මෙවන් වෙහෙරක් මිහිමත වෙන නැත දැලිවල කොටවෙහෙර | දිනමිණ

මෙවන් වෙහෙරක් මිහිමත වෙන නැත දැලිවල කොටවෙහෙර

රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර
දැලිවල කොටවෙහෙර

සාමාන්‍ය චෛත්‍යයක් පේසා වළලු තුනකින් සමන්විත වුවද,කොටවෙහෙර චෛත්‍යය එක් පේසා වළල්ලකින් පමණක් සමන්විතව තිබූ බව පුරාවිද්‍යාත්මක කැණීම්වලදී හෙළිදරව් වී ඇත.එය එකල හදුන්වා ඇත්තේ ප්‍රදක්ෂිණා පථය ලෙසිනි.

ශ්‍රී ලාංකිකයන් දාගැබ නමින් හදුන්වන ස්ථූප ඉන්දියාව,සියම,කාම්භෝජය ආදී දකුණු දිග ආසියානු රටවල දක්නට ඇත.මෙම ඉදිකිරීම් සදහා බොහෝ විට යොදා ගෙන ඇත්තේ සාමාන්‍ය පොළවට වඩා උසින් පිහිටි කදු මුදුන් වැනි ස්වභාවික අලංකාරයෙන් යුතු ස්ථානයන්ය.මෙම ස්ථුපවල බුදුරජාණන් වහන්සේගේ හෝ වෙනත් රහතුන් වහන්සේගේ ශාරීරික ධාතු නිදන් කර ඇතැයි විශ්වාස කරති.ජීවමාන බුදු සමිදුන් නමදින්නා සේ මහත් ගෞරවයෙන් මෙම ස්ථූපවලට වැදුම් පිදුම් කරන්නේ එබැවිනි.

ලංකාවේ ස්ථූප සැලකීමේදී දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුරජුන්ගේ අකුධාතුව නිධන් කොට කරවන ලද අනුරාධපුරයේ ථූපාරාමය චෛත්‍යය පළමුවෙන් සෑදූ බව සදහන් වේ.එහෙත් බුදුදහම ලක්දිවට වැඩමවීමට පෙර මෙරට ඉදිකළ චෛත්‍ය දෙකක් පිළිබදව තොරතුරු පුරාවෘත්තයන්හි සදහන්ය.බුදුන්ට ලක්දිවදී ප්‍රථම දානය පිළිගැන්වූ තපස්සු, භල්ලුක වෙළෙද සහෝදරයන් දෙදෙනට බුදු හිමියන් දුන් කේශ ධාතු තැන්පත්කර ත්‍රිකුණාමලය සමීපයේ තිරියාය නමැති ප්‍රදේශයේ වෙහෙරක් ඉදිකළ බව පැවසේ.බුදු හිමියන් මහියංගනයට වැඩි ගමනේදී සුමන සමන් දෙවියන්ට දුන් කේශ ධාතු නිධන් කර මහියංගනයේ ඉදිකළ චෛත්‍යයත් ථූපාරාමයට වඩා පැරැණිය.

ලක්දිවට බුදු දහම වැඩම කළ මිහිදු මහ රහතන්වහන්සේ ඉන්දියාවේ හැදුණු වැඩුණු පරිසරයේදී දක්නට ලද සාංචි හා භාරුත් ස්ථූපයන් අනුකරණය කර ලංකාවේ ස්ථූප ගොඩනැගීමේදී උපදෙස් දීමට ඇතැයි සමහරෙක් අනුමාන කරති.

ක්‍රිස්තු වර්ෂයට පෙර ලංකාවේ ඉදිකළ ස්ථූපයන්හි නිර්මාණ භාරතයේ ස්ථූපවලට බොහෝ සමාන බව මහාවංශය කියයි.එහෙත් බෞද්ධ ලෝකයේ කිසිම රටකින් හමු නොවූ ආකාරයේ ස්ථූපයක් රඹුක්කන දැලිවලදී දැක ගත හැකිය.පුරාවිද්‍යා කොමසාරිස්වරයකුව සිටි ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඒ පිළිබදව මෙසේ පවසා ඇත.

