දිනෙන් දින අබලන් වන මොරටුවේ වඩු කර්මාන්තය | දිනමිණ

දිනෙන් දින අබලන් වන මොරටුවේ වඩු කර්මාන්තය

උදිත ගුණවර්ධන

වඩු කර්මාන්තය යනු කර්මාන්තයකටත් වඩා කලාවක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. මේ කලාව නැතිනම් කර්මානත්ය රට පුරා පැතිර තිබුණද අපට වඩු කර්මාන්තය කියූ සැනෙන් සිහියට එන්නේ මොරටුවය. මොරටුවේ වඩු කර්මාන්තය අවුරුදු දෙසීයකට කිට්ටු කාලයක සිට පාරම්පරිකව පැවැත එන්නකි.මොරටුවේ මුහුදු කරයේ අය ධීවර කර්මාන්තය වෙත රොද බඳිද්දී නව ගාලු පාර හා මොරටුමුල්ල ප්‍රදේශයේ ප්‍රධාන ජීවන වෘත්තීය බවට පත්වුයේ වඩු වෘත්තියයි. හැට හැත්තෑව අසූව දශකවල මුළු රටටම ලී බඩු සපයන ජාතික ලී බඩු සපයන්නා වුයේ මොරටුවයි.එදා මොරටුව නගරයෙන් මදක් ඔබ්බට ගිය සැණින් ඇසුනේ කියත් ගැටෙන හඬය යතු ගෑවෙන හඬය. එහෙත් අසූව දශකය ඉක්ම ගොස් අනූව, දෙදහස දශක එළඹෙන විට වඩු වෘත්තියට විවිධ බාධා ඇති වුණි ඒනිසා දිනෙන් දින වඩු කර්මාන්තය යොමු වුයේ යහපත් දිශාවට නොව විනාශය දෙසටය. මෙහි අවසාන ප්‍රතිපලය වූයේ මොරටුවේ මහා කර්මාන්තය සහ ප්‍රධාන වෘත්තීය බවට පත්ව තිබූ වඩු වැඩ දෙවන පෙළේ රැකියාවක් බවට පත්වීමය. අදත් මොරටුවේ වඩු මඩු තිබේ වඩු වැඩද කරයි එහෙත් ඒවායේ සිටින වඩු කාර්මිකයා සිටින්නේ සතුටු සිතින් නොවේ. ඔවුනට අනාගතය ගැන නිශ්චිත හැඟීමක් නැත. අලුතින් කිසිවකු වඩු කාර්මිකයකු ලෙස කර්මාන්තයට එකතු වන්නේ නැත. මොරටුවේ සාම්ප්‍රදායික වඩු කර්මානත්යේ ඉරණම අද වන විට ලියැවී ඇත්තේ මේ අයුරිනි.

