පළාත් ප්‍රධානියකුට අසුබ දශාවක් | දිනමිණ

පළාත් ප්‍රධානියකුට අසුබ දශාවක්

* අමරදේවගේ සිහිනය ජනපති සැබෑ කරයි
* අගමැතිගේ අමුතු සේයාරුවක් ගන්කන්ද අතට
* කොමියුනිස්ට් සමුළුවෙන් පොහොට්ටුව ගැලවේ

රටට ව්‍යසනයක් වී ඇති මත්ද්‍රව්‍ය පිටුදැකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවී සිටින අරමුණක්. ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක, නීතිපති ජයන්ත ජයසූරිය, නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසක් එයට සහභාගී වී සිටියා. රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ ව්‍යාප්තිය ගැන එහිදී සාකච්ඡා වුණා. නිලධාරීන් කීවේ මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීම හා වැඩි වැඩියෙන් අත්අඩංගුවට ගැනීම නිසා මත්ද්‍රව්‍ය ගැන පුවත් පළවීම වැඩිවී ඇති බවයි. කෙසේ වෙතත් ජනාධිපතුමා කීවේ මත් උවදුර තුරන්කිරීම සඳහා බුද්ධි අංශ හා ආරක්ෂක අංශ එකතුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බවයි. මත් උවදුර මෙරටින් තුරන් කිරීමට කටයුතු කළ යුතු බව කී ජනාධිපතිතුමා එයට උදව් කිරීමට විදේශ රටවල්ද සූදානමින් සිටින බවද කීවා.

‘පුරවැසි අත්වැල’ නමින් ක්‍රියාත්මක ප්‍රාදේශිය සන්නිවේදකයන‍්ගේ හමුව පසුගිය 25දා පැවැතියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. එයට ජනාධිපතිතුමා සහභාගී වෙමින් තමන් පිළිබඳව වැරදි අදහසක් පැතිරෙන සිදුවීමක් ගැන කීවා. තමන් වෙත ලැබෙන ලියුම් අතරින් එකක් ගැන එතුමා කීවා. ජනාධිපතිතුමාම කඩා බැලූ එම ලිපිය ලියා තිබුණේ අනුරාධපුර මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා. එහි කියා තිබුණේ මෙහෙමයි. ජනාධිපතිතුමනි, ඔබතුමා අගෝස්තු 4 වැනිදා අනුරාධපුරයට ආවා. අපට දැනුම්දී තිබුණේ ඔබතුමා අපේ විද්‍යාලයට එනවා කියලයි. අපේ පාසලේ දරුවො සති ගණනක් ඔබතුමා පිළිගන්න පුහුණුවීම් කළා. එදා පාන්දර හතරේ සිට නැගිට නියමිත ඇඳුමින් සැරසී බලාගෙන හිටියා. දවසම බලාගෙන හිටියත් ආවේ නෑ. ඇයි අපට එහෙම වුණේ” කියා ලියුමේ තිබූ බව ජනාධිපතිතුමා කීවා.