"ස්වභාවික කන්ද ස්ථූපයක හැඩයට කපා ඒ වටා ගඩොලින් බැද මේ දාගැබ ඉදිකර තිබෙනවා.ධාතුන් වහන්සේ නිදන්කර තිබෙන්නේ ගර්භය තුන්වන පේසාවට එක්වන තැනයි.මෙම දාගැබේ ස්වභාවයෙන්ම ධාතු ගර්භයක් දක්නට නැහැ."

පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ එච්.සී.පී.බෙල් මහතාගේ කෑගලු වාර්තාවේ 38 වැනි පිටුවේ මෙහි වට ප්‍රමාණය අඩි 640 ක්ද,බෑවුමේ දිග අඩි 112 ක් බවද සදහන්ය.

මෙම චෛත්‍යයේ 1957 වසරේ සිදුකළ පුරා විද්‍යා කැණීම්වලදී චෛත්‍යයේ සතර දිසාවේ ස්ථූපයේ අනුරූ සහිත ශිලාමය කරඩු හතරක් හමුවිණි.බටහිර දිග ශිලා මංජුසාව තුළ තිබී 1957 පෙබරවාරි මස 04 වැනි දින හමුවූ දඔරන් කරඩුවද සාංචි ස්ථූපයේ පූර්ණ අනුරුවකි.

මෙම චෛත්‍යය මිහිදු හිමියන්ගේ අනුශාසනා සහිතව දේවානම් පියතිස්ස රජතුමාගේ බාල සෙහොයුරෙකු වූ මෙම ප්‍රදේශය පාලනය කළ තිස්ස කීර්ති යුව රජු විසින් කරවන ලද්දක් බවට සමහරු පවසති.මෙම දාගැබට නුදුරින් පදවිගම්පල කන්දේ ගල්ලෙනක "තිස කිතස ලෙනෙ අගත අනගත චතුදිස සගස දිනෙ"යනාදී ලෙසින් බ්‍රාහ්මී අක්ෂරයෙන් කොටා ඇති ශිලා ලේඛනයෙන් තිස්ස කීර්ති නමින් ජන ප්‍රධානයෙකු මෙහි සිටි බව ඔවුහු තහවුරු කරති.දාගැබේ අඩිතාලම අසලින් හමුවූ ගඩොල්වලද බ්‍රාහ්මී අක්ෂර දක්නට තිබී ඇත.

දැනට ශ්‍රී ලංකාවේ තිබෙන පැරැණිම චෛත්‍යය ලෙස සැලකෙන මිහින්තලේ පිහිටි මිහිදු මහ සෑය අයත් සමයටම මෙම චෛත්‍යයද අයත් බවට පිළිගැනේ.ලංකාවේ පැරැණිම චෛත්‍ය කීපවරක් ප්‍රතිසංස්කරණයට ලක්වීමෙන් මුල් ස්වරූපය හදුනාගත නොහැකි තරමට වෙනස් වේ එහෙත් දැලිවල කොටවෙහෙර ඉදිකිරීමෙන් පසුව පිළිසකර කිරීමක් සිදුවි නොමැති බැවින් මුල් ස්වරූපය තවමත් වෙනස් වී නොමැත.

මෙම චෛත්‍යය ඉදිකිරීමේදී සම්පූර්ණයෙන්ම බැද එහි ථූපය,ඡත්‍රය හා පතාක සතරක් සවිකර තිබූ බව හමුවී ඇති මෙම කරඩු අනුව සනාථ වෙයි.ඒ අනුව "කොටවෙහෙර" යන්න කාලයාගේ ඇවෑමෙන් වෙනස් වූ චෛත්‍යයට පසුකාලීනව එක්වූ නමක් විය හැකිය.මෙම චෛත්‍යයේ ඡත්‍රයක් සුළගට ගසාගෙ විත් වැටුණු ගම "කොත - වැල්ල" පසුකාලීනව "කොටවැල්ල" වී අදටත් එලෙසින් හදුන්වනු ලබන බව කියැවේ.

