හිටපු ජනපති හම්බන්තොට එක් අයකුට ලක්ෂ 15ක් ආයෝජනය කළා | දිනමිණ

හිටපු ජනපති හම්බන්තොට එක් අයකුට ලක්ෂ 15ක් ආයෝජනය කළා

උපාලි කරුණාරත්න

රටේ අනෙක් පළාත්වල එක් අයකුට ආයෝජනය කෙළේ 75000 යි

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තම පාලන කාලය තුළ හම්බන්තොට එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ පහළොවකුත් රටේ අනෙක් පළාත්වල පුද්ගලයෙකුට රුපියල් හැත්තෑ පන්දහසකුත් ආයෝජනය කර ඇති බවත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

අප්පච්චීගේ ක්‍රියාවන් මේ ආකාරයෙන්දැයි හෙළ උරුමය ප්‍රශ්න කර සිටින බවද හෙතෙම පැවසීය. සංවර්ධනයේ ප්‍රතිලාභ සැමට එක සේ බෙදී යා යුතුයයිද පැවසූ ඇමැතිවරයා පවුලට, ගමට පමණක් කරන යුගය වෙනුවට රටේ සැමට සමව සලකන යුගයක් අවශ්‍ය යයිද පැවසීය. එවැනි තත්ත්වයක් රට තුළ උදා කිරීම සඳහා වත්මන් ආණ්ඩුවට ජනවරම ලැබූණ බවද කී පාඨලී චම්පික රණවක මහතා මහින්ද රාජපක්ෂ මහතා එදා සංවර්ධනය කළේ එකට විස්ස අනුපාතයට යැයිද කීය. මෙවැනි පුද්ගලයින් යළි බලයට ගෙන ඒමට උත්සාහ කරන්නේ දැයි ජනතාවගේන් අසන බවද ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ඊයේ(31) බත්තරමුල්ල හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

‘මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණියේ 2005 වර්ෂයේ. එතැන් සිට පාලනය අවසන් වනතුරු කාලය තුළ රජය ප්‍රාග්ධන ආයෝජන කර තිබෙනවා රුපියල් බිලියන දෙදහස් හාරසීයක්. එයින් නවසියක්ම යොදවා තිබෙන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කයට. මෙහි ජනතාව ලක්ෂ හයයි. එතුමා තමන්ගෙ ගමේ එක පුද්ගයෙකුට ලක්ෂ පහළොව ගණනෙ ආයෝජනය කර තිබෙනවා. අනෙක් ප්‍රදේශ වලට ජනතාවට අයෝජනය කෙළේ එක් පුදගලයෙකුට රුපියල් හැත්තෑ පන් දහසයි. අපි අහන්නෙ අප්පච්චිගෙ හැටි ඔහොමද කියා‘ යනුවෙන් යයි ඇමැතිවරයා කීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...