විදෙස් හමුදා සමඟ ගිවිසුම් නෑ | දිනමිණ

විදෙස් හමුදා සමඟ ගිවිසුම් නෑ

ශිරෝමි අබයසිංහ

ශ්‍රී ලංකාව තුළ කිසිම විදෙස් හමුදාවක් ස්ථාපිත නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙරට වරාය හා ගුවන් තොටුපළ ආරක්ෂා කිරීමේ වගකීම සියලු කටයුතු භාරව සිටින්නේ ශ්‍රී ලංකා හමුදාව බව අවධාරණය කළ අගමැති වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රජය කිසිම විදෙස් හමුදාවක් සමඟ ගිවිසුමකට එළැඹ නොමැති බව ද පැවැසීය.

ඇතැම් අය හමුදා කඳවුරක් යැයි කියන හම්බන්තොට වරාය ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් සංවර්ධනය කිරීමට තීරණය කළ බව කී අගමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය කිසිදු රටක් සමඟ හමුදාමය සන්ධානයකට ඇතුළු නොවන බවත්, එසේම රටතුළ විදෙස් රටක කඳවුරු ඇති කර ගැනීමට ඉඩ නොදෙන බවත් පැහැදිලිව ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් මිත්‍ර රටවල් සමඟ පුහුණුවීම්, උපකරණ සැපයීම් හා බද්ධ අභ්‍යාසවලට සහභාගි වීම් වැනි හමුදාමය සහයෝගීතාවලට තවදුරටත් සහභාගි වන බව කී වික්‍රමසිංහ මහතා අපේ වරාය හා ගුවන් තොටුපොළවල හමුදාමය ක්‍රියාමාර්ග සඳහා අවසර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවට පමණක් බවත් එමෙන් අපේ වරාය වාණිජ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා පමණක් විදේශීය පෞද්ගලික ආයෝජකයන් සමඟ ද ක්‍රියා කරන බව ද වැඩි දුරටත් කීය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (31) ආරම්භ වූ ඉන්දියා සාගර සමුළුවේ ආරම්භක දේශනය පවත්වමිනි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...