දඹදිව සාංචි ස්ථූපයේ පරිදි ඡත්‍ර ඉදිනොකර හතරැස් කොටුව ගලින් හෝ ගඩොලින් බැද ඒ මත ලෝහමය කොතක් පැළදවීම පසුකාලීනව සිදුවූවකි.පුරාවිද්‍යා මතයට අනුව සාංචි ස්ථූපයට සමාන අනුරූ දැනට ලංකාවෙන් හමුවී ඇත්තේ තුනකි.ඒ රුවන්වැලි මහ සෑයෙන්,මිහිදු මහ සෑයෙන් හා දැලිවල කොටවෙහෙරින් හමුවූ රන් කරඬුය.මෙම කරඬු තුනෙන් සාංචි ස්ථූපයට වඩාත් සමීපවන්නේ දැලිවල කොටවෙහෙරෙන් ලද දඔරන් කරඬුව වීමද විශේෂත්වයකි.

මීට අමතරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2001 වසරේදී කළ කැණීම්වලින් ද මෙවැනි දඹරන් කරඩු හතක් හමු විය.මෙම රන් කරඩු වීදුරු කරඩුවක බහා තවත් ලෝහමය කරඩුවක අසුරා පබළු මිශ්‍රිත සේද රෙදි කඩකින් දවටා මැටි වළදක තැන්පත් කර තිබියදී හමු ව ඇත.ශ්‍රී ලංකාවේ ඉපැරැණි චෛත්‍යවල කැණීම්වලදී මෙවැනි වසර දෙදහසකට වඩා පැරැණි කෞතුක වටිනාකමින් යුත් නිධන් වස්තු රෙදි කඩකින් ඔතා තිබියදී හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව එවකට පුරාවිද්‍යා අධ්‍යක්ෂ (කැණීම් ) ආචාර්ය ඩබ්ලිව්.විජයපාල මහතා පවසා ඇත.

මෙම ලෝහ කරඬුව දවටා තිබූ සේද රෙදි කැබැල්ල ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් බව ඕස්ට්‍රේලියාවේ සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.2001 වර්ෂයේදී චෛත්‍යයෙන් හමුවූ අඟුරු සාම්පල් ඇමරිකාවේදී කාබන් 14 පරීක්ෂණයකට ලක්කළ අතර,එම අඟුරු කැබලි ද ක්‍රිස්තු පූර්ව පළමු සියවසට අයත් බව සනාථ කෙරිණි.

සාමාන්‍ය චෛත්‍යයක් පේසා වළලු තුනකින් සමන්විත වුවද,කොටවෙහෙර චෛත්‍යය එක් පේසා වළල්ලකින් පමණක් සමන්විතව තිබූ බව පුරාවිද්‍යාත්මක කැණීම්වලදී හෙළිදරව් වී ඇත.එය එකල හදුන්වා ඇත්තේ ප්‍රදක්ෂිණා පථය ලෙසිනි.චෛත්‍යය නිමවන ලෙස මිහිදු හිමියන් අනුශාසනා කළද උන්වහන්සේ චෛත්‍යයේ වැඩ නිමවන අයුරු දකින්නට වැඩම කරන විටත් එහි වැඩ නිමව තිබිණි.එහෙයින් උන්වහන්සේ ප්‍රදක්ෂිණා පථය වටා වළවල් හාරවා දඹරන් කරඩු තැන්පත් කළ බව ජනප්‍රවාදයේ පැවසේ.

එකල මිහිදු හිමියෝ ධාතු නිධන් කිරීම අරඹයා රහතන් වහන්සේ පිරිවරා පෙරහරක් සේ වැඩම කරනු දුටුවකු සඟවැලක් වඩිනු දුටු බව පැවසූ පෙදෙස සඟ - වැල "හඟවෙල" වූ බවට ජන ප්‍රවාදයකි.මිහිඳු හිමියන් වැඩ සිටි ඉම,මිහිඳු - ඉම "මීඳුම" වී අදටත් දක්නට ලැබෙයි.මිහිඳු හිමියන්ට මහා දානයක් පූජා කළ පිරිස සිටි පෙදෙස මහදන ලෙසත් පසුකාලීනව "මාදන" ලෙසත් ප්‍රචලිතව තිබේ.මිහිඳු හිමියන් ඇතුළු රහතන් වහන්සේට දානය රැගෙන ආ තවත් පිරිසක් ඒ ආසන්න පෙදෙසකින් මිහිදු හිමියන් වැඩ විසූ ලෙනට පැමිණෙන අතරතුර දාන වේලාව ඉක්මවා ගොස් තිබී ඇත.එහෙයින් එම පෙදෙසේ ජීවත්වූ පිරිස හදුන්වා ඇත්තේ දානේ පහුවූ පිරිස ලෙසිනි.එය කල්යත්ම දාහෙන්පහුව ලෙස ව්‍යවහාරයට එක්වී අදටත් එලෙසම පවතී.

