බලු වලිගෙට රුපියලයි | දිනමිණ

බලු වලිගෙට රුපියලයි

දඩාවතේ යන බල්ලෝ මරණ රස්සාවේ කතාව

එකල පොඩි උන් මෙල්ල කර ගැනීමට පවුලේ ලොකු අයට උදව් කළේ බිල්ලා පමණක් නොව, බලුවෙඩිකාරයාත් ඒ අතර වූ කෙනෙකි. ... ඕං එනව බලුවෙඩිකාරයා යන පද වැල කණ වැකුණු වහාම බොහෝ පොඩි උන් කළේ ඒ (පද) වැල තෙපලූ කෙනා පිටුපස හැංගී ඉඳීම ය. බලුවෙඩිකාරයා භයානක එකෙකි යනු එකල පොඩි උන් ගේ හැඟීම වීය.

මඩකළපු සරමක් හා උඩුකය වැසූ බැනියමට උඩින් කාකි (පාට) කෝට් බෑයක් ඇඳ, එක අතකින් පන් මල්ලකුත් අනිත් අතින් ගත් පතරොම් තුවක්කුවක් කරේත් තබා ගෙන පාර-තොටේ ගිය බලුවෙඩිකාරයා ගමේ හැම දෙනකු ගේ ම පාහේ හිතවතකු වුව ද ඇතැම් විටක මහ කෙනකු කී බහකට (හිතවත්කමට ම) අවනතව ඔහු ගේ හෝ ඇය ගේ කුඩා එකකු හෝ එකියක හෝ වෙත තුවක්කුව මානා භය කළ හෙයින් උන් තුළ වූ ඉහත කී හැඟීම දෙගුණ තෙගුණ වී තිබුණේ ය.

එකල උන් (දැන් නම් නොමැති) බලුවෙඩිකාරයන් කළ කාරිය වූයේ දඩාවතේ එහෙ-මෙහෙ ගිය බල්ලන්ට වෙඩි තැබීමයි. එම කාරිය නිකම් හිතුමතේට කළ කාරියක් නොව රාජකාරියකි.

අද තිබෙන ප්‍රාදේශීය සභාව හෝ පළාත් සභාව හෝ වෙනුවට එකල තිබූ ගම්සභාව, සුළු නගර සභාව, නගර සභාව හා මහ නගර සභාව යටතේ පත් කර ගත් බලුවෙඩිකාරයන් (දඩාවතේ ගිය) බල්ලන්ට වෙඩි තැබුවේ එම පළාත් පාලන ආයතනවල බල ප්‍රදේශ තුළ පදිංචි ජනයා ජලභීතිකා රෝගයෙන් බේරා ගැනීමට ය.

බල්ලකුට වෙඩි තබා මරා දමන බලුවෙඩිකාරයා ඉන් අනතුරුව කළේ ඔහුගේ ඉනේ රඳවා ගෙන තිබූ හොඳට කැපෙන පිහියෙන් උගේ වල්ගය කපා ගෙන මල්ලේ දමා ගැනීමයි. ඒ, බලුවෙඩිකාරයන්ගේ රාජකාරිය වෙනුවෙන් ඔවුන්ට ලැබුණේ වල්ගයකට රුපියලක ප්‍රමාණයක් බැගින් වූ දීමනාවක් හෙයිනි.

උදේ ආරම්භ කළ බල්ලන්ට වෙඩිතැබීමේ කාරිය නිමකර, කාර්යාල වේලාව තුළ තමා රාජකාරිය කළ ගම්සභාව, සුළු නගර සභාව, නගර සභාව හා මහ නගර සභාව වෙත යන බලුවෙඩිකාරයෝ එහි දී ඔවුන්ගේ වැඩ භාර නිලධාරියා හෝ නිලධාරිනිය හෝ හමු වූ විට ඔහු හෝ ඇය හෝ බලු වල්ග ගැන බලා ඒවා වෙනුවෙන් ලබා දෙන මුදල ගත්හ.

ඉහත කී පළාත් පාලන ආයතන රටාව වෙනුවට ප්‍රාදේශීය සභා පිහිටුවනු ලැබූ අතර මෙකී බලුවෙඩිකාරයන්ගේ රාජකාරියත් අතුරුදහන් වූ හෙයින් ඉන් අනතුරුව මේ රටේ උපත ලැබූවන්ට බලුවෙඩිකාරයා යන්න නිකම් ම නිකම් පදයක් හෙවත් වචනයක් පමණක්ම වනු ඇත.

බලුවෙඩිකාරයන් වඳ වී ගියත් ජලභීතිකාවෙන් ජනයා බේරා ගැනීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළේ අංගයක් ව තිබූ දඩාවතේ යන බල්ලන් මරා දැමීමේ කාර්යය ඒ අයුරින් ම කරනු ලැබුණි. ඒ වෙනුවෙන් යොදවනු ලැබුවේ ගෑස් වෑන්ය. බල්ලන්ට විෂ වායුවක් රැගත් වාහනයක පිටුපස දෙපැත්තේ එල්ලී ගිය (බල්ලන්ට මදු ගැසීමට හුරු) දෙදෙනෙක් එම වාහනය ධාවනය කරවූ මාර්ගයේ දී දුටු බල්ලන් මද්දකට හසුකර ගෙන වාහනය තුළට ගනිති. ඉන් අනතුරුව වරකට ප්‍රමාණවත් තොගයක් එකතු වූ විට ඉහත කී විෂ වායුව යොදා එම තොගයේ වූ බල්ලන් මරා දැමුණේය.

