ක්‍රිකට් අනාගතය පිළිබඳ දින 2කදී වචන දෙකක් | දිනමිණ

ක්‍රිකට් අනාගතය පිළිබඳ දින 2කදී වචන දෙකක්

ප්‍රින්ස් ගුණසේකර

ඉන්දියාවට එරෙහි සිවුවැනි එක්දින තරගයට පෙර දිනයේ වසර 2023 දක්වා ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව පැවැසූ ලසිත් මාලිංග, එම තරගයේදී ලද දැවැන්ත පරාජයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඉදිරි මාස තුනක කාලය ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන බව සඳහන් කරයි. ලසිත් මාලිංග දින දෙකක් තුළදී තම ක්‍රිකට් අනාගතය පිළිබඳ ‘වචන දෙකක්’ පැවැසීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව පවතින අතර ඔහුගේ පන්දු යැවීම පිළිබඳවද ප්‍රබල කතිකාවක් නිර්මාණයවී තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පෙරේදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 168ක දැවැන්ත පරාජයක් හිමිවූ අතර මාලිංග ඕවර් 10ක් යවා ලකුණු 82ක් ලබාදී කඩුල්ලක් දවා ගත්තේය. එය ඔහුගේ 300වැනි කඩුල්ල වූ අතර මෙයට පෙර ශ්‍රී ලංකා එක්දින පිටියේ කඩුලු 300 සමාජයට පැමිණ තිබුණේ මුරලිදරන් (523), වාස් (399) හා ජයසූරිය (320) පමණි.

මාලිංග ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ මේ දක්වා පැවැති තරග 4කදී ඕවර් 31ක් යවා ලකුණු 208ක් ලබාදී කඩුලු 2ක් දවා ගැනීමට සමත්ව ඇත. එම දත්ත අනුව ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නාගෙන් ඕවරයකට ලකුණු 6.70ක සාමාන්‍යයක් ඉන්දියාව ලබාගෙන ඇත. ඉන්දීය ආරම්භක වේග පන්දු යවන බුම්රා ඕවර් 33.2කදී ලකුණු 124කට කඩුලු 13ක් ලබා ඇති අතර, ඔහු ඕවරයකට ලබාදී ඇති ලකුණු සාමාන්‍ය 3.72කි.

“මාගේ පාදයේ ඇතිවූ ආබාධය නිසා මාස 19ක් ක්‍රීඩා කළේ නෑ. පසුව නැවැත ක්‍රිකට් පිටියට ඇවිත් සහභාගීවූ සිම්බාබ්වේ හා ඉන්දීය සංචාරවල දක්ෂතා අතරට එන්න බැරි වුණා. මා මේ සංචාරය නිමාවූ පසුව බලනවා මාගේ ශරීර සෞඛ්‍ය අනුව කෙතරම් දුරක් යා හැකිද කියා. මා කෙතරම් අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වුණත් තරගයක් දිනවන්න බැරි නම්, කණ්ඩායමට අවශ්‍ය දේ දෙන්න බැරි නම් කණ්ඩායම තුළ රැදී සිටීම තේරුමක් නෑ. ක්‍රීඩා නොකර සිටියදී මගෙන් ගිළිහී ගිය ශාරීරික යෝග්‍යතාව යළිත් ගන්න පුලුවන් ද? බැරිද? කියා මා බලනවා. පුලුවන් නම්, මට ලැබෙන තරග මොනවාද? ඒවාට මුහුණදීමට ඇති හැකියාව කුමක්ද යන්න විමසා බලා හැකියාව නැත්නම් ඉදිරි මාස තුනේදී සතුටින් ඉල්ලා අස්වෙන්න කැමතියි” මාලිංග මාධ්‍ය හමුවේදී පැවැසීය.

ශ්‍රී ලංකා පිලේ සිටින අත්දැකීම් අඩු ක්‍රීඩකයන් දිගින් දිගටම කණ්ඩායම තුළ රඳවා ඔවුන්ට වැඩි තරග අත්දැකීම් ලබාදීමෙන් 2019 ලෝක කුසලාන තරගාවලිය වෙද්දී හොඳ කණ්ඩායමක් නිර්මාණය කරගත හැකි බව මාලිංගගේ අදහස විය.

“අපේ කණ්ඩායමේ සිටින්නේ අඩු තරග ගණනකට ක්‍රීඩා කළ අත්දැකීම් අඩු අය. උඩ පන්දු ගිලිහෙන්නේ තරග අත්දැකීම් නැති විටයි. අත්දැකීම් ඇති අය හොඳ කණ්ඩායමක් ඉදිරියේ අපහසු අවස්ථාවලදී පීඩනය දරා ගන්නවා. නවක ක්‍රීඩකයන්ගේ උනන්දුව වැඩි නිසා අත්වැරදීම් වෙන අවස්ථා වැඩියි. ජාත්‍යන්තර තරග වැඩි ගණනක් ක්‍රීඩා කිරිමේදී ඔවුන්ට වැටහෙනවා පීඩනය මැද ක්‍රීඩා කරන ආකාරය. ඔවුන්ට දිගින් දිගටම අවස්ථාව දිය යුතුයි” මාලිංග පැවැසීය.

දේශීය තරග රටාවේ ඇති අඩුපාඩුකම් නිසා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී ඇතැයි යන අදහසට තමාගේ එකඟතාව නොමැති බවද මාලිංග අවධාරණය කළේය.

“අපේ දක්ෂ ක්‍රීඩකයන් රැසක් එක වරම කණ්ඩායමෙන් ඈත් වුණා. ඒකට හේතුව කුමක්ද කියා මා දන්නේ නෑ. චාමර සිල්වා, තිළිණ කණ්ඩම්බි, ජෙහන් මුබරක්, මාලිංග බණ්ඩාර, කෞෂාල් සිල්වා, කෞෂාල් වීරරත්න, ලොකුආරච්චි, මලින්ත වර්ණපුර වැනි ක්‍රීඩකයන් එකවරම ඈත් වුණාම ඒ අඩුව පුරවන්න නවකයන් ඇතුළට ගන්න වුණා. ඒක අද ඇතිවී තිබෙන තත්ත්වයට හේතුවක්”

ඉන්දියාව සමග හෙට තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම නැවැත උපුල් තරංගට පැවැරෙන බවත් ඔහුට සුබ පතන බවත් මාලිංග සඳහන් කළේය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 5වැනි අවසන් එක්දින තරගය හෙට පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය. හෙට පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වුවහොත් 2014 -15 ඉන්දියාවේ පැවැති තරගාවලිය මෙන්ම 5-0ක් ලෙස ඉන්දියාව ඉදිරියට පැමිණෙනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...