දැලිවල කොටවෙහෙර චෛත්‍යයෙන් සොයාගත් සාංචි ස්ථූපයේ අනුරුව අනුව චෛත්‍යය නැවත ඉදිකළ යුතු බවට 2000 වර්ෂයේ මැයි 12 වැනි දින රැස්වූ පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය තීරණය කළේය.ඒ අනුව මෙහි ඉදිකිරීම් 2002 වර්ෂයේ ඔක්තෝබර් පස් වැනි දින යළි ආරම්භ විය.එහෙත් එම ඉදිකිරීම් අතරමග ඇණ හිට ඇත.

දැලිවල කොටවෙහෙර චෛත්‍යයෙන් හමුවූ දඹරන් කරඬු හා කෞතුක භාණ්ඩ මහජනතාවට ප්‍රදර්ශනය සදහා එවකට බුද්ධශාසන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා මුල්ගල තබා ඇතත් එය මුල්ගලටම සීමා විය.එහි සමරු ඵලකය පමණක් මේ වන විට විහාරස්ථාන බිමේ පසෙක දමා තිබෙනු දැකිය හැකිය.මෙම චෛත්‍යයේ ඉදිකිරීම් කඩිනමින් නිමකර දේශීය හා විදේශීය සංචාරකයන්ටද දැකබලා ගතවන හැකි පරිදි කටයුතු සලසා දෙන ලෙස දායක සභාවේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.

දැලිවල කොටවෙහෙර විහාරාධිපති පුස්සැල්ලේ අරියවංශ හිමියෝ:

"2002 වසරේ සිට සෑම වසරකම වෙසක් පුන් පෝය දින හා පසු දින මෙම සේද සළුව සහ දඹරන් කරඩු ඇතුළු සර්වඥධාතු විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කරනවා.සේද සළුව වසර 2200 ක් පැරැණි බව සනාථ වූවේ 2009 වසරේදී.මෙම සේද සළුව ආසියාවෙන් හමුවූ පළමු හා පැරැණිම සේද සළුවයි.මෙය ලෝකයේ පැරැණිම සළු අතර සිවු වැනි ස්ථානයේ රැදෙන බව සළුව පිළිබදව පරීක්ෂණ සිදු කළ ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජූඩිත් කැමරන් මහත්මිය ප්‍රකාශකර තිබෙනවා.

1957 වර්ෂයේ සිදුකළ කැණීම්වලින් හමුවූ දඔරන් කරඩුවට අමතරව අග්‍රශ්‍රාවකයන් වහන්සේ සිහිගන්වන වර්ණවත් පළිගු කරඩු දෙකක්,තවත් පළිගු කරඩු 168 ක් සහ ශිලාමය කරඩු කීපයක් ද තිබෙනවා.මේ සියල්ල ආරක්ෂා කරගැනීමට අපගේ දායක සභාව මහත් කැපවීමක් සිදු කරනවා.

2002 වර්ෂයේදී මෙම චෛත්‍යයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ දහ අටක මුදලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වෙන් වූවා.ඊට පසුව එහි ඉදිකිරීම් හෝ සංරක්ෂණ කටයුතු පිළිබදව කිසිවකුගේ සැලකිය යුතු අවධානයක් යොමු වූවේ නැහැ.මෙම වසරේ ජාතික වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවතියත් ඒ අවස්ථාවේදී හෝ මෙම ඓතිහාසික වටිනාකමකින් යුක්ත දැලිවල කොටවෙහෙර පිළිබදව බලධාරින්ගේ අවධානය යොමු නොවීම පිළිබදව අප කණගාටු වෙනවා" යනුවෙන් පැවසූහ.

