20 ට බය ඇයි ? | දිනමිණ

20 ට බය ඇයි ?

රිලේ ක්‍රමයේ මැතිවරණ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට වන හානිය වන්නේ එක් පළාතක හෝ පළාත් කිහිපයක මැතිවරණයක් පැවැත්වෙන විට ඒ කෙරෙහි සමස්ත ආණ්ඩුවේම බලය, ශක්තිය හා අවධානය යොමු කිරීමට හැකි වීමයි. එය ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා සිදු කළ හැකියි. ඒ වගේම රාජ්‍ය සම්පත් එක් කේන්ද්‍රයකට ඉතා පහසුවෙන් යොමු කළ හැකියි. මේ හරහා කෘත්‍රීම ජනමතයක් නිර්මාණය කිරීමට ඉතා පහසුවෙන් අවස්ථාව උදා වෙනවා. පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ ඉතා සාර්ථකව අත්හදා බැලුවේ මේ දූෂිත ක්‍රමයයි.

“කල දුටු කල වළ ඉහගන්නවා” කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. මේ වැඩේ කරන්න අපි කවුරුත් බොහොම කැමැතියි. විශේෂයෙන් දේශපාලනඥයෝ මේ වැඩේට මොන තරම් කැමැති ද කියලා කියනවා නම් ඕනෑම දේශපාලන අවදානමක් අරන් වළ ඉහගන්න සූදානම්.

අද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ කල්ලිය මේ සූදානම් වෙන්නේ නැවත වරක් කොහොම හරි වළ ඉහගෙන කන්න බව අපි හැමෝටම පැහැදිලියි. ඒත් ප්‍රශ්නේ තියන්නේ ‘කල දුටු කල වළ ඉහගෙන කන්න ගිහින් ’ මුහුණ දුන්න අභාග්‍යය සම්පන්න ඉරණම මේ කල්ලියට මේ තරම් ඉක්මනින් අමතක වීමයි.

ඉහවහා ගිය ප්‍රජාතන්ත්‍රවාදය

අද මහින්ද රාජපක්ෂ කල්ලිය තරම් ප්‍රජාතන්ත්‍රවාදීන් පුරාණ ග්‍රීසියෙන්වත් හොයා ගන්න පුළුවන්ද කියලා සැකයි. අද මහින්ද රාජපක්ෂ ඒ තරම්ම ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙලා තියෙන්නේ කොහොමද කියන එක රාජපක්ෂ යුගය ගැන පුංචි මතකයක් හරි තියෙන පුරවැසියන් අද දස අතේ කල්පනා කරනවා. මොකද රාජපක්ෂ යුගය ගැන මතකයක් තිබෙන ඕනෑම කෙනෙකුගේ මතකයට එන්නේ අද ඔවුන් විසින් මහත් සතුටින් කතා කරන බොහෝ දේවල් එදා ‘නයාට අඳු කොළ’ වගේ වෙලා තිබුණ බවයි. උදාහරණයක් විදිහට අද ආර්ථිකය සම්බන්ධ ඕනෑම පනතක්, ගිවිසුමක් ආණ්ඩුවෙන් ඉදිරිපත් වෙන කොට බන්දුල ගුණවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දුවනවා. ගිහින් තීන්දුවක් ගන්න බලනවා. ජනමාධ්‍ය ඉස්සරට ඇවිත් ගල් පැළෙන තර්ක කරමින් ආණ්ඩුව බිමට සමතලා කරන්න උත්සාහ කරනවා. බන්දුල ගුණවර්ධන මෙහෙම කරන කොට මේ රටේ සිහි කල්පනාව තිබෙන ජනතාවගේ මතකයට එක් වරම “2500 කතාව” එනවා. ‘සක්‍රයාගේ පුතා වයිමාගේ කතාව’ සිහියට එනවා. ඉතිං ජනතාව කල්පනා කරන්නේ ‘මුන්ට 2015 දුන්න බැටේ ආයේ කවදාද දෙන්නේ ?’ කියලා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජකාරීමය වශයෙන් නීතිපතිවරයාව අරලියගහ මන්දිරයට කැඳවලා සාකච්ඡා කරන කොට ‘නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට බලපෑම් කරනවෝ’ කියලා ඒකාබද්ධ කල්ලිය කෑගහනවා. ‘අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා’ කියලා කෑගහනවා. මේ කෑගැහිල්ලේ තරම නිසා එකපාරටම ඇහැරෙන ජනතාව මොහොතක් කල්පනා කරනවා. ඊට පස්සේ මෙන්න මතකෙට එනවා. නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති යටතට පවරා ගත්ත ආකාරය, කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක මොහාන් පීරිස්ව අගවිනිසුරු කළ ආකාරය, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් පළවා හැරිය ආකාරය, වාගේ රාජපක්ෂ යුගයේ සිදුවීම් ජාලයම.