ජලභීතිකාව ව්‍යාප්ත වීමට ආධාරයක් වන්නේ යැයි කියැවෙන දඩාවතේ යන බල්ලන් මරා දැමීමට විෂ වායු යොදා ගැනීම වෙනුවට විෂ ද්‍රව්‍යයක් මිශ්‍ර කළ බත් තැනින් තැන තැබීමට තවත් කාලයක දී මෙරට පළාත් පාලන ආයතන පියවර ගත්තේය.

බලුවෙඩිකාරයන්ගේ කාලයේ දී මෙන් ක්ෂණික මරණයක් වෙනුවට පැය ගණනක් මුළුල්ලේ මරණය කරා ළඟා වීමක් උරුම වූ බල්ලන්ගේ වේදනාව දුටු සත්ව අහිංසාවාදීහුත් තවත් බොහෝ ජනයාත් මේ වැඩකටයුතුවලට එරෙහි වීමේ ප්‍රතිඵලයක් වූයේ බල්ලන් මරා දැමීමේ ක්‍රියාවලිය නතරකර දැමීමට රජය තීරණය කිරීමයි.

ඒ අනුව දැන්, ජලභීතිකා රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ උපාය මාර්ගයක් හැටියට දඩාවතේ යන බල්ලන් මරා දමනු ලබන්නේ නැත. ඒ වෙනුවට කැරෙන්නේ බල්ලන් වන්ද්‍යාකරණය කරලීම ය. හෙවත් බල්ලන් ගේ ප්‍රජනනය ඇති කිරීමට ආධාර වන ඉන්ද්‍රියයන් බෙලහීන කිරීම මාර්ගයෙන් බල්ලන් බෝවීම වළක්වාලීමයි.

මානව පැවැත්මට හිතකර ඕනෑ ම දෘෂ්ටිකොණයකින් බලන කල මෙම උපාය මාර්ගය ඉතා හොඳ එකකි. එහෙත් මෙහිදී මතුවන ප්‍රායෝගික ගැටලු කීපයක් හේතුවෙන් එය වඩාත් ප්‍රතිඵලදායී උපාය මාර්ගයක් වී නැත්තේ ය. ඒ තත්ත්වයට මෙය පත් කර ගැනීමට තවත් බොහෝ පියවර ගත යුතු ම වනු ඇත.

එතෙක්, දිනෙන් දින වර්ධනය වන මෙරට මග-තොට සුනඛ ගහණය රජයේ ජලභීතිකා මර්දන ව්‍යාපාරය පැත්තෙන් බලන කල පමණක් නොව මහ මග අනතුරු වැළැක්වීම ඇතුළු තවත් පැතිවලිනුත් බලන කල මේ රටේ මහජන සෞඛ්‍යය භාර රාජ්‍ය හා පළාත් පාලන ආයතනවලට මෙන් ම ඒ ඒ කාරිය භාර අනිකුත් රාජ්‍ය ආයතනවලටත් මහත් අභියෝගයක් වන්නේ ම ය.

ඉහත කී ආයතන මෙකී අභියෝගය භාර ගන්නා තුරු දැන් දඩාවතේ යන බලුගහණය පාලනය වන්නේ මැල්තස් ගේ න්‍යායටය. ආර්ථික විද්‍යාඥයකු වූ මැල්තස් (Thomas Robert Malthus) පළ කළ එක්තරා න්‍යායයක (Mathusian Theory of Population) දක්වා ඇත්තේ පෘථිවියට දරා ගත නොහැකි වන තත්ත්වයක ජනගහණ වර්ධනයක් පවතින අතරතුර භූමිකම්පා, ගංවතුර, නායයෑම්, කුණාටු, සුළිසුළං හෝ මුහුද ගොඩගැලීම් හෙවත් ත්සුනාමි හෝ මගින් ද යුද්ධ මගින් ද එම තත්ත්වය පාලනය වන බව යි.

දැන් දැන්, මග-තොට බලුගහණය වර්ධනය වීම වැළැකෙන්නේත් මැල්තස් (මෝල්තස්) ගේ එකී න්‍යායට අනුව ම බව පෙනී යයි--එක් දිනක අම්පාර හා මහනුවර අතර මහඔය, මහියංගණය, වංගු දහඅට හා හුන්නස්ගිරිය හරහා වැටී තිබෙන මාර්ගයේ ගමන් ගද්දී දුටු (වාහන අනතුරුවලින් මරණයට පත් ව උන් බල්ලන් ප්‍රමාණය 13 වීය.

මේ අයුරින් ම බොහෝ සුනඛයෝ මහ මග මැරෙති. ඒ බව දෙනෙත් හැර මග-තොට යනෙන අතරතුර දැකිය හැකි වනු ඇත්තේ ය.

මැල්තස්ගේ න්‍යායට (Essay on the Principle of Population-1798) පාරවල්වල මැරෙන බල්ලෝ යැයි කියා ඇත්තේ එහෙයිනි. එසේ නොමැතිව, මැල්තස්ගෙන් ලබා ගත් ණයක් හේතුවෙන් බල්ලන් මහ පාරේ මැරෙන වගක් කීමට නොවේය.

මහවැලි කලාපීය නවරත්න බණ්ඩාර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...