විශ්වාසභංගයක් මට ගෙනාවේ දූෂණ මිනීමැරුම් යටගහන්න | දිනමිණ

විශ්වාසභංගයක් මට ගෙනාවේ දූෂණ මිනීමැරුම් යටගහන්න

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

20 වන සංශෝධනය මූලික කර ගනිමින් පළාත් සභාවන්හි ඇතිවී තිබෙන ව්‍යාකූල දේශපාලන වාතාවරණයට හේතු මොනවාද? රජයේ නිලධාරීන්ගේ ඡන්ද අයිතිය කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කරන්නේ ඇයි? විශ්වාසභංගයක් ඉදිරිපත් වීමට බලපෑ හේතු මොනවාද? ඊට මුහුණ දීමේ සූදානම කෙසේද? සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිහමුවට එක්වෙමින් ඉහත ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු සපයයි.

* ජනතාවගෙන් තඹ සතයක්වත් හොරකම් කරල නැහැ
* විශ්වාසභංගය ඉක්මන් කරන්න ඉල්ලීමක් කළා
* විස්සෙ වාසි ගැන පළාත් සභාවලට අවබෝධයක් නැහැ

ඒකාබද්ධ විපක්ෂයෙන් ඔබට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට මුහුණ දීමට ඇති සූදානම කොහොමද?

ඕකට අමුතුවෙන් සූදානමක් අවශ්‍ය නෑ. මම මගේ ස්ථාවරය ප්‍රකාශ කරලා ඉවරයි. මට එරෙහිව මෙවැනි දෙයක් ඉදිරිපත් කරන්න මේ අයට කරුණු දෙකක් තියනවා. එකක් තමයි ඔවුන් කරපු මිනීමැරුම් හා මහා පරිමාණ වංචා දූෂණවලට එරෙහිව මා ගෙනයන අරගලය. මේ අය මෙච්චර කල් හිතාගෙන හිටියේ ඔවුන් කරලා තියන නීති විරෝධී දේවල් පිළිබඳව ක්‍රියා කරන්න අපිට කාලපරාසය මදි කියලයි. ඒත් අපි කරගෙන ගිය අරගලය නිසා හිටපු අධිකරණ ඇමැතිවරයා ඉවත් කිරීම ඔවුන්ට දරාගන්න බැරි වුණා. ඒ නිසා ඔවුන් දන්නවා දැන් අපි මේ නඩු කටයුතු ඉතා ඉක්මනින් සක්‍රීය කරලා ඉදිරියට ගෙන යයි කියලා. ඒ වෛරය තමයි පළවෙනි හේතුව.

දෙවැනි හේතුව තමයි ඇත්තටම ඔවුන් හිතනවා ඔවුන්ගේ හොරකම් හා නීති විරෝධී ක්‍රියා හෙළිදරව් කරන පුද්ගලයට හොරා කිව්වොත් ඔවුන්ගේ හොරකම් පිළිබඳ තිබෙන අවධානය අඩු වෙයි කියලා. මෙන්න මේ කාරණා දෙක උඩ තමයි ඒ අය තීරණය කරන්නේ මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න. මේ රටේ මහජනතාවගේ මුදල්වලින් මම එක තඹ දොයිතුවක්වත් පරිහරණය කරලා නෑ. මේ රටේ ජනතාවට එක තඹ සතයක්වත් පාඩුවෙන විදියට මා කිසි දවසක තීන්දුවක් අරනුත් නෑ. මේ රටේ ජනතාවට යම් ලාභයක් වෙන තීන්දු තීරණ තමයි මං මගේ ජීවිත කාලය පුරාවටම අරන් තියෙන්නේ. ඒ නිසා මේ චෝදනා පිළිබඳව දීර්ඝව අවශ්‍ය වෙලාවට මට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ විශ්වාසභංගය දෝෂ සහිත බවත් එය න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන බවත් මේක හදලා තියෙන්නේ ගොඩ පෙරකදෝරුවන් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා කියනවා නේද?

මං අගමැතිතුමාගෙනුයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාගෙනුයි ඉල්ලන්නේ හැකි ඉක්මනින් මේ විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගන්න කියලයි. පුළුවන්නම් ලබන 05 වැනිදාම මේක විවාදයට ගන්න කියලයි මං කියන්නේ. මොකද ලබන 06 මං ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයට යන නිසා. නමුත් 05 වැනිදා පෝය දවසක්. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා මට කතා කරලා කිව්වා මේක විවාදයට ගන්න විදියක් නෑ මේකෙ නීතිමය ප්‍රශ්න ගණනාවක්ම තියන බව. උසාවිය ඉදිරියේ තියන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න බෑ. මේ යෝජනාව වැරදි විදියට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.

මේ වගේ විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඇත්තේ කුමන කරුණක් නිසාද?

