අධිකරණය මඟ හැරි අන්තරේ 2කට වරෙන්තු | දිනමිණ

අධිකරණය මඟ හැරි අන්තරේ 2කට වරෙන්තු

සුභාෂීණී සේනානායක

අධිකරණ නියෝග කඩ කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට කැඳවූ විට එහි පෙනී නොසිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සනත් බණ්ඩාරට සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (31) යළිත් වරක් වරෙන්තු නිකුත් කළාය.

රක්ෂිත භාරයේ පසුවන වෛද්‍ය පීඨ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රයන් ජයලත් යන සැකකරු ඊයේ දින මාලිගාකන්ද අධිකරණයේ පෙනි සිටින බවට බන්ධනාගරය මගින් අධිකරණයට දැනුම් දුන් අතර ලබන 7දාට සැකකරුට අධිකරණයේ පෙනි සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළේ කොල්ලුපිටිය පොලිස් ස්ථානය මගින් ගොනු කළ නඩුවක් කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුවට අදාළ රුවන් සිතාර යන සැකකරු මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම ගැන මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් ප්‍රශ්න කළ අතර සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලබා දී ඇති ලිපිනයේ සැකකරු පදිංචිව නැති බවට පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව එවැනි සැකකරුවෙක් නොමැති බව ප්‍රකාශ කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා කියා සිටියේ සිද්ධියට අදාළ සැකකරු කවුරුන්දැයි හඳුනාගෙන ඇත්තේ නම් අදාළ විශ්වවිද්‍යාලයට ගොස් තොරුතරු ලබා ගැනීම සිදු කළ යුතු බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, රයන් ජයලත්, සනත් බණ්ඩාර, හරිත ලක්මාල්, රෝෂාන් ප්‍රියසංජන, කෝෂිලා හංසමාලි, දිනේෂ් මධුරංග, පබසර ධර්මරත්න, තැම්පිටියේ සුගතානන්ද හිමි, සූරිය වැවැ සුසීල හිමි, රත්කරව්වේ ජිනරතන හිමි, මාගල්ලේ රාහුල මඩුගල්ලේ බුද්ධරක්ඛිත හිමි සහ රුවන් සිතාර යන අයට එරෙහිව නඩු පවරා ඇත. 


නව අදහස දක්වන්න

Or log in with...