මේ වගේ කතා සිය දහස් ගණනක් තිබෙනවා. කොටින්ම අද මහින්ද රාජපක්ෂලා තමන් රට පාලනය කළ දශකයකට ආසන්න ඉතිහාසය ඉතාම ඉක්මනින් අමතක කරලා .ජනතාවත් එහෙම කරලා ඇති කියලා හිතාගෙන යළිත් බලය අල්ලා ගන්න සටකපට උත්සාහයක් ගත්තාට ඇත්තටම 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට දිවිහිමියෙන් කැප වූ ජනතාව ඒ අපකීර්තිමත් යුගය අමතක කරන්න කිසිම සූදානමක් නැහැ. ඒකට හේතුව තමයි ‘අද මහින්ද හිටියා නම් ?’ කියන දැඩි ප්‍රශ්නාර්ථය ජනතාව හමුවේ තිබෙන නිසා. එවැනි යුගයක් කිසිසේත් ජනතාවගේ යහපතට නොවන බව ඔවුන් දන්න නිසා. කොටින්ම ‘ගහ දන්න මිනිහට කොළ කඩා පාන්න’ වුවමනාවක් නැති නිසා. ඒ නිසා ග්‍රීසියෙන්වත් නොතිබුණ ගානේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන අද ඒකාබද්ධ කල්ලිය කොතරම් පාරම්බෑවත් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද ඔවුන් ඉතාම සටකපට විදිහට ඉතිහාසය අමතක කළා වාගේ වැඩ කළාට ජනතාවට ඒ ඉතිහාසේ වේදනාව තවමත් රිදුම් දෙන නිසා.

හැමදාම ඡන්ද තිබ්බ හැටි

අද මහින්ද රාජපක්ෂ කල්ලිය කියන්නේ ‘යහපාලන ආණ්ඩුව මැතිවරණ සිතියම අකුලලා’ කියලා. ‘ඡන්ද තියන්න බයයි’ කියලා. ‘රාජපක්ෂ යුගයේ ඇති පදම් ඡන්ද තිබ්බා’ කියලා.

මේ කතා ඇත්ත කියලා ඕනෑම කෙනෙකුට එක පාරටම හිතෙනවා. ‘ඇත්ත තමයි 2015 අගෝස්තු 17 න් පස්සේ අවුරුදු දෙකක් ගියත් තාම එකම එක ඡන්දයක් තිබ්බේ නැහැ තමයි’. ‘ඒකට මහින්ද මහත්තයාගේ ආණ්ඩුව ඇති පදනම් ඡන්ද තිබ්බා. ඡන්දයක් නොතිබුණ අවුරුද්දක් නැහැ’ ජනතාවට මෙහෙම හිතෙන එකේ පුදුමයකුත් නැහැ තමයි. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්ද ජනාධිපති පදවියට පත් වුණේ 2005 අප්‍රේල් මාසේ පැවැති ජනාධිපතිවරණයෙන් පස්සේ ඡන්දයක් නොතිබුණ අවුරුද්දක් නොගෙවුණු නිසයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2006 දී පළාත් පාලන මැතිවරණයත්, යාපනය 2008 දී සබරගමුව, උතුරු මැද හා නැඟෙනහිර පළාත් සභා මැතිවරණයත් තිබ්බා. 2009 දී ඌව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය සහ යාපනය සහ වවුනියාව නගර සභා මැතිවරණයත්, 2010 දී ජනාධිපතිවරණය සහ මහා මැතිවරණයත්, 2011 දී පළාත් පාලන මැතිවරණයත්, 2012 දී නැඟෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණයත්, 2013 දී උතුරු සහ වයඹ පළාත් සභා මැතිවරණයත්, 2014 දී ඌව සහ දකුණු පළාත් සභා මැතිවරණයත් තිබ්බා. නැවත අවුරුද්දකට කලින් ජනාධිපතිවරණයක් තිබ්බා. මේ අනුව අපිට පැහැදිලි වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ 2005 සිට 2015 දක්වා මැතිවරණයක් නොමැතිව ගත වුණේ 2007 වසර පමණක් බවයි. 2009 වාගේ අවුරුදුවල ඡන්ද දෙකක් තිබුණා. හරියට ගණන් බැලුවොත් 2005-2015 අතර විවිධාකාර මැතිවරණ 11ක් පැවැත්වීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන් වුණා.