හොරුන් තක්කඩියන් මොන යෝජනාව ගෙනාවත් මේ රටේ මහජනතාව දන්නවා මං කවුද කියලා. ඒ වගේම මේ රටේ පොදු ජනතාව දන්නවා මං සෞඛ්‍ය ක්ෂේත්‍රයට කොයි තරම් කාර්යභාරයක් කරලා තියනවාද කියලා. මං මේක බාරගන්න කොට එක පිළිකා රෝගියකුට වෙන් කරලා තිබුණේ රුපියල් ලක්ෂ පහළොවක්. එක එන්නතකට රුපියල් දෙලක්ෂ අසූදාහක් යනවා. එන්නත් පහක් ගන්නකොට එයාගේ කෝටාව ඉවරයි. එතකොට ඒ පිළිකා රෝගියාට ඉන් පස්සේ උරුම වෙන්නේ මරණය පමණයි. අද ඒ අයට ජීවත්වන කාලසීමාව පුරාවට අපි ඖෂධ නොමිලයේ ලබා දෙනවා. සීමාවක් නෑ. අද බොහෝ රෝගීන්ට අපි රුපියල් ලක්ෂ එකසිය පනහ එකසිය අසූව ආදී වශයෙන් වියදම් කරලා තියනවා. ඒ රෝගීන් අද ජීවත්වෙනවා. අපේ වැඩපිළිවෙළ නැතිනම් මේ රෝගීන් මිය ගිහින්. මේක මොන තරම් පුණ්‍යකර්මයක්ද? හෘද රෝගීන්ගේ ‘ස්ටෙන්ත්’ නොමිලයේ දෙන්න මං තීන්දු කළා ඇයි. ස්ටෙන්ත් තුනක් දානවා කියන්නේ මිලියනයක් විතර වියදමක්. මෙහෙම මිලියනයක් වියදම් කරන්න පුළුවන් රෝගීන් කී දෙනයිද ඉන්නේ. නමුත් මං ගන්න තීරණ නිසා ඒ අයට අද මේ පහසුව ලැබෙනවා. මේක නිදහස් සෞඛ්‍ය සේවයේ මොන තරම් පුණ්‍යකර්මයක්ද?

එතකොට ඇස් නොපෙනෙන අය දසදහස් ගණනක් ඉන්නවා. ඒ අයට අක්ෂි කාචයක් මිලදී ගන්න එදා රුපියල් තිස්දාහක් පමණ වියදම් වුණා. ඇස් දෙකටම කාච දාන්න රුපියල් හැටදාහක් යනවා. මේ සියලුම දේ අද මේ අයට නොමිලයේ ලැබෙනවා. ඒ නිසා කිසිම රස්තියාදුවක් නැතිව රෝහල්වලින් මේ කාච ලබා ගන්නවා. ඒ වගේ වසරකට අසූනවදාහක් අක්ෂි ශල්‍යකර්ම සිදු කරනවා. දැන් මං හිතන්නේ මේ ප්‍රමාණය ලක්ෂය එක්ලක්ෂ පනස්දාහ දක්වා වැඩිවෙලා ඇති. මේක කොච්චර දෙයක්ද?

එදා රුධිර පරීක්ෂණ බොහෝ දේවල් කළේ පුද්ගලික අංශයෙන්. නමුත් රසායනාගාර තියන හැම රෝහලකටම මං රුධිර පරීක්ෂණ යන්ත්‍රයක් ලබාදීලා නොමිලේ රුධිර පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ නිසා රුධිර පරීක්ෂණ පමණක් සියයට පනහකින් වැඩිවෙලා තියනවා. මේ නිසා අහිංසක ජනතාවගේ මුදල් කොපමණ ප්‍රමාණයක් ඉතිරි වෙනවද?

රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියනවා. මොනරාගල තංගල්ල වගේ රෝහල් උදාහරණ ලෙස දක්වමින් ‍බේත් හිඟයක් පවතින බව ඔහු කියනවා නේද?

මං මේ අමාත්‍යාංශය බාර ගනිද්දි දිනකට ඖෂධ හතළිස් හතරක් හැත්තෑ නමයත් අතර හිඟයක් තිබුණා. අද කිසිම ඖෂධයක් හිඟ නැහැ. මොනරාගල, තංගල්ල රෝහල්වල වෛද්‍ය අධිකාරිවරුන්ම මට ලිඛිතවම දන්වලා තියනවා ඒ රෝහල්වල කිසිම ඖෂධ හිඟයක් නෑ කියලා. වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා කියලා තියනවා ලංකාවේ කිසිම රෝහලක ඖෂධ හිඟයක් නෑ කියලා. හිඟයකින් තොරව රෝගීන්ට අවශ්‍ය සියලුම ඖෂධ රජයේ ‍රෝහල්වලින්ම ලබාගැනීම රෝගීන්ට මොනතරම් නම් සහනයක්ද?

