අපරාධ රැල්ලට පිළියමක් නැද්ද? | දිනමිණ

අපරාධ රැල්ලට පිළියමක් නැද්ද?

තිරිසන් සත්තු සර්පයෝ ගහ මරා ගනිති. ලෝක ස්වභාවයයි. අපේ ගැමියන් අතර කියමනක් මෙලෙස තිබෙනවා. දරුවන් ෙහා් වැඩිහිටියෝ හෝ සන්ඩුසරුවල් වෙනකොට අනේ දරුවෝ තිරිසනුන් වගේ ගහගන්න එපා’ යැයි කියති. තිරිසනුන් හා මිනිසුන් අතර ඇති වෙනස තියෙන්නේ ලැජ්ජාව හා බය නිසාය. ඒ ගති තිබෙන්නේ මිනිසුන් ළඟ විතරයි. බුදුදහමේ කියන්නේ හිරි ඔත්තප්ප කියාය. මිනිසුන් ළඟ මෙම උසස් ගුණ ධම් දෙක ඇති නිසා මේ මිනිසත් බව, උසස් බවට පත්ව ඇත. අවුරුදු දහස් ගණනක් රැකගෙන ආ මේ උතුම් මිනිස්කම වර්තමානයේ මිනිස් සමාජය තුළින් ගිලිහී යන අයුරු මිනිස්සු විලිවසාගෙන ලැජ්ජා බය නැතුව කරන නොසන්ඩාල අපරාධ දකින විට පැහැදිලි වේ. මීට වසර දශක හතරකට පහකට පෙර අද වගේ විවිධ ජන මාධ්‍ය තිබුණේ නැත. පත්තර හා ගුවන් විදුලිය පමණයි. ජනමාධ්‍ය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබුනේ දුරකථනය ධනවතුන්ගේ උපකරණයක් විය. එකල ජනතාව අතර කවි කොළය යනුවෙන් පත්තර කඩදාසියක කිසියම් සිදුවීමක් කවියෙන් මුද්‍රණය කර කවි කොළ කාරයන් කවිය මහ හයියෙන් ගායනා කරමින් කවිකොළ විකුණූ යුගයක් තිබිණි. කවිකොළය ශත 05 කි. වැඩිපුර කවි කොළ වල මාතෘකා වුනු සිදුවීම් අපරාධ හා මිනී මැරුම්ය. ‘වයිට් හවුස්

මිනීමැරුම’, ‘හාරලක්ෂ මංකොල්ලය’, ‘රංජිනී කැබ්ස් රියදුරාගේ මරණය’, ‘ඇඩ්ලින් හේවාවිතාරණ මිනී මැරුම’, ‘බණ්ඩාරනායක අගමැති ඝාතනය වැනි’ අපරාධ එදා කවි කොළකාරයන් දිවයින පුරා ගමින් ගමට විසුරුවා හැරියේ අද මෙන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගෙන නොවේ. ඒවගේම එදා මෙරටේ අද වගේ පැයෙන් පැයට අපරාධ සිදුවූයේ නැත. මාස ගණනකට හොරකමක් - මිනීමැරුමක් - ආරවුලක් සිදු වුනේ ඉඳ හිටය. ස්ත්‍රී දූෂණ - ළමා බාල අපරාධ එදා අහලකවත් නැත.

අද වන විට ශ්‍රී ලංකාව ශ්‍රී ධර්මද්වීපය නැතිනම් බුදුන් වැඩිය දේශය කියා හඳුන්වා ගන්නට බැරි තරම් මහා භයානක මිනීමැරුම් මංකොල්ල කෑම් - අපරාධ දිනයේ පැය විසි හතර පුරාම රටේ කොතනක හෝ සිදු වේ. මෙතරම් අපරාධ සිදු වෙන වෙන රටක් මේ ලෝකේ කොහෙවත් නැත. සිරියාව - ඉරාකය - පාකිස්ථානය යන රටවල් වල දේශසීමා ආගම් වාද යුද්ධ නිසා මනුෂ්‍ය ජීවිත නැතිවෙන බව සත්‍යයකි. ඒත් මෙරටේ සිදුවන අපරාධ දෙස බැලූ විට එවැනි ඝාතන මොනවාද කියා සිතේ.