මොරටුවේ එදා තිබු බොහෝ වඩු මඩු අද වැසී ගොස්ය.තවත් වඩු මඩු සිල්ලර කඩ බවටත් ටයර් කඩ බවටත් පත්ව තිබේ. මොරටුවේ ලී බඩු වෙළෙඳ සල්වල බඩු පිරි තිබුණද අලෙවිය ඇත්තේ අල්ප වශයෙනි. පොදු ව්‍යවහාරයට අනුව කියතොත් අද ලී බඩු සාප්පු බොහොමයක් ඇහිරි ඇත්තේ මැස්සන් ගෙනි. වැසී ගිය වඩු මඩුවල කාර්මිකයෝ අහස පොළොව ගැටලන්නට මෙන් කල්පනා කරමින් සිටින අයුරු දැකීම වේදනාවකි .මහා ආර්ථික ශක්තියක් තිබූ රටම ඇල්ලු මොරටුවේ වඩු කර්මාන්තය මෙතරම් පහළ තැනකට වැටීම විශ්මය ගෙන දෙන්නක් වුවද එය ඒ ආකාරයට සිදුව තිබේ. මේසේ මොරටු වැසියන්ගේ දුක් හඳුනා ගැනීමට යද්දී අපට හමු වූයේ ශාන්ත රුද්‍රිගු මහතාය.“ කියලා වැඩක් නැහැ අපි අද එදා වේල ගැට ගහගන්නේ අමාරුවෙන් අපිට වෙන කර්මාන්තයක් ගැන අවබෝධයක් නැහැ ඒ හින්දා මේකම තමයි අපට කරන්න වෙලා තියෙන්නේ..සමහර දවස්වලට අපි අල්මාරි දෙකක් තුනක් හදනවා ඒත් මේවා විකුණන්න තමයි බැරි. අපි මේවා හැදුවට විකුණන්නේ කඩවල අය ඒ අය කැමැති නැහැ මිල උස්සන්න.ලී වල ගණන් පසුගිය කාලයේදී දෙගුණයක් කිට්ටුව ඉහළ ගියා ඒත් අපට ඒ ප්‍රමාණයට ගාණ වැඩි කරන්න බැහැ. කඩකාරයා කොමිස් එක අඩු කරන්නෙත් නැහැ. අපේ ලාභයෙන් තමයි අඩු වෙන්නේ.“අප සමග කතා කළ ශාන්ත වඩු කාර්මිකයකි. ඔහුගේ වඩු මඩුව අසල මහ පාර අද්දර ඇත්තේ මහ කඳන් තොගයකි.“ මේ කඳන් කාගෙද.? අප විමසුවෙ ශාන්තගෙනි.“ අර ඉන්නේ සිල්ටන් අයියා .අප දුටුවේ මැදිවිය ඉක්මවා ගිය අයෙකි. අප සිල්ටන් මහතා වෙත ළං වූයේ ලී කඳන් ව්‍යාපාරයේ සරු නිසරු කම් ගැන විමසීමටය.“ කොහොමද අයියේ බිස්නස්.? අප විමසුවෙමු. . “ නන්නත්තාරයි කියල වැඩක් නැහැ“ඔහු පිළිතුරු දුන්නේ බැරෑරුම් මුහුණකිනි.“මේ කොටන් අරන් ඇවිත් මාස හයක් වෙනවා තාම එතැනමයි..ඉස්සර නම් සති දෙකට බඩු සේරම ඉවරයි. දැන් එහෙම නැහැ මොනව වෙලාද මන්දා කියන්න දුකයි. අද වෙද්දි වඩු මඩු සිය ගණනක් වැහිලා .ඉතින් කාටද අපි මේව විකුණන්නේ?“ ඔහු අපගෙන් ප්‍රශ්න කළේ හැඟුම්බරවය. ෆර්මිටි ගන්න අමාරුයි ඒ හින්දා අඩුවට ලී දෙන්නත් බැහැ මේ හැම දෙයක්ම මොරටුවේ මේ කර්මානත්යට ලොකු බලපෑමක් කර තියෙනවා.“ සිල්ටන් මහතාට අනුව මොරටුවේ වඩු කර්මාන්ත්යේ අවුලට නිසි විසැඳුමක් දෙන්නට කිසිවකු මෙතෙක් ඉදිරිපත්ව නැත. ඔහු කියන ආකාරයට ඇඳ , පුටු , අල්මාරි , කැබිනට් මුලික කරගත් මෙම කර්මාන්තය අඩාල වුවහොත් දහස් ගණනකගේ ජීවන මග ඇහිරි යනු ඇත. එපමණක් නොව මේ ආම්පන්න වෙනත් රටකින් ආනයනය කිරීමට සිදු වුවහොත් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් එතෙරට ඇදී යාම නොවැලැක්විය හැකිය.මොරටුවේ වඩු කර්මාන්තය ආරක්ෂා කර ගෙන ඉහළ තැනකට ගෙන ආයුත්තේ මේ කරුණු නිසාය.

