අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය සුරැකීමට පියවර ගත්තා | දිනමිණ

අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය සුරැකීමට පියවර ගත්තා

කමනි අල්විස්

නීතිපති සහ අධිකරණ පද්ධතිය විධායකය ය‍ටතේ පවත්වාගෙන යමින් තමන්ට රිසි සේ ඒවායේ කටයුතු මෙහෙයවපු යුගය නිමා කරමින් නීතිපති සහ අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පියවර ගත් බව අධිකරණ සහ විදේශ රැකියා කටයුතු ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය ඊයේ (31) පැවසුවාය.

නීතිපතිට හෝ බැඳුම්කර කොමිසමට කිසිම බලපෑමක් සිදුකර නැති බවත් පැවසූ ඇමැතිනී නීතිඥ අතුකෝරල මහත්මිය කිසිම කාරණයක් යටපත් කිරීමට රජය පියවර නොගන්නා බවත් පැවසුවාය.

නීතිපති දෙපාර්තමේන්තුවට ගොනුවක් ලැබූ වහාම ඒ ගැන ක්‍රියා කිරීමට නීතිපතිවරයාට නොහැකි බවත් ලැබුණ ගොනුව සම්බන්ධව නීතිමය අධ්‍යයනයක් සිදුකළ යුතු බව පැවසූ ඇමැතිනී නීතිඥ අතුකෝරල මහත්මිය ඒ බව ඕනෑම බුද්ධිමතෙකු පැහැදිලිව දන්නා කාරණයක් බව ප්‍රකාශ කළාය.

ඇමැතිනී නීතිඥ අතුකෝරළ මහත්මිය මේ බව පැවසුවේ අධිකරණ අමාත්‍යාංශයේ ඊයේ (31) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබාදෙමින්ය. අධිකරණ ඇමැති ධුරයේ වැඩ භාරගත් ඇමැතිවරිය අනතුරුව මාධ්‍යවේදීන් හමුවෙමින් ඔවුන් නැඟූ ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබා දුන්නාය.

මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න හා ඇමැතිනී නීතිඥ අතුකෝරල මහත්මිය ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - රටම දන්නා ෆයිල් අසූතුනකි. ඒ ගැන නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා පියවර මොනවා ද? හිටපු ඇමැති ආචාර්ය විජයදාස මහතාට තිබුණ චෝදනාවන් වන්නේ එම ෆයිල් සම්බන්ධවයි.

පිළිතුරු - එම ෆයිල් පිළිබඳ අධ්‍යයනයක් සිදුකර ඉන්පසු නඩු පැවරීම කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් සිදුවී නෑ. එම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට සේවක පිරිස වැඩිකළ යුතුයි. යටිතල පහසුකම් ඇතිකළ යුතුයි. ප්‍රායෝගික ගැටලු විසඳාගෙන ඉදිරියට යාම කළ යුතුයි. හිටපු ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතාට ඔය කියන චෝදනාවක් තිබුණ බව අප දන්නේ නෑ.

රාජපක්ෂ යුගයේත් නීතිපති දෙපාර්තමේන්තුව තිබුණ. එදා කොහොමද මෙහෙයවූයේ කවුරුත් ඒ ගැන කථා කළේ නෑ. එදා මාධ්‍යවේදීන්ට නිදහස තිබුණ ද කථා කරන්න. අදහස් ප්‍රකාශ කරන්න. වර්තමානයේ එහෙම නෑ. පොලිතින් තහනමට පවා උද්ඝෝෂණ කරනවා. උද්ඝෝෂණ කරමින් නිදහස් අදහස් පවසන්න වාර්තමාන රජය පරිසරය නිර්මාණය කර දී තිබෙනවා.

ප්‍රශ්නය - ගොඩගැසී තිබෙන ප්‍රශ්නගත නඩු ඇසීමට වෙනම අධිකරණයක් පත් කරනවා ද?

පිළිතුර - එය අගවිනිසුරුතුමා විසින් සිදු කළ යුතු කාර්යයකි. ඔන්න ආණ්ඩුව අධිකරණයක් දාලා ඒ අයට ඕන අයට දඬුවම් දෙනවා කියලා කියන්නත් සමහරුන්ට පුළුවන්.

ප්‍රශ්නය - ඔබතුමියට ‍‍චෝදනා තිබෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පිළිතුර - හොර කල්ලිය මට පමණක් නොව ජනාධිපතිතුමාට, කබීර් හෂීම්, මලික් ඇතුළු අප සැවොම වෙත විවිධ අසත්‍ය චෝදනා ගෙන එනවා. හොර කල්ලිය එකතුවී සිදුකළ හොර වංචා දූෂණ අප්‍රමාණයි. ඒවා යටපත් කරමින් අසත්‍ය පතුරනවා.

ප්‍රශ්නය - විමල් වීරවංශ මහතා‍ත් ඔබතුමියට චෝදනා කරනවා.

