මහින්දානන්දට එරෙහි නඩුව නොවැම්බර් 20-21 විභාගයට | දිනමිණ

මහින්දානන්දට එරෙහි නඩුව නොවැම්බර් 20-21 විභාගයට

නෙල්කා මැදගෙදර

ඉකුත් රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ අවධියේ උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මුදලකින් රුපියල් මිලියන 27ක් වටිනා නිවසක් කොළඹ 07, කින්සි පාර ප්‍රදේශයෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ (31) දින නියම කෙළේය.

ඒ අනුව එම නඩු විභාගය ලබන නොවැම්බර් මස 20 සහ 21 දිනවල සිදු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් තීරණය කරන ලදී.

2012 ඔක්තෝබර් මස 30 වැනිදා හා 2013 අප්‍රේල් මස 20 වැනිදා අතර කාලයේදී ක්‍රිස්ටෝපර් රොෂාන් නමැත්තාගෙන් රුපියල් මිලියන 27ක් වටිනා නිවසක් බොරැල්ල කින්සි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

එම නිවස මිලදී ගැනීම සඳහා මුදල් සොයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙමගින් අධිචෝනා නගා ඇත. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ කාන්චන රත්වත්තේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න