රඟපාන රිටි පන්න | දිනමිණ

රඟපාන රිටි පන්න

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

සුද්දන්ට පේන්න මාළු අල්ලන දකුෙණ් රිටිපන්න ධීවරයෝ

රිටිපන්න ධීවර කර්මාන්තය දකුණේ ධීවර කාර්මිකයන්ටම පමණක්‌ ආවේණික වූ කර්මාන්තයකි. නොගැඹුරු මුහුදේ හිටවනු ලැබූ රිටක්‌ මත සිට මසුන් ඇල්ලීම සැබවින්ම ඉතා මනස්‌කාන්ත දර්ශනයකි. මෙය රිටිපන්න ධීවරයාගේ කුසලතාවය විදහා දක්‌වන්නකි. රිටිපන්න කර්මාන්තයේ වසන්ත කාලය මැයි මාසයේ සිට දෙසැම්බර් දක්‌වාය.

මෙකී පන්න ක්‍රමයට ඇත්තේ දිගු ඉතිහාසයකි. මෙම පන්න ක්‍රමය වටා ගෙතී ඇති අතීත කතාන්දරයද ඉතා සුන්දරය. මෙකී කර්මාන්තය සඳහා සවිමත් රිටක්‌ එයට ගැට ගසන ලණුවක්‌ හා ලණුව කොනට ගැටගසන කටුවක්‌ අවශ්‍යය.

අතීතයේ සුලුප්පුවලින් මෙරටට පැමිණි ධීවරයෝ ඇමක් නොමැතිව මාලු බැමේ තාක්ෂණය හදුන්වා දී ඇති බව පැවසේ. ඇමක්‌ නැතිව බිලීබාන මෙම බිලීකටුව ලෝකයේ නවීන තාක්‍ෂණයෙන් දියුණු ජපානය, චීනය, කොරියාව වැනි රටවලටත් තවමත් නිපදවා ගැනීමට හැකියාවක් ලැබී නැති බවද රිටිපන්න ධීවරයෝ පවසති. කොග්ගල අහංගම සිට මාතර දක්වා දිවෙන මුහුදු තීරයේ රිටිපන්න ධීවරයෝ රිටක් මත නැග සිටිනු දැක ගතහැකිය. එහෙත් දැන් රිටිපන්න ධීවරයෝ වෙනදාමෙන් මසුන් අල්ලන්නේ නැත. කොටින්ම කිවහොත් කොරබුරුවකු, බොල්ලෙකු, කූණිස්‌සෙකු රිටිපන්න ධීවරයාගේ ඇමට හසුවන්නේ නැත.

වර්තමානයේ රිටිපන්න ධීවරයෝ රිට මත නැගි බලාගෙන සිටින්නේ විදේශිය සංචාරකයකු තම ඇමට හසුකර ගැනීම සදහාය. දැන් රිටිපන්න ධීවරයාගේ රක්ෂාව රිට මත නැගි විදේශිකයන් වෙනුවෙන් ඡායාරූපවලට මුහුණ දීමය. ඒ වෙනුවෙන් රිටි පන්න ධීවරයන් යම් මිලක් විදේශකයන්ගෙන් අය කරති. රිටිපන්න ධීවරයා දැන් කරණු ලබන්නේ රඟපෑමකි. මාළු පිත්ත මුහුදට දමාගෙන මසුන් අල්ලන අයුරින් රිට මත නැගී සිටිති. දකුණේ වෙරළ තීරයේ සුන්දරත්වය විඳ දරාගැනීමට පැමිණෙන විදේශීය සංචාරකයන් මෙකී රිටිපන්න තොටුපොළවල් මත නතරවී මේ මනස්කාන්ත දර්ශනය තම කැමරා කාචවල සටහන් කර ගනිති.

රිටිපන්න ධීවරයන් විදේශිකයන් රිට මත නංවා බිලීපිත්ත අතට දී රිසි සේ ඡායාරුප ගැනිමට ඉඩකඩ විවර කරදෙති. ඒ වෙනුවෙන් ද මුදලක් අය කරති. බස් රථයකින් පැමිණෙන එක විදේශීය නඩයකින් රුපියල් 2500ක මුදලක් අය කරන බවද පැවසේ.