පිළිතුර - මාධ්‍යවේදීන්ව ඝාතනය කරපු මාධ්‍යට අසීමිත වාරණ පනවපු විනිසුරුතුමන්ලාට දුරකථන ඇමතුම් දෙමින් නීතිය හෑල්ලුවට ලක්කරපු සිරස වැනි මාධ්‍ය ආයතනවලට පහරදුන් උදවිය තමයි අසත්‍ය චෝදනා තවත් අයට එල්ල කරන්නේ.

ප්‍රශ්නය - රණවිරුවන් ජාත්‍යන්තරයට ගෙන යන ගිවිසුමක් තියනවා. මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට චෝදනාවක් එල්ලවී තියෙනවා. විදුලි පුටු නෑ කියලා ඔබලා බලයට ඒමට පෙර ප්‍රකාශ කළා.

පිළිතුරු - දේශපාලන වාසි ගැනීමට විදුලි පුටුව ගැන කිව්වේ කවු ද? මහින්ද රාජපක්ෂගේ මැතිවරණ තුරුම්පුවක් නේද? ගිවිසුම ගැන අපි දන්නේ නෑ. දැකලත් නෑ. එහෙම දෙයක් නෑ. මේජර් ජෙනරාල් ජයසූරිය සමඟ කථා කර ප්‍රශ්නයක් ඇත්නම් දැනගත යුතුයි. මේ රට බේරාගැනීමට ජීවිත පූජාවෙන් කටයුතු කළ රණවිරුවන් කිසිවිටකත් පාවා දෙන්නේ නෑ. රණවිරුවන් යොදවාගෙන දේශපාලන වාසි ගැනීමට වත්මන් රජය කිසිවිටකත් ක්‍රියා කරන්නේ නෑ.

හිටපු අධිකරණ ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් නැඟූ විවිධ ප්‍රශ්න හමුවේ ඇමතිනිය මෙසේ පැවසුවාය.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් සිදුවීම හේතුවෙන් එතුමා ඇමැති ධුරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් සිදුවිය. හම්බන්තොට වරාය සම්බන්ධව අවශ්‍ය නිර්දේශ නීතිපති උපදෙස් ලබාගෙන ඉදිරියට ගෙනයාමේදී එක් පුද්ගලයකුට තනි මතයකට යාමට නොහැකිය. හිතවත් ඇමැතිතුමා තමන්ගේ මතය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. එකඟත්වයක් නැතිව සාමූහික විශ්වාසය පළුදුවීම නිසා තනතුරින් ඔහු ඉවත් කිරීමට සිදුවුණා.

ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා තිබෙනවා තලතා දේවි දිහා බලාගෙන ඉන්නවා කියලා.

පිළිතුර - මම හරි කැමතියි.

ප්‍රශ්නය - ඔබතුමිය පළමුවන කාන්තා අධිකරණ ඇමැතිවරියයි. එවන් තනතුරක් ලැබීම ගැන ඔබතුමිය ‍දරන මතය.

පිළිතුර - අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයකු ලෙස කාන්තා නියෝජනය සෑම ක්ෂේත්‍රයකම පුළුල්ව ඇතිවිය යුතු යැයි මතයේ සිටින කෙනෙකි.

පළාත් පාලන ආයතනවල අඩුමතරමින් එක් කාන්තා නියෝජනයක්වත් ඇතිවිය යුතු බවට 2006දී ප්‍රකාශ කෙළේ අගමැතිතුමායි. එය එලෙසම අප පක්ෂය ක්‍රියාත්මක කළා. අගමැතිතුමා අප සැවොම හොඳින් හඳුනා‍ෙගන ක්‍රියාකරන්නෙකි.

අවශ්‍ය සෑම අවස්ථාවකදීම ආරක්ෂාව ලබාදෙමින් නීති උපදෙස් ලබා දෙමින් අපව දැනුවත් කරනවා. එය අපගේ කාර්යභාරය මැනවින් ඉටු කිරීමට රුකුලක්.

අධිකරණ ඇමැති ධුරයට තමන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ස්තුතිය පළ කිරීමටත් ඇමතිනී නීතිඥ අතුකෝරල මහත්මිය අමතක නොකළාය.

අධිකරණ නියෝජ්‍ය ඇමැති නීතිඥ දුෂ්මන්ත මිත්‍රපාල මහතාගෙන් මාධ්‍යවේදීන් හිටපු ඇමැති ආචාර්ය රාජපක්ෂ මහතා පිළිබඳව විමසූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ පැවසීය. සාමූහික වගකීමක් කැඩීම එතුමාට තිබෙන චෝදනාවයි. අධිකරණ ඇමැති ධුරය දැරූ කාලයේදී ඉතා හොඳින් ඇමති ධුරයේ වගකීම ඉටුකළා. එතුමා වැනි ඇමැතිවරයකු සමඟ සේවය කිරීමට ලැබීම සතුටට කාරණයකි.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද මේ අවස්ථාවට සහභාගි විය. 

නව අදහස දක්වන්න