ඒ ලියුම් ඊයේ තමයි මගේ අතට ලැබුණේ. එවිටයි මම දන්නේ එදා මම එනබව විදුහල්පතිතුමාට කවුරුන් හෝ කලින් කියා තිබෙන බව. ඒත් මගේ වැඩසටහන්වල එවැන්නක් සටහන්ව තිබුණේ නැහැ. පුංචි දරුවෝ කොතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇතිද? ඒ දරුවෝ බලාපොරොත්තු සුන්වී කොහොම යන්න ඇතිද? දෙමව්පියෝ මට මොනතරම් දොස් කියන්න ඇතිද? ආචාර්ය මණ්ඩලය මාව කොයිතරම් විවේචනය කරන්න ඇතිද? කවුරුන් වැරැද්ද කළත් වැරැද්ද බැර වෙන්නේ මගේ ගිණුමටයි. කියා ජනාධිපතිතුමා කීවේ කාගේත් හද කම්පාකරවමිනි. “පුරවැසි අත්වැල” රට දිනවන වැඩසටහනක් බවත් ජනාධිපතිතුමා එහිදී සඳහන් කළා. මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා ඇමැතිවරුන්ද, ලසන්ත අලගියවන්න නියෝජ්‍ය ඇමැතිවරයාද මලිත් ජයතිලක මන්ත්‍රීවරයාද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස හඳුන්වනු ලබන පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් සිහිපත් කරමින් “අමරදේව අසපුව” නමින් ඉදිවන සංගීත ආශ්‍රමයට මුල්ගල තැබීම බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිදුවූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙබඳු ආශ්‍රමයක් පිහිටුවීම අමරදේවයන් ජීවත්ව සිටියදී දුටු සිහිනයක්. එතුමාගේ අවසන් උපන්දිනය දා සුබ පතන්නට පැමිණි ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාට එතුමා මේ බව දැනුම්දී තිබෙනවා. එම අදහස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතිවිට සති දෙකක් වැනි කෙටි කාලයකදී අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කිරීම සිදුවුණා. පසුගියදා යථාර්ථයක් බවට පත්වුණේ අමරදේවයන් දුටු එම සිහිනයයි. මේ කරුණු හෙළිදරව් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන තමන් සතුටුවන බවයි. කිසි දිනක ජාතිවාදියකු නොවූ අමරදේවයන් ආදර්ශයට ගෙන අමරදේව පරපුරක් ගැන සිතීමට කාලය දැන් පැමිණ තිබෙන බවද මංගල ඇමැතිතුමා කීවා. කලාකරුවන්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වුණා.

යහපාලන ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් නොයෙක් කතා පසුගියදා ප්‍රකාශ වුණා. ආණ්ඩුවෙන් විපක්ෂයට යන අය ගැන වගේම ආණ්ඩුවට එන අය ගැනත් කියැවු‍ණා. පළාත් සභාවල කිහිප දෙනෙක් ජනාධිපතිතුමන්ට සහාය දීමටත් ඉදිරිපත් වුණා. ඒ අතර ඇතැම් මැති ඇමැතිවරුන් කීවේ තමන් ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවයි. ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන් හමුවූයේ එබඳු පසුබිමක් තිබියදීයි.

බදාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ කවුරුන් ආණ්ඩුවට ආවත් ගියත් තමන් 2020 දක්වා ආණ්ඩුව කරගෙන යන බවයි. 2015 ජනවාරි අටවැනිදා ලැබුණු ජනවරමට අනුව යහපාලන ආණ්ඩුව කරගෙන යන බවත් ජනතාව මෙම පාලනයෙන් බලාපොරොත්තු වූ දේ ඉටු කිරීමට තමන් කැපවී සිටින බවත් ජනාධිපතිතුමා කීවා. තමන් බලයට එන විට රටට ආර්ථික සම්බාධක පැනවීම ආරම්භ වී තිබූ බවත් ඒ සියල්ල වෙනස් කරගත් බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. යහපාලනය මඟින් රටට ලබාදී තිබෙන නිදහස ගැනත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ගැනත් ජනාධිපතිතුමා මාධ්‍ය ප්‍රධානීන්ට පැහැදිලි කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති අන්තයේ ඉදිකිරීම් 2017 ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වුණා. ශ්‍රී ලංකා ජාතික ඉදි කිරීම් සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයෙ විවෘත කිරීමෙන් පසු පැවති උත්සව සභාව අමතමින් අගමැතිවරයා රජයේ සංවර්ධන වැඩ පිළිවෙළත් සමඟ ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිරියට වැඩි දියුණු විය යුතු අකාරය පිළිබඳව විස්තර කළා. පසුගිය වසර දහය තුළ රටේ නිෂ්පාදනය පහළ බැසීම නිසා ඉදිකිරිම් ක්ෂේත්‍රයද පහළ ගිය බව පෙන්වා දුන් අගමැතිවරයා ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන් මග සමගින් පුද්ගලික අංශයේ ආයෝජන අවස්ථා වැඩි වී ඇති බවත් මේ සියල්ලන්ගෙන්ම වෙන්නේ රැකියා අවස්ථා වැඩි වීම බවත් පැහැදිලි කළා.