නිදි යහනේ තරුණ මවත් ඇයගේ ඇකයේ කිරි උරමින් සිටි සිඟිති දියණියත් ගිනි තබා මරා දැමුවේ මීට වසර දෙකකට පෙර මොරටු ප්‍රදේශයෙනි. රත්නපුර, බලංගොඩ, නිවිතිගල මැතිවරණ කොට්ඨාසවල කාන්තාවන් රැසක් මරා දමන ලදී. කොටකෙතන සිද්ධීන් ජනතාවට අමතක නැත. දැරණියගල නූරිය වත්තේ වතු අධිකාරී මරා දමන ලද්දේ බිහිසුණු ලෙස වද හිංසා කරමිනි.

යාපන දිස්ත්‍රික්කයේ තරුණ සිසුවියක් සමූහ දූෂණයකින් පසු මරා දමන ලද්දේ සිවුපාවුන් නොවේ මිනිසුන්ය. දකුණු පළාතේ අකුරැස්ස ගම් සභාපති ගිනස් වාර්තාවක් තැබුවේ මුලු රටම අපකීර්තියට පත් කරමිනි. තරුණියන්/ කාන්තාවන් සිය දෙනෙකු දූෂණය කළේ බලහත් කාරයෙනි. තංගල්ල ප්‍රදේශයේ සභාපති ඇතුලු මැරව රයෝ සුදු ජාතික සංචාරක තරුණයා මරා දමා ඔහුගේ පෙම්වතිය දූෂණය කළේ පොදුරාජ්‍ය මණ්ඩලයේම අපකීර්තිය ජාතියට ලබා දෙමිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයටම නිගා දෙන අපරාධ රාශියක් පසුගිය වකවානුවේ සිදුවිය. සිව් හැවිරිදි සේයා දැරිය දූෂණය කර මරා දැමුණේ පසුගිය කාලයේය. දිනපතාම රූපවාහිනි මාධ්‍ය තුළින් ගුවන් විදුලි මාධ්‍යයන් තුළින් ජාතික පුවත්පත් වල ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස අපරාධ සිදුවීම පළවේ. අද සිදු වන අපරාධ මීට ඉහත කාලයේ නොවුනු සිදුවීම්ය. එම බිහිසුණු අපරාධ මුද්‍රිත මාධ්‍ය තුළින් සජීවී ලෙස දැක ගැනීමට හැකිය.

මැර කණ්ඩායම් පොලිස් නිල ඇඳුම් ඇඳ ගෙන ජීප් රථ වෑන් රථවලින් පැමිණ පාර හරහා සිටගෙන බන්ධනාගාර බස් රථයට දිගට හරහාට වෙඩි තබන්නේ අණක් ගුණක් නොතකාය. අපරාධකරුවන් හා ඔවුන්ව බන්ධනාගාරයට රැගෙන ගිය අහිංසක පොලිස් බන්ධනාගාර නිලධාරින් ද මේ වෙඩි තැබීමෙන් මරණයට පත්විය. මෙම අපරාධය කර ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින තවත් පාතාල කල්ලියක නායකයාගේ සැලැස්මකට අනුවය. ගිය සති අන්තයේ කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායම් පරීක්ෂා කිරීමේදී කෝටි 02 ක වටිනාකමක් ඇති රත්තරං සොයා ගන්නා ලදී. රහසිගතව මේ රත්තරං තොගය ඉන්දියාවට ගෙන යන්නට ගුවන් තොටුපලට යන අතරතුරය. දැනට මරණ දඬුවම හිමිව බන්ධනාගාර ගතව සිටින පොට්ටනවුෆර් ගේ දෙවැනි භාර්යාවද ඒ කණ්ඩායමේ සැකකාරියකි. අද මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතා වන නිසා සිදුවන අපරාධ රාශියකි. ඊට මිනීමැරුම් සොරකම් කිරීම් කාම අපරාධ අයත්ය. මත්පැන් පානයේ දැඩි වර්ධනයක් දැකිය හැක. හොඳම සාධකය නගරයේ පාරවල්වල වගේම ගමේ ගොඩේ පාරවල්වල ද හිස් මත්පැන් බෝතල් හා බියර් හිස් ටින් දැකිය හැකි වීමය. ‍‍

තිස්අවුරුදු යුද සමයටත් වඩා භයානක බිහිසුනු අවධියක් අපි ගතකරන්නෙමු. පසුගිය සතියේ ආරම්භයේම පිළියන්දල නගර මධ්‍යයේ කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරින් පමණක් නොව අහිංසක දරුවන් මරා දැමුවේ මත් කුඩු ජාවාරම්කාරයන්ය. මේ අපරාධ අහස පොළොව උහුලන්නේ නැත.

චන්ද්‍රසිරි ගෝමිස්
කළුබෝවිල 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...