රිටිපන්න ධීවරයන් මාළුඇල්ලුවේ නැති වුවත් විදේශීය සංචාරකයන් නිසා ඔවුන්ගේ අතමිට සරුවේ නම් ගැටලුවක් ද නැත. මොවුන් මේ වෙනුවෙන් අව්වේ වේළෙමින් දැඩි අරගලයක නිරතව සිටිති.

අහංගම කන්ද රිටිපන්න ධීවර තොටුපොළේ රක්ෂාව කරණ පී. ඩබ්ලිව්. අනිල් ශාන්ත - දැනට වසර විස්සක සිට මේ රැකියාව තමයි කරන්නේ. බෝට්ටුකරුවන් දැල් වට කරලා මාළු අල්ලන නිසා දැන් කුඩා මසුන් නොගැඹුරු මුහුදට එන්නේ නෑ. දැන් අපට රක්ෂාව කරන්න විදියක් නෑ. සාමාන්‍යයෙන් රිටිපන්න ධීවරයන් මසුන් අල්ලන්නේ උදැසන හා සවස්‌ කාලයටය. බෝට්ටුකරුවන් බෝට්‌ටුවලින් ගොස්‌ නයිලෝන් දැල් යොදා මසුන් ඇල්ලීම නිසා මේ මත්ස්‍ය ප්‍රජාව විසිරී යනවා. එය රිටිපන්න ධීවර කර්මාන්තයට මරු පහරක් නිසා විදේශිය සංචාරකයන් වෙනුවෙන් දැන් මේ කර්මාන්තය යොදාගෙන තියෙන්නේ.

දැල් පටිකාරයන් නිසා එක කොරබොරු බොල්ලෙකු හසුවන්නේ නෑ. දැන් මාළු නෑ අල්ලන්න. මේ නිසා රිටිපන්න ධීවරයන් අසරණ වෙලා. විදේශිකයින් එක නඩයක් ආවොත් රුපියල් 1000ක් විතර තමයි දෙන්නේ. දැන් ඉතින් අපි බලාගෙන ඉන්නේ විදේශීය නඩයක් එකකම්. දැන් රිටිපන්න ධීවර කර්මාන්තය අභාවයට ගිහින්. හැම රිටිපන්න තොටුපොළකම කරන්නේ විදේශිකයන් වෙනුවෙන් ඡායාරූපවලට පෙනී සිටීම විතරයි. ඒකෙන් තමයි කියක් හරි ෙහායා ගන්නේ.

ඒ කාලයේ සෑම රිටිපන්න ධීවර තොටුපොළකම පාහේ රේන්ද මහත්තයා නමින් අයකු සිටියේය. රිටිපන්න ධීවරයන් අල්ලනු ලබන මසුන් මිලට ගන්නේ රේන්ද මහත්මයා විසිනි.

රේන්ද මහත්මයෙක් වන ටී. ඩබ්ලිව්. චමින්ද කපිල කුමාර - ඒ කාලයේ රිටිපන්න ධීවරයෝ අල්ලනු ලබන මාළු මට තමයි දුන්නේ. ඒ මාළු විකුණලා මුදල් කරලා ඒ අයට මුදල් දෙන්නේ මම. ඒ තනතුරට තමයි රේන්ද මහත්තාය කියලා කියන්නේ. දැන් මටත් රක්ෂාව නැති වෙලා. රිටිපන්න ධීවරයන් 200ක් විතර මේ අවට ප්‍රදේශවල ඉන්නවා. දැන් රක්ෂාව නැති නිසා කුලී වැඩවලට යනවා.

මුහුදේ වතුර මැද කර වටක්‌ ගොස්‌ වතුරේ සිටුවා ඇති ඉන්නක සමබරව වාඩිවී මාළු බාන මෙම ධීවර පිරිසගේ ජීවන රටාව නම් එතරම් සුන්දර නැත.අපටම ආවේණික වූ මෙකී පන්න ක්‍රමය අපේ ධීවර කාර්මිකයාගේ කුසලතාව විදහා දක්‌වන්නකි. මෙය මතු පරපුර වෙනුවෙන් රැක ගැනීම බලධාරීන්ගේ වගකීමකි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...