සති අන්තයේදි අගමැති වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ පෞද්ගලික චාරිකාවක නිරත වෙමින් ආගමික කටයුතුවලටද එක්වුණා. ආපසු පැමිණීමෙන් පසු ඔහු උත්සව රැසකට මෙන්ම සාකච්ඡා කිහිපයකට එක් වුණා. සඳුදා සවස අරලියගහ මැදුරේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවීමද ඒ අතර වුණා.

අභාවප්‍රාප්ත හිටපු ඇමති අස්වර් මහතාගේ අවමඟුලටද අගමැතිවරයා සහභාගි වුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් රණසිංහ මහතාගේ බිරියගේ අවසන් කටයුතුද එදිනට යෙදී තිබුණ හෙයින් පැමිණි‍මේ අපහසුතාව දන්වා රණසිංහ මහතාට දුරකථනයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර ‍සෙනසුරාදා පැමි‍ණෙන බව දැනුම් දුන්නා.

ඊයේ (31) උදේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ෆේසට්ස් 2017 ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට අගමැතිවරයා සහභාගි වුණා. එහි යාමට පෙර අරලියගහ මන්දිරයට පැමිණ සිටි මැති ඇමතිවරු හමුවී කාලීන දේ සම්බන්ධයෙන් කෙටි පිළිසදරක යෙදීමටද අගමැතිවරයා අමතක කළේ නැහැ.

පනත් සම්බන්ධයෙන් ගැටලුවක් නිසා පළාත් පාලන ජන්දය යළි කල් යනවාදැයි දයා ගමගේ ඇමතිවරයා අගමැතිවරයා‍ගෙන් විමසුවේ එදින පුවත් පතක පළ වී තිබු ප්‍රවෘත්තියක් ගැන සඳහන් කරමින්.

ජන්දය කල් නොයන බව කී අගමැතිවරයා මාධ්‍යවල යන සියලුම ප්‍රවෘත්ති සත්‍ය නොවන බව මතක් කර දුන්නා.

රාජ්‍ය සේවකයින්ට පළාත් පාලන ජන්දයට ඉල්ලන්න බැහැ කියා විපක්ෂය බොරු කියමින් ජනතාව රවටන බව වජිර අබේවර්ධන සහ දයා ගමගේ ඇමතිවරු මෙහිදි අගමැතිවරයාට දැනුම් දුන්නා.

ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්ද ඉල්ලන්න පුළුවන්. ඒත් රැකියාවෙන් ඉවත්වෙලා වෙනත් තැනකින් ඉල්ලන්න වෙනවා. ගමෙන් ඉල්ලුවොත් සමෘද්ධි කපනවා පොහොර සහන කපනවා කියල තර්ජන කරලා මිනිසුන්ගෙන් ඡන්ද ගන්න පුළුවන් නිසා කාටත් සාධාරණ ක්‍රමයක් ගේනවා කියා අගමැතිවරයා පැවසුවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළව විශ්වාසභංග ගේන්න නොහැකි නිසා රාජිතට විරුද්ධව විශ්වාස භංගය ගේන්න ඉඩදෙන්න බැරි බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදි පැවසුවා.

ආණ්ඩුවේ සියලු දෙනාම රාජිතට පක්ෂ නිසා විශ්වාසභංගය ගෙන ඒම ප්‍රශ්නයක් නොමැති බවත් ගේන අය පැරදිලා පතුළටම වැටෙන බවත් අගමැතිවරයා කීවේ සිනා සෙමින්.

ක්‍රිකට්වල වැටීම ගැන කනගාටුව පළ කළ නවීන් දිසානායක මහතා 2019 ලෝක කුසලානෙ කණ්ඩායම් 08 ට ‍අපට එන්න බැරි වුණොත් ලොකු අවාසියක් වෙන බවත් පැවසුවා.

2015 දී ක්‍රිකට් අතුරු පාලනයක් නොදැමිම තමයි ගැටලුව වුණේ යැයි අගමැතිවරයා පැවසුවා.

තිස්ස අත්තනායක ආපසු එක්සත් ජාතික පක්ෂයට එන බවට මාධ්‍යවල පළවෙන ප්‍රවෘත්තිවල සත්‍යතාවය කුමක්දැයි ඇමතිවරු අගමැතිවරයාගෙන් විමසුවා.

