දුර්වල ක්‍රීඩා විලාසය ශ්‍රී ලංකා පිලේ විශ්වාසය බිඳ දමයි | දිනමිණ

දුර්වල ක්‍රීඩා විලාසය ශ්‍රී ලංකා පිලේ විශ්වාසය බිඳ දමයි

ෆවුස් මොහොමඩ්
නවින් හීනකංකානම්ගේ චිනතායිපේ සමග පැවැති තරගයේදී

විශ්වාසනීයත්වයෙන් සහ තරගකාරීත්වයෙන් යුතුව ක්‍රීඩා කිරීමට අසමත්වීම නිසා ඊයේ (1) හොංකොං හී කොවුලූන් නුවර කිංග්ස් පාක් ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම රගර් පිටියේ ආරම්භ වූ ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමු අදියරේ තරගාවලියේ පළමු දිනයේ එක් තරගයක් පමණක් ජයගත් ශ්‍රී ලංකාවට ‘බී’ කාණ්ඩයේ තුන්වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකා පිල අද (2) චීනයට එරෙහිව කුසලානය සඳහා වන අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.36ට ආරම්භ කෙරේ.

මූලික වටයේ තරග නිමාවට පත්වෙද්දී ‘ඒ’ කාණ්ඩයෙන් හොංකොං පිල පෙරමුණ ගත් අතර ජපානය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේය.

ඊයේ ජපානය සමග ‘බී’ කාණ්ඩයේ සිය පළමු තරගයට මුහුණදුන් ශ්‍රී ලංකා පිලට ලකුණු 5 (උත්සාහක දිනුමක්) -33ක (ගෝල 4ක්, උත්සාහක දිනුමක්) පරාජයක් විඳ ගැනීමට සිදුවූ අතර ඊයේ පස්වරු දකුණු කොරියාව සමග පැවති මූලික වටයේ සිය අවසන් තරගයෙන් ලකුණු 14 (ගෝල් 2) -24ක (ගෝල් 2, උත්සාහක දිනුම් 2) පරාජයක් අත් විඳගත්තේය. ශ්‍රී ලංකා පිල ඊයේ ජයගත් එකම තරගය වූයේ චීන තායිපේ පිලට එරෙහිව ලකුණු 52 (ගෝල් 6, උත්සාහක දිනුම් 2) -7 කින් (ගෝල 1) ජයගත් තරගයයි.

පන්දුව පිරිනැමීමේ අවස්ථාවේදී එය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් දැක්වූ අසාර්ථකබව (Securing Kick off Ball) තරගය පුරා කැපී පෙනුණු අතර ශ්‍රී ලංකාවට ජයගැනීමට තිබූ දකුණු කොරියාව සමග පැවැති තරගයේ පරාජයට එය ප්‍රබල සාධකයක් විය.

එම තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු නවසීලන්ත ජාතික පීටර් වුඩ්ස් ‘දිනමිණ’ට කියා සිටියේ ක්‍රීඩකයන්ගේ දුර්වලතා නිසා තරගයෙන් පරාජයට පත්වීමට සිදුවීම කනගාටුදායක කරුණක් බවය.

‘අභියෝගාත්මක ආකාරයෙන් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිල අසමත්වුණා. මෙය දිනිය යුතුව තිබුණු තරගයක්. වැඩිපුර බලාපොරොත්තු තබාගෙන හිටියා. අපේ තරුණ ක්‍රීඩකයන්ට තව ඉගෙන ගන්න තියෙනවා. එයාලා තරුණ නිසා අත්දැකීම් අඩු නිසා විශ්වාසය ඉක්මනින්ම බිඳ දමාගත්තා.’ වුඩ්ස් කීවේය.

දකුණු කොරියාව සමග පැවැති මූලික වටයේ අවසන් තරගයේ පළමු මිනිත්තුවේදීම නායක සුදර්ශන මුතුතන්ත්‍රී මිටර් 50කට ආසන්න දුරක් වේගයන් දිවයමින් අනගි උත්සාහක දිනුමක් තබමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූ අතර තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට පත් කරමින් ලකුණු 7-0කින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ගියේය. ඉන් අනතුරුව දකුණු කොරියාව උත්සාහක දිනුමක් තබමින් ලකුණු පරතරය අඩු කරගනිද්දී සුදම් සූරියආරච්චිගේ විශිෂ්ට උත්සාහක දිනුමක් තරින්ද විසින් නැවත ගෝලයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 14-5කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. එහෙත් පළමු භාගය නිමාවීමට පෙර ගෝලයක් වාර්තා කළ දකුණු කොරියාව ලකුණු සංඛ්‍යාව පරතරය 14-12කින් අඩුකරගත්තේය. දෙවැනි භාගයේදී විශ්වාසනීයත්වය බිඳ දමාගත් ශ්‍රී ලංකා පිලේ තරුණ ක්‍රීඩකයන් ඇද බැඳ තබාගත් දකුණු කොරියාව උත්සාහක දිනුමක් සහ ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජය අත්කරගත්තේය.

කෙසේ වුවත් තායිලන්තයට එරෙහිව පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 52-7ක දැවැන්ත ජයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එම තරගය පුරා ඉතා විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් උත්සාහක දිනුම් 8ක් තැබීමට සමත් වූ අතර ඉන් 6ක්ම ගෝල බවට පත් කළේය. පළමු භාගය නිමාවනවිට ශ්‍රී ලංකා පිල ලකුණු 26-7කින් ඉදිරියෙන් පසුවිය. පන්දුව පිරිනැමීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පිල දක්වන අසාර්ථකභාවය මේ තරගයේදී බොහෝ දුරට මඟහරවා අතර උත්සාහක දිනුම් කිහිපයක්ම වාර්තා වූයේ එම සාර්ථකත්වය තුළිනි. කවිඳු පෙරේරා සහ නවීන් හීනකංකානම්ගේ උත්සාහක දිනුම් 2 බැගින් තැබීමට සමත්වීම කැපී පෙනුණි.

සුදම් සුරියආරච්චි, නවීන් හීනකංකානම්ගේ, බුද්ධිම පියරත්න සහ සමිත් ධනංජය මේ තරගයේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළේ පළමුවරටය.

කුසලාන වටයේ සෙසු අර්ධ අවසන් පූර්ව තරගවලදී හොංකොං පිල චීන තායිපේ කණ්ඩායම සමගත්, පිලිපීන කණ්ඩායම දකුණු කොරියාව සමගත්. ජපාන කණ්ඩායම මැලේසියාව සමගත් තරග වැදීමට නියමිතය.

පළමු දිනයේ තරග ප්‍රතිඵල

ජපානය 33 - ශ්‍රී ලංකාව - 05, දකුණු කොරියාව 43- චීන තායිපේ 7, හොංකොං 31- මැලේසියාව 0, චීනය 22- පිලිපීනය 05, ශ්‍රී ලංකාව 52- චීන තායිපේ 07, ජපානය 33- දකුණු කොරියාව 10, හොංකොං 38- පිලිපීනය 10, චීනය 54- මැලේසියාව 14, ජපානය 38- චීන තායිපේ 0, දකුණු කොරියාව 24- ශ්‍රී ලංකාව 14, හොංකොං 26- චීනය 7, පිලිපීනය 33- මැලේසියාව 0.

 

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...