මේක ප්‍රජාතන්ත්‍රවාදයද ?

මේ ආකාරයෙන් හැමදාම ඡන්ද තියන එක ප්‍රජාතන්ත්‍රවාදය මනාව අභ්‍යාස කිරීමක් කියලා කාට වුණත් හිතෙන්න පුළුවන්. එදා වගේම අදත් මහින්ද රාජපක්ෂ කල්ලිය කියන්නේ ‘හැමදාම ඡන්ද ’ තියන එක ‘සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක්’ කියලා.

කතාව බැලූ බැල්මට ඇත්ත. ඒත් ‘කියන කොට එහෙමයි - කරන කොට මෙහෙමයි’ කියලා කිවුවා වගේ රාජපක්ෂ ආණ්ඩුව මේ ආකාරයට ඡන්ද තිබ්බේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නද ? ජනතාවට තමන්ගේ මතය නිවැරදිව ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමටද ?’ කියලා අපි විමසා බැලිය යුතුයි.

මහින්ද රාජපක්ෂ යුගයේ ඡන්ද සිතියම හැමදාම දිග ඇරගෙන තිබුණේ හේතු කිහිපයක් නිසාය. ප්‍රධානම කරුණ වුණේ ‘කල දුටු කල වළ ඉහ ගැනීම’ යන න්‍යාය. මොකද මහින්ද රාජපක්ෂ 2005 දී ජනාධිපතිවරණය දිනා ගත්තේ ඉතාම අසීරුවෙන්. රාජපක්ෂ මහත්තයා ලැබුවේ ඉතා සියුම් ජයග්‍රහණයක්. ඒක ඡන්ද 185,000කටත් වඩා අඩු අගයක්. එදා යාපනයේ දමිළ ජනතාවට ඡන්දය භාවිත කිරීමට කොටි නායක ප්‍රභාකරන් ඉඩ දුන්නා නම් මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිවම පරාජයට පත් වෙනවා.

මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ තමන් ලැබුව සීමිත ජයග්‍රහණය අසීමිත බලයක් බවට පත් කර ගැනීමට ක්‍රම කිහිපයක් භාවිත කළා. ඒ අතර ඉතාම පහසු ප්‍රවේශය වුණේ විපක්ෂයේ (එජාප මන්ත්‍රීන්) බිලී බා ගැනීම. ඔහු ඒක හිතුවාටත් වඩා පහසුවෙන් හා ජයග්‍රාහී ලෙස අවසන් කළා. රාජපක්ෂ මහතාගේ ඊළඟ ප්‍රවේශය වුණේ ජනාධිපති බලයයි, පාර්ලිමේන්තු බලයයි දෙකම උපරිම වශයෙන් භාවිත කරමින් කඩිනම් මැතිවරණවලට යාම. ඒ නිසා තමයි අපට 2005 සිට 20015 දක්වා ජාතික මැතිවරණ 11ක් ලැබෙන්නේ.