මාධ්‍ය නිදහස නිසා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා අගමැතිවරයා පිළිතුරු දුන්නා.

අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමි ආණ්ඩුව ගැන සුභවාදි මත පළ කර තිබීම ගැනද මෙහිදි ඇමතිවරු අගමැතිවරයා සමග සාකච්ජා කළා.

20 වැනි සංශෝධනය බොහෝ පළාත් සභාවල සිදු වූ තත්ත්වයද මෙහිදි කථා වුණා.

ඌවේ විපක්ෂ නායක රාමු රත්නායක හරියට ක්‍රියා කර නොමැති නිසා ඔහුට විරුද්ධව ක්‍රියා කරන්නැයි හැමෝම කියන බව කී අගමැතිවරයා දකුණේ ආණ්ඩුකාරයාගේ මතය අනුව ක්‍රියා නොකිරිම ගැන පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් වගකිව යුතු බවත් පසුබෑමට ලක්වූ තැන්වල ආපහු ඡන්ද තියන්නැයි හුග දෙනෙක් යෝජනා කරන බැවින් එය සලකා බලන බව අගමැතිවරයා පැවසුවා.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඇරැයුමින් හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේ විශේෂ නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1100කට රුපියල් ලක්ෂ 1100/-ක සහන පොලී 'විසිරි නිවාස ණය' චෙක්පත් පිරිනැමීම සඳහාය.

මෙම අවස්ථාවට ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, ඩබ්ලිව්.කේ.කේ. අතුකෝරළ අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. උත්සවයට පැමිණි අගමැතිවරයා ඇසුවේ 'අද අපි මොනවද ලබා දෙන ප්‍රතිලාභ' කියායි. සජිත් කීවේ 'මෑතදී ජාත්‍යන්තර මට්ටමින් විශේෂ ක්‍රීඩා කුසලතා පිළිබිඹු කළ නිකවැරටිය, රස්නායකපුර ආර්.එම්. චන්ද්‍රිකා සුභාෂිනි රස්නායක, හක්මණ එල්.ජී. තරංගා විනෝදනී සහ කාරියමඩිත්ත නදීෂා රාමනායක යන ක්‍රීඩිකාවන් තිදෙනාට ඒ අයගේ අගනුවර පුහුණු කටයුතු පහසු කිරීම වෙනුවෙන් අඟුලාන සයුරුපුර නිවාස සංකීර්ණයෙන් එකක් රුපියල් ලක්ෂ 42ක් විතර වටිනා නිවාස 3කුත්, දැනට රත්මලාන ප්‍රදේශයේ ජීවත්වන ආබාධිත පුද්ගලයන් තිදෙනකු සහිත පවුලකට සයුරුපුර තවත් නිවසකුත් අද සර් අතින් පවරා දෙනවා' කියායි. 'බොහොම හොඳයි' අගමැතිවරයා කියද්දී සජිත් කීවේ 'සර් ලබාදීපු රුපියල් ලක්ෂ 1000ක ප්‍රතිපාදනවලින් මම තිස්සමහාරාමය, හම්බන්තොට, ලුණුගම්වෙහෙර, සූරියවැව කොට්ඨාසවල යොවුන් සේනාංක මධ්‍යස්ථාන 4ක් හදනවා' කියායි. 'එන්න ඕනෑ බලන්න' අගමැතිවරයා කතා ක‍ළේ ඉමහත් සතුටින්. 'යොවුන් සේනාංක වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න ඕනෑ. එදා යෞවන සමාජ ඇති කළා වගේ මේ වගේ යොවුන් සේනාංක මධ්‍යස්ථාන රටේ ප්‍රා. ලේ. කොට්ඨාස 332 තුළම ස්ථාපනය කරන්න ඕනෑ. තරුණ සංකල්ප අවදි කරලා ඒ අයව ඉදිරියට ගන්න මේ වැඩපිළිවෙළින් අපට හැකි වෙනවා' සජිත් අගමැතිවරයාට කීවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දුලබ ගනයේ ඡායාරූපයක් මීට මාස කිහිපයකට පෙර ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මහතා අතට පත්වුණා. ගන්කන්ද මහතා හමුවීමට පැමිණි බලංගොඩ හතරබාගේ ප්‍රදේශයේ විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති මහතෙකු එම දුලබ ඡායා රූපය ගන්කන්ද මහතා අතට ලබා දෙමින් සඳහන් කළේ එය මීට වසර 34 කට පෙර සිදුවීමකට අදාළ බවයි.