කර්මාන්තයේ නියැලෙන ධම්මික මොරටුවේ වඩු කර්මාන්තයේ අවුල ගැන දක්වන්නේ වෙනස් අදහසකි.“මහා පරිමාණයේ කර්මාන්ත ශාලා සහ නිෂ්පාදන හින්දා අපේ කර්මාන්තය එහෙම්පිටින්ම වැටුණා.අත්තෙන්ම බාල වර්ගවල ලී දාලා රෙක්සින්වලින් ආවරණය කර ලස්සන නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරනවා මේවා නිෂ්පාදනවල මිළ අඩුයි ඒ නිසා පාරිභෝගිකයො මේවට ආකර්ශණය වෙනවා.ඇත්ත කතාව ඒක තමයි“ඒ නිසා අපට අද වෙන කොට බිස්නස් එක බිමටම වැටිලා ඉවරයි. එදා රජවරු මෙන් දිවි ගෙවුවන් ගේ වර්තමාන තත්ත්වය මෙතරම් පහළ තලයකට වැටි තිබීම කනගාටුදායකය.

ප්‍රේමලතා මහත්මියගේ ජීවන වෘත්තීය බවට පත්ව ඇත්තේ ළමුන්ට අවශ්‍ය කරන භාණ්ඩ අලෙවි කිරීමය. ඩෙස් ,පුටු , සෙල්ලම් අශ්වයන් , සෙල්ලම් කරත්ත මෙන්ම කලු ලෑලිද ඇය අලෙවි කරයි. ප්‍රේමලතා මහත්මිය කියන ආකාරයට ඇය ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ අපහසුවෙනි.ඇය වෙළෙඳාම් කරන කඩය තමාගේ වීමත් සෙල්ලම් බඩු කඩය සමග සිල්ලර බඩු කඩයක්ද පවත්වා ගෙන යාම නිසා ප්‍රේමලතා මහත්මියට ජීවිතය ගත කිරීමට හැකියාව ලැබී තිබේ.“සතියකටම බඩු දෙක තුනයි විකිණෙන්නේ අපේ කඩවලට අද කවුරුත් එන්නේ නැහැ“ඇය ඒ බව කියන්නේ හිතේ දුකක් ගුලි කරගෙනය. ප්‍රේමලතා මහත්මියට මෙන්ම ඇයගේ කඩයට ආසන්නයේ ලී මඩුවක් පවත්වාගෙන යන අමල් පෙරේරා මහතාටද ඇත්තේ මහා දුක්ගැනවිල්ලකි. දරුවන් කිහිප දෙනෙකු පාසල් යැවීමටත් ඔවුන්ගේ නඩත්තු කටයුතු සඳහාත් මුදල් සොයා ගැනීමට තරම්වත් අදවන විට වඩු මඩුවේ ආදායම ප්‍රමාණවත් නොවන බව අමල් කියයි.“ලීවල ගණන් දවසින් දවස ඉහළ යනවා මිනිස්සුත් දැන් බඩු ගන්නෙ නැති තරම්. පාරම්පරික වඩුවො වන අපි වෙන රස්සාවක් කරන්න දන්නෙත් නැහැ. “