එදා මැතිවරණ සිතියම දිහහැරලා තිබුණේ ජනාධිපති මන්දිරයේ බව කවුරුත් දැන සිටි කරුණක්. මැතිවරණ දින නියම කළේ මැතිවරණ කොමසාරිස්වරයා නොවෙයි. රාජපක්ෂ කල්ලිය වටා සිටි ජ්‍යෙතිෂ්‍යවේදීන් විසින්. මැතිවරණ පැවැත්වුණේ ආණ්ඩුවට උපරිම වාසියක් ලබාගත හැකි පහසු ප්‍රවේශයන්වල පමණයි. ඒ නිසා රාජපක්ෂ ආණ්ඩුව තමන්ට වාසි තැන් තෝරා බේරා ගෙන ඉතාම සටකපට ලෙස මැතිවරණ දින නියම කළා.

උදාහරණයක් විදහට 2006 පළාත් පාලන මැතිවරණය සැලකිය හැකියි. ජනාධිපතිවරණය ජයගත් වහාම ඒ උණුසුම මැද පැවැත් වූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා. එජාපය රැක ගත්තේ කොළඹ මහ නගර සභාවයි .තවත් කිහිපයකුයි පමණයි. 2008 වන විට ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ගමන් කරමින් තිබූ යුද්ධයේ ප්‍රචාරක වාසිය හා ජනතා අවධානය උපරිමයෙන් ලබා ගන්න 2008 දී නැඟෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත් සභා ඡන්දය තිබ්බා. ඒ සඳහා සමස්ත ආණ්ඩුවම, රාජ්‍ය සම්පත් සහ යුද ජයග්‍රහණය උපරිම වශයෙන් භාවිත කළා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත්ම රණවිරුවෙක් වූ ජෙනරාල් ජානක පෙරේරා එදා උතුරු මැද පළාතට එජාපයෙන් ඉදිරිපත් වුණා. ඒ නිසා ඒ අභීත රණවිරුවාගේ චරිතය ඝාතනය කරමින් කළ හැකි උපරිම හානිය රාජපක්ෂ ආණ්ඩුව විසින් කළා.

2009 වසර ආරම්භ වන්නේ යුද ජයග්‍රහණයේ තීරණාත්මක හෝරාව සටහන් කරමින්. ‘තැටිය රත් වුණාම රොටිය හොඳට පිච්චෙන බව දන්න රාජපක්ෂ ආණ්ඩුව 2009 දී මේ යුද ජයග්‍රහණයේ උපරිම වාසිය ගන්න දකුණ, ඌව, බස්නාහිර, මධ්‍යම හා වයඹ පළාත් ඡන්දය තිබ්බා. අපේක්ෂා කළ ආකාරයෙන් විපක්ෂය විනාශ කරමින් දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා.

2010 ජනාධිපතිවරණය අවුරුද්දකට කලින් කැඳවන්නේ, ජනපතිවරණය දිනාගත් වහාම මහ මැතිවරණය පවත්වන්නේ මේ ආකාරයෙන්ම ‘කල දුටු කල වළ ඉහ ගන්න’ වුවමනා නිසා මිස රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ දොවොල වුණ නිසා නොවෙයි. යුද ජයග්‍රහණය, විපක්ෂයේ අර්බුද තමන්ගේ වාසියට උපරිම වශයෙන් භාවිත කළ හැකි නිසයි. ඒ නිසා ‘ආණ්ඩුව මැතිවරණ සිතියම හකුලනවෝ ’ කියලා බෙරිහන් දෙන මේ සියලු පාර්ශ්වයන්ට තමන්ගේ කාලය දෙස අවධානය යොමු කරන්න කියලා කිව යුතුයි. එතකොට තමන්ගේ පෙට්ටගම් අස්සේ මොන තරම් ඇටසැකිලි තිබෙනවාද කියලා සොයා ගත හැකියි.

බැසිල් කළ දේ පළ දෙන හැටි

යහපාලන ආණ්ඩුව අද දැඩි විවේචනයට ලක් වන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම සහ පළාත් සභා මැතිවරණ සියල්ල එකම දිනයක පැවැත්වීමට සැලසුම් කරමින් සිටින නිසයි.

