අකුරැස්සේ නිල්වලා ඉඩම් ගිල දමයි | දිනමිණ

අකුරැස්සේ නිල්වලා ඉඩම් ගිල දමයි

අකුරැස්ස මධ්‍යම විශේෂ - විජිත සල්ගාදු

නිල්වලා ගඟ දෙපස ගංවුරු කඩා වැටී නිල්වලා ගඟ වෙත පතිත වන තත්වයක් කලක පටන් දැකිය හැකි සුලබ දසුනකි. එබැවින් තම තමන්ගේ ඉඩම් කාලයාගේ ඇවෑමෙන් ගඟටම බිලිවනු ඇතැයි ගංඉවුර ආශ්‍රිතව පදිංචි කරුවන් ඉමහත් බියකින් පසුවෙති. අකුරැස්ස සිට මාතර දක්වා වු නිල්වලා ගංතීරයේ පදිංචිකරුවන් මේ සම්බන්ධයෙන් ඊට වගකිවයුතු බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් විසඳුමක් ලැබී නැතැයි ඔවුන් මැසිවිලි නගති.

අකුරැස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ අමලගොඩ , නිල්වලා ගඟට මායිම්ව පදිංචිව සිටින අකුරැස්ස මානව හිතවාදී සංගමයේ ක්‍රියාකාරී සාමාජික හා ව්‍යාපාරික රංජිත් කළුආරච්චි මහතා තමන් මුහුණදී සිටින තත්ත්වය පෙන්වා දුන්නේය. ඔහුගේ ඉඩමේ ගඟට මායිම්වූ පෙදෙසට අප කැඳවාගෙන ගොස් තම ඉඩමෙන් ගඟට පස් කඳු කඩා වැටී ඇති අයුරි පෙන්වා දුන්නේය. හෙතෙම අප හා මෙසේ කීය. පසුගිය අවුරුදු කිහිපය තුළදී මගේ මේ ඉඩමෙන් අඩි 30 ක විතර ප්‍රමාණයක් ගඟට කඩා වැටී තියෙනවා. ගං ඉවුර ආරක්ෂා කරගන්න මම පුවක් ගස් , කුඹුක් ගස් වගේ ගස් මගේ ඉඩම මායිමේ පැළ කළා. ඒ වුනට ටික දවසක් යනකොට ඒ ගසුත් පෙරළගෙන ගඟටම පතිත වුණා. සමහර තැන්වල ඉඩමේ උඩ පස් තට්ටුව හොඳට තියෙනවා යටින් හෑරිලා ගඟට සේදිලා ගිහින්. බිම් ගෙවල් වගේ තියෙනවා. අකුරැස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ කීප තැනක්ම මේ වගේ ගඟටම ගංඉවුරු කඩා වැටිල තියෙනවා. මේකට සාර්ථක පිළියමක් කළේ නැතිවුණොත් අකුරැස්ස - මාතර ප්‍රධාන මාර්ගය ගඟටම සේදිලා යාවි. ඒ වගේම ගඟට උණ පඳුරු කඩාවැටිලා ගස් කොළන් කඩා වැටිලා ගඟේ ජලය බැස යාමට බාධා ඇතිවෙලා. පසුගිය ගංවතුර තත්වය වැඩිවුනෙත් ඒ නිසයි. ඉදිරියේදී ගංවතුර තත්වයක් ඇතිවුවහොත් එය අවම කරගන්නත් ගංඉවුරු ආරක්ෂා කරල ගඟ ශුද්ධ පවිත්‍ර කරනවා නම් පුළුවන්. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මම අදාළ බලධාරීන්ට දන්වල තියෙනවා ඉක්මනින් විසඳුමක් දෙන්න කියල. මෙතෙක් කිසිදු පියවරක් ගත්තේ නැහැ. වගකිවයුතු නිලධාරීන් මේ තත්වය නිරීක්ෂණය කරන්න එනවා නම් මම මගේ ඉඩමේ ඔප්පුවත් එක්ක ඉඩම මැනල පෙන්වන්නම්. පසුගිය ගංවතුරට කලින් ආපදා කළමණාකරණ ආයතනය අදාළ බලධාරීන්ට මේ ගැන දන්වල තියෙනවා. නමුත් තවම නම් විසඳුමක් ලැබුණේ නැහැ.