අමල් සමග කතාවෙන් පසු අපට මුණගැසුණේ ප්‍රදේශයේ පැරැණිම වඩු කාර්මිකයකු වන ලෙස්ලි මහතාය. ඔහු මුහුණ දෙන්නේ අමුතුම ආකාරයේ ගැටලුවකටය.“ගිය සතියේ රීප්ප කෑල්ලක් පාරෙ පේමන්ට් එකේ තිබුණ කියලා මාව පොලිසියෙන් ඇල්ලුවා. අද රුපියල් 5000 ක දඩයක් උසාවියට ගෙවල ආවේ..මොරටුවේ පොලිසිය නීති දෙකක් ක්‍රියාත්මක කරන්නේ සල්ලි කාරයෙක් නම් මොකුත් නැහැ අහක බලා ගෙන යනවා. අපි වගේ අසරණයන් අහුවුණොත් උපරිම තදින් නීතිය ක්‍රියාත්මක කරනවා..“ “අපේ ගෙවල්වල මිදුලෙ තමයි දැන් පේමන්ට් එක තියෙන්නේ අපිට වැඩක් කරන්න වෙන ඉඩක් නැහැ.. ඉතින් අපි ගැන මීට වඩා මානුෂිකව බලනවා නම් තමයි හොඳ.“ ලෙස්ලි මහතා මෙන්ම ඔහු සමග සේවය කරන ප්‍රියාන් මහතාටද ඇත්තේ එකම ආකාරයේ ගැටලුවකි. මෙවන් ගැටලු සඳහා විසැඳුම් ලබා දීම බලධාරීන් වෙත පැවරි ඇති වගකීමකි. බිඳ වැටි ඇති මොරටුවේ වඩු කර්මාන්තය යම් තරමකට හෝ ආරක්ෂා කර ගත හැක්කේ එවැනි ඉදිරිගාමී සහ මානුෂීය පිළිවෙතක් වෙත බලධාරීන් යොමු වුවහොත් පමණි.

වඩු කර්මාන්තයේ කලාත්මක පැත්ත ලෙස හඳුන්වා දිය හැක්කේ කැටයම් කලාවය. මේ කලාවට දිගු කාලීන අතීතයක් තිබේ. අද වන විට මොරටුවේ ලි කැටයම් කලාවට කප් ගැසු කෙනෙකු වන්නේ ප්‍රියන්ත පෙරේරා මහතාය. පන්සල් , කෝවිල්වල මෙන්ම නිවෙස්වලද ගෘහ අලංකරණ කැටයම් කරන ප්‍රියන්තගේ වෘත්තියද අද වන විට දැඩි පසුබෑමකට ලක්ව තිබේ.“ ඉස්සර වගේ නොවෙයි දැන් ලි‍් ගණන් ඒත් අපිට ගණන් උස්සන්න බැහැ..අනෙක මේ කලාව යන්තම් ඉගෙන ගත්ත අය වැහි වැහැල ඒ අය තුට්ටු දෙකට වැඩ කරනවා ඒත් ඒ අයගෙ කැටයම්වල ෆිනිෂින් එක අන්තිමයි..අපේ ගැටලු ගැන බලන්න වගකිව යුතු කවුරුත් එන්නේ නැහැ මේ වගේ දේවල් හින්දා මේ කලාවට කණ කොකා හඬලා කීවොත් ඒකෙ වරදක් නැහැ..“ ප්‍රියන්තට මෙන්ම මෙම කලාවේ නියැලෙන නිරෝෂන්ට ඇත්තේද එක හා සමාන ගැටලුය.

මොරටුවේ ලී මඩුවල නිර්මාණය වන දේවල් අලෙවියට ගෙන එන්නේ මොරටුමුල්ලේ ලි බඩු සාප්පුවලටය අද වන විට එම ලී බඩු සාප්පුවල තත්ත්වයද කිසිසේත් යහපත් නැත සමහර ආයතන වැසී යාමට ආසන්නය තවත් ඒවා වැසී ගොස්ය. මොන විදිහටක බැලුවත් අද මොරටුවේ වඩු කර්මාන්තයේ පැවැත්මට විශාල අභියෝගයක් එල්ල වී තිබේ. මෙය එක් අතකින් පාරම්පරික උරුමයක් ගිලිහී යාම ගැන කතාවකි තවත් පසෙකින් අහස් ගණනකගේ බඩ වියත රකින රස්සාව අහිමිව යාම ගැන ගැටලුවකි එනිසා මේ ගැන සැම පාර්ශ්වයකම අවධානය කඩිනම්ව යොමු විය යුතුය.එමගින් මොරටුවේ වඩුකම සුරක්ෂිත කළ හැකිය.

ඡායාරුප රංජිත් අසංක 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...