ඒ විතරක් නෙවෙයි මේ ක්‍රමවේදය නිසා ඔසුසල් හිමියන්ගේ සංගමය කියනවා ඔවුන්ගේ වෙළෙඳාම හරි අඩකින් පහළ වැටිලා කියලා. මොකද රජයේ රෝහල්වලින් දැන් තුණ්ඩු අරන් බෙහෙත් ගන්න ඔසු සල්වලට එන්නේ නෑ. රෝහල්වලින්ම මේ බේත් හිඟයකින් තොරව නොමිලයේ සපයනවා. මේවා තමයි මට එරෙහිව විශ්වාසභංගයට හේතු.

ඊට අමතරව මේ රටේ විශාල ඖෂධ මංකොල්ලයක් තිබුණා. අත්‍යාවශ්‍ය ඖෂධ හතළිස් අටක මිල අපි ඉතාමත් පහළ මට්ටමකට ගෙනාවා. රුධිර පීඩනය සඳහා භාවිත කරන පෙත්තක මිල රුපියල් දෙසිය අනූවේ සිට රුපියල් විසිනවය දක්වා අඩුකර තිබෙනවා. දියවැඩියාවට ගන්න පෙත්තක් රුපියල් විසිදෙකයි පනහේ සිට රුපියල් හතරයි පනහ දක්වා අඩුකර තිබෙනවා. ගැස්ට්‍රික්වලට ගත්ත පෙත්ත රුපියල් හාරසීයේ සිට තුන්සිය දක්වා අඩු කරලා තියෙනවා. පැනඩෝල් පෙත්ත රුපියල් තුනේ සිට එකයි පනහ දක්වා අඩුවෙලා තියනවා. අත්‍යාවශ්‍ය සියලුම බේත් මිල අඩු කිරීම නිසා මේ ඖෂධ සමාගම් මා සමඟ උරණවෙලා ඉන්නවා. මේ විශ්වාසභංග පිටුපස ඉන්නේ ඔය කියන ඖෂධ සමාගම්. මේ තරම් විශාල ප්‍රමාණයකින් බේත් මිල අඩු කළ යුගයක් ලංකාවේ තිබුණද කියා මං අහන්න කැමතියි. ලෝකයේ කොයි රටේද ‍මෙතරම් බේත් මිල අඩු කළේ.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පළාත් සභාවලින් ලැබෙන ප්‍රතිචාරය ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඒ ප්‍රතිචාරය ව්‍යාකූලයි. අනික් එක ඒ පළාත් සභාවල මන්ත්‍රීවරුන් දන්නේ නෑ මොකක්ද මේකේ තියෙන්නේ කියලා. එයාලට ඕනෑ ආණ්ඩුව ගේන හොඳ වුණා හෝ නරක වුණා හෝ ඕනෑම තීන්දුවක් පරාජය කිරීමයි. එක්තරා මන්ත්‍රීවරයෙක් බොහෝම උජාරුවෙන් මහින්ද මහත්තයට කියලා තියෙනවා ඔන්න අපි පරාජය කළා කියලා. පරාජය වුණේ ආණ්ඩු‍ව නොවේ මේ රටේ මහජනයා කියලා එයා දන්නේ නෑ. එක් දිනක සියලු මැතිවරණ පවත්වනවා කියන එක අපේ මැතිවරණ පොරොන්දුවක්.

එස්.බී. දිසානායක ඇමැතිතුමා නම් කියන්නේ විශ්වාසභංගයේදී ඔබතුමාට එරෙහිව ඉදිරිපත් කරලා තියන චෝදනා දෙකක් එතුමට එරෙහිව ඉදිරිපත් විය යුතු ඒවා කියලයි ‍ඇත්තද?

ඔව් ඉතින් සයිටම් පිළිබඳ දේවල් එතුමාට තමයි ඉදිරිපත් කරන්න ඕනෑ. ඒක උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රශ්නයක්. හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් එතුමා එහි වගකීම ප්‍රතිපත්තිමය වශයෙන් බාරගන්නවා.

පළාත් පාලන පනත් කෙටුම්පතට කථානායකවරයා මේ 31 වැනිදා අත්සන් කරනවා. එතකොට පළාත් පාලන මැතිවරණය කවදා දිහාට පැවැත්වෙයිද?

මේ වසර අවසන්වන විට පළාත් පාලන මැතිවරණය පවත්වාවි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුකාරවරයාගේ මහ ඇමැතිවරයාගේ බලතල සීමාවන බවට කියන කතාවල ඇත්තක් තියනවද?