අකුරැස්ස නාගරික වෙළෙඳ සංගමයේ හිටපු ලේකම් , ව්‍යාපාරික ආනන්ද ගමගේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය. මෙයට අවුරුදු 10 කට වගේ ඉස්සර මේ වගේ ගංඉවුරු කඩා වැටීමක් සිදුවුනේ නැහැ. දැන් ගඟේ වතුර බැස යන්නේ ඉතාමත් සෙමින්. ගඟට මායිම්ව තියෙන උණ පඳුරුවල බරට ඒ පඳුරු පස් කඳුත් එක්ක ගඟට කඩා වැටෙනවා. ඉස්සර උණ ගස් හොඳට වැවුනම කපනවා. සාමාන්‍යයෙන් ගස් කපන්නේ අඩියක් විතර ඉතිරි කරල. එතකොට උණ පඳුරු පස් කඳුත් එක්ක කඩා වැටෙන්නේ නැහැ. ගං ඉවුරු ආරක්ෂා වෙනවා. දැන් උණගස් වලට තියෙන ඉල්ලුම අඩුවීමත් , උණගස් කැපීමට තියෙන නීතිමය බාධාවන්නිසාත් ගංඉවුරු කඩා වැටීම් බහුලව සිදුවෙනවා. මේ තත්වය තේරුම් අරගෙන කටයුතු කළොත් මේ අනතුරුදායක තත්වය අවම කරගන්න පුළුවන්. පසුගිය කාලයේ වැලි ගොඩ දැමීමත් එක ප්‍රශ්ණයක්. ගඟ හෑරිලා. වතුර බැස යන්නේ පහත් මට්ටමින්. ඒ නිසා ගං ඉවුරු ඛාදනය වෙනවා. ඉක්මනින් පරීක්ෂණයක් පවත්වල පිළියමක් නොකලොත් ගඟ දෙපස ඉඩම් නැතිවෙලා යන එක නතර කරන්න බැරිවේවි. ගඟ ගස් කොළන් වලින් උණගස් වලින් හිරවෙලා තියෙන නිසා පසුගියදා වගේ ගංවතුරක් ආවොත් ආපදා තත්වයත් වැඩිවෙලා භයානක තත්වයක් උදාවෙන්න පුළුවන්. මමත් ගංවතුරින් පීඩා වින්ද කෙනෙක්.

අකුරැස්ස නන්දන තේ කර්මාන්ත ශාලාවේ අධිපති ගුණසෝම වනිගසේකර මහතා මෙසේ කීය. අකුරැස්ස ප්‍රදේශයේ සිට ඉදිරියට නිල්වලා ගඟේ නැමි 05 ක් තියෙනවා. මේක සොබා දහමේ අපූරු නිර්මාණයක්. පසුගිය වකවානුව තුළ ප්‍රජාව විසින්ම කරන ලද විකෘති තත්වයක් තුල අද අපට හානි සිදුවෙමින් තියෙනවා. සොබාදහම අපට දඬුවම් දෙමින් සිටිනවා. ඈත අතීතයේදී මේ වගේ ගං ඉවුරු කඩාවැටීමක් කවදාවත් සිදුවුනේ නැහැ. මගේ මතය නම් දේශීය දැනුම තිබෙන විද්වතුන්ගේ අදහස් හා යෝජනා අරගෙන මෙම භයානක තත්වයෙන් මිදීමට කඩිනම් විසඳුම් සොයාගත යුතු බවයි. එසේ නොවුනහොත් ඉදිරියේදී මහා ඛේදවාචකයක් බවට පත්වෙන එක නම් පැහැදිලිවම පෙනෙනවා. ගඟට මායිම්ව තියෙන මගේ ඉඩමේ ගං ඉවුර ආරක්ෂා කරගැනීමට මම කුඹුක් වගේ වෙනත්හොඳට පොළොව යටට මුල් අදින ශාක වර්ග පැළකර තියෙනවා. වෙනත් විකල්ප ක්‍රම සොයා ගෙන ක්‍රියාත්මක වන්නට වගකිවයුත්තන් පෙළගැසිය යුතු වෙනවා.

නිල්වලා ගඟ දෙපස පරීක්ෂා කළ අපට දැකගත හැකිවූ තවත් විශේෂත්වයක් නම් ගංඉවුර උඩින් පස් තට්ටුව මනා ලෙස තිබුනත් , ඊට යටින් උමගක් ලෙස යටින් ගං ඉවුර ගඟට සෝදාගෙන ගොස් ඇති අයුරුයි. ඉඩමේ පස් තට්ටුව උඩින් හොඳින් තිබෙන නිසා එහි ඇවිද ගියහොත් උඩ පස් තට්ටුව කඩාවැටී ගඟට පතිතවීම නොවැළැක්විය හැක. ඉන් අනතුරුව මිනී මරු කිඹුලන්ගේ ග්‍රහණයට හසුවනු ඇත. තම ඉඩම්වල ගං ඉවුරුවල සැබෑ තත්වය නිරීක්ෂණය කිරීමට නම් ගඟින් එගොඩට ගිහින් නිරීක්ෂණය කිරීමට සිදුවී ඇත්තේ නිල්වලා ගඟකාලයක් මුළුල්ලේ කිඹුලන්ගේ පාරාදීසයක්ව ඇති බැවිනි. මෙලෙස සෝදා පාළුවට ලක්වී ඇති ඉඩම් අපද ඉතා අපහසුවෙන් නිරීක්ෂණය කළෙමු.