රක්වාන ප්‍රදේශයේ පැවති කිසියම් උත්සවයකට වසර 34 කට පෙර තරුණ ඇමතිවරයෙකු වශයෙන් සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා මුව පුරා වැඩුණු රැවුලත් සමඟ එජාප නියෝජ්‍ය ඇමතිවරයකු වූ හැරල්ඩ් කුලරත්න මහතා ඇතුළු තවත් පිරිසක් සමග සිටිනු එම වර්ණ ඡායා රූපයේ ඇතුලත්ව තිබුණා.

නායකතුමා රැවුල නොකපා ඡායාරූපයක මං මේ දැක්කාමයි. පින්තූරය අතට ගත් ගන්කන්ද මහතා පැරණි එක්සත් ජාතික පාක්ෂිකයා අමතමින් කීවා.

"තැපැල් මහත්තයා..මට මේ පින්තූරය දෙන්න. මේක බොහොම වටිනා පින්තූරයක්, මේක ලැමිනේට් කරලා මං ළඟ තියා ගන්නම්".මම ඒකේ පිටපතක් ඔබතුමාටත් දෙන්නම්.ගන්කන්ද මහතාගේ ඉල්ලීම මත එම දුලබ ඡායාරූපය ඒ මහතාට ලබා දීමට බලංගොඩ හතරබාගේ හිටපු තැපැල් ස්ථානාධිපතිතුමා එකඟ වුණා.

ඉන් මාස කිහිපයකට පසු පසුගිය 28 වන දා එකී විශ්‍රාමික තැපැල් නිලධාරී මහතා කිසියම් කාරියකට දුනේෂ් ගන්කන්ද මහතා හමුවීමට යළි වතාවක් පැල්මඩුල්ල එජාප කාර්යාලයට පැමිණියා. තැපැල් මහතාට අසුන් පැනවූ ගන්කන්ද මහතා අනතුරුව සිය අත්‍යාවශ්‍ය ලිපි ලේඛන රැගෙන යන ලිපිගොණු බෑගය විවෘත කරමින් එම දුලබ ඡායාරූපය සියතට ගනිමින් තවත් අපූරු හෙළිදරව්වක් කළා.

තැපැල් මහත්තයා පහුගියදාක මට මේ ඡායාරූපය අපේ නායකතුමාට පෙන්වීමට ඉඩක් ලැබුණා. එතුමා ඡායාරූපය අතට අරගෙන ටික වේලාවක් බලා හිටියා. දුනේෂ් ඔයා දැක්කද මගේ මුව පුරා රැවුල වැවුණු මේ ඡායා රූපයේ මගේ තවත් අමුත්තක්? නායකතුමා මගෙන් ඇහුවා. පස්සේ එතුමාම ඒ ඡායාරූපයේ අනිත් විශේෂත්වයත් පෙන්නුවා. මේ ඡායාරූපය ගත් දිනවල මගේ ඇඟිල්ලක් තුවාල වෙලා තිබුණා. එම තුවාල වූ ඇඟිල්ලේ වෙලුම් පටි යොදා තිබුණු අයුරුත් මේ ඡායා රූපයේ හොඳින් පේනවා. ඒ අබාධය නිසාම ඒ දවස්වල මට මගේ රැවුල කපාගන්න බැරිව තිබුණා. මේ නිසයි ටික දවසකට හරි මට රැවුල නොකපා ඉන්න සිද්ද වුණේ අගමැතිතුමා කිව්වා.