මෙහිදි පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාමට හේතු ජනතාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් දන්නවා. එදා බැසිල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී කටයුතු කළ දැඩි අවස්ථාවාදී ආකාරයට මේ කල් යාමට හේතු වූ බව පැහැදිලියි. එදා බැසිල් රාජපක්ෂගේ සීමා නිර්ණය සැලසුම් විමල් වීරවංශගේ දැඩි විවේචනයට ලක් වුණ බව ජනතාවට හොඳින් මතකයි. සදා කාලිකව බලයේ රැඳී සිටීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදයම අවියක් කොට ගැනීමට එදා රාජපක්ෂවරුන් ඉතා සටකපට ආකාරයෙන් ක්‍රියා කළ ආකාරයට කදිම උදාහරණයක් විදිහට පළාත් පාලන සීමා නිර්ණය සැලකිය හැකියි. එදා තමන්ගේ දේශපාලන පැවැත්ම සදාකාලික කර ගන්න රාජපක්ෂලා කළ ඊනියා සැලසුම් අද පාරාවළල්ලක් වී ඇත්තේ ඔවුන් කිසිදා නොසිතූ ආකාරයටයි.

ඒකාබද්ධ කල්ලිය 20ට බය ඇයි ?

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විවේචනයට හා විරෝධයට හේතු වෙලා තිබෙනවා. රාජපක්ෂවරු යළි බලයට ගෙන ඒමේ හීන දකින පළාත් සභා මන්ත්‍රීවරු කණ්ඩායමක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා මට්ටමේදී පරාජයට පත් කරමින් සිටිනවා. මෙය අපි කවුරුත් බලාපොරොත්තුවෙන් සිටි තත්ත්වයක්. මොකද මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලනය කරන බොහෝ දෙනෙකුට යහපාලන භාවිතය නයාට අඳුකොළ වගෙයි. ඔවුන් අවශ්‍ය වන්නේ රාජ්‍ය සම්පත් හා බලය උපරිමයෙන් අවභාවිත කළ හැකි මජර පාලනයක් මිස යහපාලන ආණ්ඩුකරණයක් නොවෙයි.

ඒත් 20 සම්බන්ධයෙන් රාජපක්ෂ කල්ලිය කොළේ වසා කතා කිරීම නිසා ජනතාව අතර දැඩි කුකුසක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒකට රාජපක්ෂවරුන් දීර්ඝ කාලීන භාවිත කරන ගොබෙල්ස්වාදී මාධ්‍ය භාවිතයටත් ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා.

මේ තත්ත්වය තුළ අපට රාජපක්ෂ කල්ලියෙන් අසන්න තිබෙන්නේ ‘ඔබලා 20ට මේ තරම් බය ඇයි ?’ කියලයි.

මේ භීතියට හේතුව පැහැදිලියි. ඒ රාජපක්ෂ පන්නයට කඩින් කඩ මැතිවරණ තිබ්බොත් ඒකාබද්ධ කල්ලියට තමන්ගේ මුළු ජවයම යොදලා පළාතක් හෝ පළාත් කිහිපයක මැතිවරණ ජයග්‍රහණයට කැප වෙන්න පුළුවන්. ඒ වගේම පසුගිය කාලය පුරාම වපුරපු අන්ත ජාතිවාදී හා ආගම්වාදී ප්‍රචාරවල අස්වැන්නත් අඩුවක් නැතිව කපා ගන්න පුළුවන්. ඔවුන් මේ සූදානම් වෙන්නේ 2005-2015 අතර කාලය පුරාම අත්හදා බැලුව සෙල්ලම බලය නැති විටත් අත්හදා බලන්න. ඒ නිසයි ඔවුන් රාජපක්ෂ පන්නයේ ‘රිලේ ඡන්දවලට’ වඩාත් කැමැති වෙන්නේ.