නිල්වලා ගඟ ආශ්‍රිතව පදිංචිකරුවෙකු වන මදුරංග මුණසිංහ මහතාද අපට මේ ඛේදජනක තත්වය විස්තර කළේය. මෙයට වසර පහ හයකට කලින් ඉඳල තමයි මේවගේ දරුණු විධියට ගං ඉවුරු කඩාවැටීම ආරම්භ වුනේ. නිල්වලා ගඟ දෙපස ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් මෙයට වසර තුනකට විතර කලින් පටන් ගත්තා. ඒක අතරමග නැවතුනා. අද ගඟ දෙපස තියෙන උණ පඳුරු පස් කඳුත් එක්ක ගඟට කඩා වැටිල තියෙනවා පේනවා. ඒ අසල කුණු රොඩු , අපද්‍රව්‍ය විශාල වශයෙන් ගොඩගැහිලා. ඒක තවත් පාරිසරික ප්‍රශ්ණයක් වෙලා හමාරයි. දැනටමත් අකුරැස්ස - මාතර ප්‍රධාන මාර්ගය අසලටම ගඟ ඇවිත් තියෙනවා හොඳට පේනවා. මෙයට කඩිනම් විසඳුමක් අවශ්‍යයි.

ගඟට මායිම්ව පදිංචි අතුරලියේ ඩබ්.ජී. නන්දසේන මහතා - මගේ ඉඩමෙන් විශාල ප්‍රමාණයක් ගඟට ගිහිල්ලා. ගං ඉවුර කඩා වැටිල නිසා ගඟ ගොඩවෙලා. ගංවතුරක් ආවම තමයි මේකෙ භයානක කම පේන්නේ. අපි කොපමණ කිව්වත් විසඳුමක් නැහැ.

අතුරලියේ එච්.ඒ. ගුණසේන මහතාද ගඟට මායිම්වූ ඉඩමක පදිංචිව සිටින අතර ඔහුද තමන් මුහුණදී සිටින අපහසුතාවය පිළිබඳව කියා සිටියේය.

පසුගිය වසර ගණනාවක් තුල නිල්වලා ගඟෙහි ජල මට්ටම ඉහළ ගොස් නිතර නිතර ජල ගැලීම් වලින් අකුරැස්ස හා තදාසන්න ප්‍රදේශ යටවී තිබුනි. 1948 , 1969 , 2003 හා 2017 මැයි (පසුගියදා ඇතිවූ ගංවතුර) යන වසර වල නිල්වලා ගඟ පිටාර ගලා දැඩි ගංවතුර තත්වයන් ඇතිවී තිබුනි. ගංවතුර තත්වය බරපතල වනුයේ ගං ඉවුරු කඩා වැටීමෙන් ගඟ සිරවී තිබීම බව බොහෝ දෙනාගේ මතයයි. වර්ෂාව පවතින කාලයන් තුල වැසි ජලය ගඟ වෙත එකතුවීමේදී ගං ඉවුරු සෝදාගෙන ගඟ වෙතට ජලය බැසයාමද තවත් ප්‍රශ්ණයකි. ගංතීරයේ ඇති උණ පඳුරු , ගස් කොළන් ගඟ වෙතට කඩා වැටී සිරවී ඇති ආකාරය දකින්නට ඇත. ගංතීරය අපද්‍රව්‍ය වලින් පිරී ඇත. යළි ගංවතුර තත්වයක් ඇතිවුවහොත් එයින් විපාක අත්විඳින්නට සිදුවනුයේ ගඟ දෙපස ජීවත්වන්නවුන් හා ජලය බැස යන අවස්ථාවේ මාතර ප්‍රදේශයේ ජීවත් වන අහිංසක ජනතාවයි. මෙම ඛේදවාචකයට වසර ගණනාවක් මුළුල්ලේ ගොදුරුවූවන්ගෙන් කරුණු විමසා , දිය හැකි විසඳුම් ලබාදීම වගකිවයුත්තන්ගේ වගකීමක් වනු ඇත. වගකිවයුතු නිලධාරීන්ගේ අධීක්ෂණයට මෙම තත්වය ලක්කර , අධ්‍යයනයකින් පසුව කඩිනමින් විසඳුමක් ලබාදීමෙන් රජයට වාසි කිහිපයක් අත්වනු ඇත. ගංවතුර තත්වය පාලනය කිරීමෙන් ජීවිත හානි අවම කරගැනීම හා ආපදාවන්ට ලක්වී ගේදොර බඩු බාහිරාදිය විනාශවූවන්ට කෝටි ගණනින් වන්දි ලබාදීම අවම කරගැනීමට හැකිවේ. මේ සියළු කරුණු පිළිබඳව වගකිවයුතු අංශවල අවධානය කඩිනමින් යොමුවී විසඳුමක් ලැබෙනු ඇතැයි ජනතාවගේ බලාපොරොත්තුවයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...