මේ පිළිබදව අදහස් දක්වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සබරගමුව පළාත් සහකාර අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"දැලිවල චෛත්‍යය සංරක්ෂණය කර යළි ඉදිකිරීමට රුපියල් කෝටි හයකට අධික මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.දැනට සිදුකෙරෙන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ දහයක්,දොළහක් පමණ ලැබෙන මුදලින් අනිකුත් පුරාවිද්‍යා ස්ථානවල සංරක්ෂණය සමග මෙම කටයුතු සිදු කිරීමයි.

වාස්තු විද්‍යා සංරක්ෂණය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු බහු විධ කාර්යයන්ගෙන් එක් වැඩ කොටසක් පමණයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වෙන්වන ප්‍රතිපාදනවලට අමතරව වාස්තු විද්‍යා සංරක්ෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් දායකත්වයක් ලැබෙනවා.එලෙස වාර්ෂිකව වෙන්වන මුදල් ප්‍රමාණය අනුවයි මෙම ඉදිකිරීම් සදහා මුදල් ලබාදෙන්නේ.

පුරාවස්තු හිමිකරුවන් අකමැතිනම් ඒවා කෞතුකාගාරයට ගෙන යාමට බැහැ.පාරම්පරිකව හිමිවූ පුරාවස්තු හා ස්මාරක වැනි විහාරස්ථාන සහ පුද්ගලයන් සතු පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් චංචල පුරාවස්තු ලේඛනගත කිරීමේ වැඩ සටහන යටතේ ලේඛනගත කිරීමට කටයුතු යොදා තිබෙන්නේ එනිසයි.

පුරාවිද්‍යා කැණීම්වලින් හමුවන පුරාවස්තූන් ඒවා හමුවූ පමණින්ම කෞතුකාගාරයට ගෙන යා යුතුයැයි න්‍යායක් නැහැ.නමුත් පෞද්ගලික ඉඩමකින් වලක් කැපීමක් වැනි අවස්ථාවකදී හෝ පුරා වස්තූන් හමුවුවහොත් ඒවා රජය සතුයි.එවැනි පුරාවස්තු සන්තකයේ තබාගැනීම ද නීතිවිරෝධි ක්‍රියාවක්.

දැලිවල කොටවෙහෙරින් හමුවූ පුරාවස්තු මහජන ප්‍රදර්ශනය සදහා ‍එහි කෞතුකාගාරයක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා දැලිවල විහාරස්ථානය යම් එකගතාවයකට පැමිණ තිබුණා.නමුත් එම කෞතුකාගාරයේ ඉදිකිරීම්වල යම් ප්‍රමාදයක් සිදුවී තිබෙනවා.දැනට මෙම පුරාවස්තූන් විහාරාධිපති හිමියන් හා විහාරස්ථ දායක සභාවේ රැකවරණය යටතේ පවතිනවා"යැයි පැවසීය.

මෙම චෛත්‍යය යළි ඉදිකිරීම සදහා අනුග්‍රහය ලබාදීමට ද යම්කිසි පිරිසක් එකගව ඇති බව දැනගන්න ඇතැයි කී මදුරප්පෙරුම මහතා එසේ ඉදිකිරීමක් සිදුකෙරෙනවා නම් විහාරාධිපති හිමියන් ප්‍රමුඛ දායක සභාවත්,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක මතයකට පැමිණ ඉදිකිරීම් පිළිබදව අවසන් තීරණයකට එළඹිය යුතු බව ප්‍රකාශ කළේය.

විහාරස්ථානය සමීපයේ පිහිටි පදවිගම්පල ගල්ලෙන් පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට ‍වසර කීපයකට පෙර ගවේෂණයක් සිදුකර ඇතත්,එවැනි වාර්තාවක් මෙතෙක් මුද්‍රණය කර නැතැයි කී ඒ මහතා මෙවැනි ගවේෂණ කටයුතු සදහා මෙම වර්ෂයට මුදල් වෙන්වී නැති බැවින් ඉදිරියේදී ගවේෂණයක් සිදු කර මෙම ගල්ලෙන් පිළිබදව විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද,එවිට වැළලී ඇති අතීත තොරතුරු යම් ප්‍රමාණයක් හෝ අනාවරණය කර ගැනීමට හැකිවේයැයිද විශ්වාසය පළකළේය.

(ශ්‍රී ලංකා පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික ධර්මපාල කහදවආරච්චි මහතාට විශේෂ ස්තුතිය හිමි වේ.)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...