ගන්කන්ද මහතා එම දුලබ ඡායාරූපයේ පූර්ව අපර සබඳතා එහි හිමිකරුවා වන හතරභාගේ විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයාට පවසමින් මහා අනගි වස්තුවක් සේ යළිත් එම ඡායාරූපය තම ලිපි ලේඛන පැස තුළ බහාගත්තා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුනට දැන් නිතර නිතර දුරකථන ඇමැතුම් ලැබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන්. උපන් දින සඳහා සුබ පැතීම හා වෙනත් අවස්ථාවල සැප දුක් විමසීම රාජපක්ෂ මහතා කලක සිට කරගෙන ආවා.එසේ වුවද දැන් එය නිතර නිතර සිදුවන බව දැන ගන්නට තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන කණ්ඩායමේ බොහෝ දෙනකුට දැන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් නිතර නිතර දුරකථන ඇමතුම් ලැබෙනවා.කිසිදු විශේෂ හේතුවක් නැතිව ලැබෙන මෙම දුරකථන ඇමැතුම් මගින් ආගිය තොරතුරු හා පවුලේ සුව දුක් විමසීමද සිදුවෙනවා.

ඒ අතර ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන විමසීමක්ද වනවා.එ.ජා.ප.ය සමඟ එකට වැඩ කිරීම ගැනද මැති ඇමැතිවරුන්ගෙන් රාජපක්ෂ මහතා විමසනවා. මේ ගැන කතා බහකදී ශ්‍රීලනිප ඇමැතිවරයෙක් අන් අයට පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා දැන් දුක්ගන්නා රාළ කෙනෙකු බවට පත්ව සිටින බවයි.නිතර ඇමැතුම් ලබන මැති ඇමැතිවරු ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ දිනවල පක්ෂ සම්මේලනයට සූදානම් වෙමින් සිටිනවා.එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන යෝජනා සම්මත කර ගැනීම සම්මේලනයේදී සිදුවනවා. ඒ සඳහා දේශපාලන යෝජනා කෙටුම්පත් කරන්නේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා කරමින්. මෙවර සම්මේලනයේ ප්‍රධාන අරමුණක් වන්නේ පක්ෂය ශ්‍රීලනිප ආණ්ඩු සමඟ කටයුතු කළ කාලයේ කළ වැරදි ගැන ස්වයං විවේචනයක් කිරීමයි.සම්මේලනයට ඉදිරිපත් කරන ස්වයං විවේචන යෝජනාවට පසුගියදා දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ අටවන සංශෝධනයට ඡන්දය දීම ඇතුළු වැරදි ගණනාවක් ගැන එම ස්වයං විවේචන යෝජනාවේ ඇතුළත් වනවා.

කොමියුනිස්ට් පක්ෂය තුළ මේ වනවිට කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වනවා. ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කළ යුතු බව කියන රාජා කොල්ලුරේ මහතා ප්‍රමුඛ කණ්ඩායම හා එයට වෙනස් මත දරන හේමා විල්බට් මහතා ඇතුළු කණ්ඩායමක් වශයෙනුයි. මෙම කණ්ඩායම් දෙක අතර මත ගැටුම් නිසා පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙන්ම මධ්‍යම කාරක සභාවද නිතරම උණුසුම් වනවා.

මෙම පක්ෂයේ සම්මේලනය සැප්තැම්බර් 29 සිට දින තුනක් පැවැත්වීමට නියමිතයි.එහි සමාරම්භක උත්සවයට තිස්ස විතාරණ මහතාගේ සමසමාජ පක්ෂයට හා වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයටද ආරාධනා කිරීමට තීරණයකොට තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කිරීමට රාජා කොල්ලුරේ මහතා ගෙනා යෝජනාවට අනුමැතිය ලැබුණේ නැහැ. එන පක්ෂවලට කතා දීම පිළිබඳවද ගැටලුවක් මතු වුණා. එහිදී හේමා විල්බට් මහතා කීවේ කවුරු හරි ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කතා කළොත් පාක්ෂිකයෝ හූ කියන්නට ඉඩ තියෙනවා කියායි. එවිට රාජා කොල්ලුරේ මහතා කීවේ එහෙම හූ කියන්නේ ඔය ගොල්ලොම තමයි කියායි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...