මේ කෙටුම්පත තවම අවසන් නෑ. සැප්තැම්බර් 30 වන විට අවසන් කෙටුම්පත එළිදක්වනවා. ඊට පස්සේ සති දෙකක් දෙනවා පක්ෂවල අදහස් විමසන්න. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍යනම් ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්නේ. අවසන් කෙටුම්පත එළිදකිනතුරු කිසිම දෙයක් නිශ්චිතව කියන්න බෑ. මේක කෙටුම්පත් කරන්න පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වෙනවා. විමල් වීරවංශ මහත්තයාගේ පක්ෂයේ මන්ත්‍රීවරු හැරෙන්නට. පසුගිය කාලය වන තුරුම එතුමා‍ලත් සහභාගී වුණා.

ක්ෂේත්‍ර නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි ලෙස වැටබැඳිම අසාධාරණයි නේද?

මැතිවරණ නිරීක්ෂණය සම්බන්ධයෙන් වූ සිවිල් සංවිධානත් ඊට එයා‍ලාගේ සහාය පළ කරලා තියනවා. මං දැක්කා ග්‍රාම නිලධාරීන්ට සමෘද්ධි නිලධාරීන්ට තමන් සේවය කරන කොට්ඨාසය තුළ මැතිවරණයට තරග කරන්න බෑ. ඒකට හේතුව එතකොට මේ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්ද දායකයන්ට බලපෑම් කරන්න හැකියාවක් නෑ. එවිට නිදහස් ස්වාධීන මැතිවරණයක් පවත්වන්න පුළුවන්. ඊට බාධාවන දේ තමයි මේ සංශෝධනයෙන් ඉවත් කරලා තියෙන්නේ.

මෙතනදී මේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මානව අයිතීන් කඩවීමක් වෙන්නේ නැතිද?

නෑ. එහෙම මානව අයිතීන් කඩවීමක් වෙන්නේ නෑ. මේ ක්ෂේත්‍ර නිලධාරීන්ට දේශපාලනය කරන්න අවශ්‍ය නම් ඔවුන් සේවය කරන කොට්ඨාසයෙන් ඉදිරිපත් නොවී වෙනත් කොට්ඨාසයකින් ඉදිරිපත් වෙන්න පුළුවන්.

අධිකරණයේ බහුතර විනිසුරුවරුන් දූෂිතයි කියා රන්ජන් රාමනායක ඇමැතිතුමා කියලා තියනවා. මේ ප්‍රකාශයට නීතිඥ සංගම්වලින් ලොකු විරෝධයක් තියෙනවා.

රංජන් රාමනායක කියන්නේ ආණ්ඩුව නොවෙයිනේ.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනේ තනතුරක් රවි කරුණානායක මැතිතුමාට ලබාදී තියෙනවා යැයි පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් තියනවාද?

ඔව් එතුමා බොහෝම ප්‍රවීණ දේශපාලනඥයෙක්. දීර්ඝ කාලයක් ඇමැතිධුර දැරූ අයෙක්. මුදල් ඇමැතිවරයෙක්. ඒ වගේ දක්ෂ කෙනෙක් නිකං තියලා වැඩක් නෑ. රටේ සංවර්ධන වැඩකට ඒ වගේ අය දායක කර ගන්න ඕනෑ. ඒක හොඳයි.

ගබ්සාව නීතිගත කරන්න ආණ්ඩුව යම් පියවරක් ගැනීමට සූදානමෙන් සිටිනවාද?

ආණ්ඩුව නෙවේ. විශේෂඥ වෛද්‍යවරු මේ පිළිබඳ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. තවම ඒක අපිට ලිඛිතව ලැබුණේ නෑ. විශේෂඥ සභාවලින් මේ ඉල්ලීම ලිඛිතව ලැබුණු පසු අපි රජයක් ලෙස ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලනවා.

කතෝලික සභාව දැනටමත් මේ සම්බන්ධයෙන් සංවේදී වී ඊට විරෝධය පළ කර තිබෙනවා නේද?

හැමෝටම පුළුවන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න.

යහපාලන ජාතික ආණ්ඩුවේ හෙට දවස කොහොම වෙයි කියලද ඔබතුමා හිතන්නේ.

යහපාලන ආණ්ඩුව දවසින් දවස එන්න එන්නම ශක්තිමත් වෙනවා. දැන් මුලදී තිබ්බටත් වඩා ඉතා ශක්තිමත්. පසුගිය දිනවල ආණ්ඩුවට මැසිවිලි නගපු අය දැන් එහෙම කියන්නේ නෑ.

මේ රජය පිළිබඳ මිනිස්සු විශාල බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්නවා. හොරුන් මිනීමරුවන් නීතිය ඉදිරියට ගෙනවිත් මේ රජය සක්‍රීය ලෙස ඉදිරියට යනවා. ඊට තිබූ බාධක ඉවත් වුණා කියලයි මිනිස්සු හිතන්නේ.

ගාමිණි බණ්ඩාරනායක


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...