ඒත් රාජපක්ෂ පන්නය අනුව කඩින් කඩ පළාත් සභා මැතිවරණ පැවැත්වීම ජනතාවගේ පැත්තෙන් වගේම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් පවා හානිකර තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. ඒ වගේම මෙවැනි රිලේ මැතිවරණ නිසා සමස්ත සමාජයම, විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණයම යම් සැලකිය යුතු අඩපණවීමකට ලක්වන තත්ත්වයක් උදා වෙනවා. මේ තත්ත්වය ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙනුත් දැඩි හානියක්.

රිලේ මැතිවරණ එදා ඇයි ?

රිලේ ක්‍රමයේ මැතිවරණ නිසා ප්‍රජාතන්ත්‍රවාදයට වන හානිය වන්නේ එක් පළාතක හෝ පළාත් කිහිපයක මැතිවරණයක් පැවැත්වෙන විට ඒ කෙරෙහි සමස්ත ආණ්ඩුවේම බලය, ශක්තිය හා අවධානය යොමු කිරීමට හැකි වීමයි. එය ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා සිදු කළ හැකියි. ඒ වගේම රාජ්‍ය සම්පත් එක් කේන්ද්‍රයකට ඉතා පහසුවෙන් යොමු කළ හැකියි. මේ හරහා කෘත්‍රීම ජනමතයක් නිර්මාණය කිරීමට ඉතා පහසුවෙන් අවස්ථාව උදා වෙනවා. පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ ඉතා සාර්ථකව අත්හදා බැලුවේ මේ දූෂිත ක්‍රමයයි.

අනෙක් අතින් එක් පළාතට මැතිවරණ ප්‍රතිඵල ඊට පසුව පවත්වන අනෙක් පළාතේ ජනමතය කෙරෙහි ඍජුව බලපානවා. එය දේශපාලන යථාර්ථයක් වශයෙන් සැලකිය හැකියි. එදා රිලේ මැතිවරණ මගින් රාජපක්ෂ ආණ්ඩුව මේ වාසිය උපරිම ආකාරයෙන් අභ්‍යාස කළ ආකාරයට අපට මතකයි.

අද යහපාලන ආණ්ඩුව සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීමට සැලසුම් කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඉතා සටකපට ආකාරයෙන් භාවිත කළ මේ ක්‍රමවලට තිත තැබීම සඳහායි. මොකද කිසිදු තර්කානුකූල පදනමකින් තොරව පළාත් සභා ඡන්ද තමන්ට වාසිදායක ආකාරයට හසුරුවා ගැනීම සඳහා රිලේ ක්‍රමයට තබන පිළිවෙතක් අනුගමනය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එයට යහපාලනයේදී හෝ තිත තැබිය යුතු බව ජනතාවගේ විශ්වාසයයි.

පළාත් සභා ඡන්ද කඩින් කඩ පවත්වන විට මැතිවරණ සඳහා යන පිරිවැය ද විශාල අගයකින් ඉහළ යන බව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විශේෂඥයෝ කියනවා. ඒ එය ආණ්ඩුවකට දැරිය නොහැකි පිරිවැයක් බව පැහැදිලියි. අද ජනතාවගේ අපේක්ෂාව වන්නේ හැකි තරම් පිරිමැසුම්දායක ආර්ථික භාවිතයක් මිස රාජපක්ෂ පාලන සමයේ වගේ රාජ්‍ය සම්පත් දැවැන්ත ලෙස අවභාවිත කරන ක්‍රමයක් නොවෙයි. මොකද තමන්ගේ දේශපාලන පැවැත්ම හා වාසිය වෙනුවෙන් රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමට යහපාලනය තුළ කිසිදු ආකාරයක අවකාශයක් නැහැ.

ඒ නිසා යහපාලනිකයන් වශයෙන් අප සියලු දෙනාගේම අපේක්ෂාව වන්නේ ‘කල දුටු කල වළ ඉහ ගැනීමට’ මාන බලන රාජපක්ෂ කල්ලියේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව නොව ජනතාව අපේක්ෂා කරන යහපාලන න්‍යාය පත්‍රය මත පමණක් ආණ්ඩුව ඉදිරියට යනවා දැකීමයි

සටහන භාතිය බරුකන්ද 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...