා.

තවත් විශේෂ ජයග්‍රහණයක් තමයි.පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත සම්මත කර මනාප ක්‍රමය ඉවත් කර කොට්ඨාසයට වගකියන මන්ත්‍රීවරයකු පත්කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය වටපිටාව සැකසීමට හැකිවීම. පළාත් පාලන පනත සම්මත උනේ 2012දී . නමුත් එයට අවශ සංශෝධන ගෙනල්ල, සීමා නීර්ණ කටයුතු අවසන් කරලා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි වාතාවරණය සකස් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. නමුත් ඇතැම් අය කියන්නට උත්සාහ කරන්නේ අපගේ රජය විසින් මැතිවරණය ප්‍රමාද කරන බවයි. නමුත් ඇත්ත එය නෙවෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ දැඩි උත්සාහය, කැපවීම නිසා අපට හැකිඋනා කුඩුකාරයින්, මැරයින්, පාතාල සාමාජිකයින්ගෙන් තොර දේශපාලන ක්ෂේත්‍රයට සුදුසු පුද්ගලයින් තෝරා මැතිවරණ ව්‍යාපාරය පවත්වන්නට‍.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය අවසන් වූ වහාම අපි පක්ෂයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම වෙනුවෙන් ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු අවශ්‍ය සියලු කාර්යයන් ඉටුකිරිමට අපේක්ෂා කරනවා. 

නව අදහස දක්වන්න